
ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු ISIS ත්‍රස්තවාදය පිළිබඳ යම් අදහසක් ඇති විශ්ලේෂකයෝ ප්‍රධාන වශයෙන් වැදගත් වන ප්‍රශ්න දෙකක් මතු කරති. ශ්‍රී ලංකාවට පහර දීමෙහි අරමුණ වූයේ කුමක්ද යන්නත් ISIS ත්‍රස්තයා පරාජය කළ යුත්තේ කෙසේද යන්නත් එම ප්‍රශ්න දෙක ය.
මෙහිදී ශ්‍රී ලංකාවට පහර දීමේ කෙටි කාලීන අරමුණ පිළිබඳ සැකයක් ඇතැයි සිතිය නොහැකිය. පසුගිය වසර කිහිපය තුළ ISIS සංවිධානය ඉරාකයේදී සහ සිරියාවේදී පරාජයන් එක පිට එක ලැබුවේය. ඒ පිළිබඳ එම සංවිධානය සිටින්නේ දැඩි කෝපයෙනි. මෙහිදී බටහිර රටවල් විසින් කරන ලද ක්‍රියාන්විත පිළිබඳ ඔවුන් සිටින්නේ දැඩි ද්වේශයකින් බව පසුගිය සමයෙහි එම රටවල සිදු වූ ප්‍රහාර අනුව පෙනී යයි. තවද, ක්‍රිස්තියානින් පිළිබඳව ද පොදුවේ මේ කෝපය මතු වී තිබේ.
ක්‍රිස්තියානින්ගෙන් සහ බටහිර ජාතිකයන්ගෙන් පළිගැනීමේ චේතනාව පදනම් කරගෙන පසුගිය වසර කිහිපයේම ISIS ත්‍රස්තයෝ ප්‍රහාර එල්ල කළහ. මුලින් යුරෝපයෙන් ඇරැඹි ප්‍රහාර 2018 දී පිලිපීනයේ පල්ලිවලටත් ආසියාවේ නැගෙනහිර කොනටත් එල්ල විය. 2019 ජනවාරියේ ද පිලිපීනයේ සූලු ප්‍රදේශයේ දෙව් මැදුරක් ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවල ඉලක්කයක් බවට පත් විය.
ඒ බොහෝ රටවල ආරක්ෂක තත්ත්වය තර කර තිබේ. එහෙයින් දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම පෙර මෙන් පහසු නැත. අනෙක් අතට, ආසියාවේ කලක් තිස්සේ ත්‍රස්ත තර්ජන පවතින ප්‍රදේශයක එල්ල කරන ප්‍රහාරයකින් ලැබෙන අවධානයට වඩා සාමකාමී රටක එල්ල කෙරෙන ප්‍රහාරයකින් ලැබෙන අවධානය ඉහළ ය.
එහෙයින් ශ්‍රී ලංකාව ඉලක්ක කරගැනීමට මූලික හේතු වන්නේ එය පහසු ඉලක්කයක් වීමත්, එයින් ලැබෙන අවධානය බෙහෙවින් විශාල වීමත් බව පැහැදිලි ය.
ISIS ත්‍රස්තයන් සිටින්නේ කොහිද?
මීට වසර කිහිපයකට පෙර ISIS ත්‍රස්තයන්ගේ ප්‍රධානම අරමුණ සහ අභිලාෂය වූයේ සිරියාව සහ ඉරාකය කේන්ද්‍ර කරගත් කලිෆාතයක් හෙවත් ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමය. ඒ සඳහා ඔවුහු තමන් අතට පත් වූ සිරියාවේ සහ ඉරාකයේ ප්‍රදේශයන්වල ඔවුන්ගේ දර්ශනය අනුව පාලනය වන යුටෝපියානු ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමේ ප්‍රතිඥාව සිය අනුගාමියකන්ට ලබා දුන්හ. 2014 දී නායක අබුබකර් අල්-බග්දාදි විසින් ඉස්ලාමීය කලිෆාතය ස්ථාපිත කිරීම ප්‍රකාශයට පත් කිරීම මෙහි වැදගත් ම සන්ධිස්ථානය විය.
කෙසේ නමුත් ඉරාක, සිරියා රජයයන් සහ වෙනත් පාර්ශ්ව රැසකගේ මැදිහත් වීමෙන් මේ පාලන ප්‍රදේශයෙන් ISIS ත්‍රස්තයෝ කෙමෙන් කෙමෙන් පසුබස්වන ලැබූහ. එහිදී රුසියා යුද හමුදා සහ විශේෂ හමුදා ලබාදුන් සහාය ඉතා වැදගත් විය. 2015 මැද පමණ වන විට ඉරාකයේ සහ සිරියාවේ භූමියේ ISIS පාලනය පැවති ප්‍රදේශය බ්‍රිතාන්‍යයේ භූමි ප්‍රමාණය තරම් වූ නමුත් 2019 මාර්තුවේදී එම භූමියේ අවසන් බළකොටුව ද ත්‍රස්තයන්ට අහිමි විය.
මේ තත්ත්වය මතු වීමත් සමග ISIS ත්‍රස්තයන්ට ප්‍රධාන ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදු විණි. ඔවුන් මුල් කාලයේ සිය ආදායමෙන් වැඩි කොටස උපයාගත්තේ තම පාලනය යටතේ වූ ප්‍රදේශයේ තෙල් සම්පත හොරෙන් විකිණීමෙනි. තම පාලනය එම ප්‍රදේශවලින් ගිලිහෙද්දී ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයට දැඩි පහරක් එල්ල විය. මේ අතර දිගින් දිගටම පරාජයන් ලබද්දී, ප්‍රචාරක කටයුතු සඳහා යම් ජයග්‍රහණයක් පෙන්නුම් කිරීමේ අවශ්‍යතාව මතු විය.
තමන්ට සහාය දක්වන විදේශීය කණ්ඩායම් බල ගන්වා ඔවුන් ප්‍රහාර කරා යොමු කරවීමට ISIS ත්‍රස්ත සංවිධානය කටයුතු කළේ ඒ අනුව ය. මේ ඇතැම් ප්‍රහාර ඍජුවම ISIS ත්‍රස්ත කණ්ඩායම විසින් එල්ල කළ ඒවා වූ අතර ඇතැම් ප්‍රහාර ඔවුනට සහාය දෙන ස්වදේශීය කණ්ඩායම්වල ක්‍රියාය. දැනට පෙනී යන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රහාරය ද ඒ ආකාර එකකි. පිලිපීනයේ පසුගිය වසර දෙක තුනක එල්ල වූ ප්‍රහාර ද ඒ ආකාරය.
ඉරාකයේ සහ සිරියාවේ ද සටන්කාමී ISIS ත්‍රස්තයන් තවම සම්පූර්ණයෙන් මර්දනය කර නැත. ඔවුන් සතු පාලන ප්‍රදේශ අහිමි වුවද තවමත් ත්‍රස්තයෝ විශාල පිරිසක් එහි සැඟව සිටිති. ඒ අනුව එහි ද සටන් නිම වී නැත. නමුත් වඩා වැදගත් වන්නේ අනෙකුත් ප්‍රදේශයන් වෙත ඔවුන් පැතිරීම ය.
ISIS පරාජය කිරීමට
ISIS ත්‍රස්තයන් පරාජය කිරීම සඳහා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. එකක් නම් මෙය ලෝක ව්‍යාප්ත ත්‍රස්තවාදයක් බව ය. CIA සංවිධානය අනුමාන කරන පරිදි සිරියාවේ සහ ඉරාකයේ පාලන ප්‍රදේශ පවතින සමයේ එම ප්‍රදේශයට රටවල් 120කින් විදේශිකයන් 31,500ක් ගමන් කර තිබේ. එයින් දිවි ගලවාගත් විශාල පිරිසක් ආපසු තම තමන්ගේ රටවලට පැමිණ ඇතැයි අනුමාන කළ හැකිය. රුසියාව වැනි ඇතැම් රටවල් එවන් අය පිළිබඳ අවධානයෙන් සිටි අතර ඔවුන් ආපසු පැමිණි විට අත් අඩංගුවට ගැනීමට කටයුතු කළේය. නමුත් බොහෝ රාජ්‍යයන් එම තර්ජනය අවබෝධ කරගත් බවක් නොපෙනේ.
අන්තර්ජාතික ත්‍රස්තවාදය පරාජය කිරීමට නම් එම තර්ජනයට ලක්ව සිටින සියලු රාජ්‍යයන් එක් වී කටයුතු කළ යුතුය. මෙහිදී ඇමරිකාව, රුසියාව සහ සිංගප්පූරුව වැනි රටවලින් ඉගෙනගත හැකි පාඩම් බොහෝය. එක් එක් රටවල ත්‍රස්තයන් පිළිබඳ තොරතුරු හුවමාරු කිරීම, ත්‍රස්තයන් සොයාගැනීම සඳහා එක් වී කටයුතු කිරීම යනාදිය ජාත්‍යන්තරයේ ම වගකීමකි.
තවද, ISIS ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රචාරණය කෙරෙන රැඩිකල් ඉස්ලාමීය දර්ශනය සත්‍ය ඉස්ලාමය නොවන බව පෙන්වා දෙන ප්‍රචාරණ වැඩසටහනක් අත්‍යවශ්‍ය ය. ඒ සඳහා සුන්නි වහාබ්වාදයට එරෙහි ඉස්ලාමීය ආගමික නායකයන් දායක කරගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
වැදගත්ම කරුණ වන්නේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ISIS සංවිධානය පරාජය කිරීමය. ISIS සංවිධානයට භූගෝලීයව හිමි භූමිය අහිමි වුවද සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ ඔවුන් විශාල ප්‍රචාරක බලයක් ගොඩනඟාගෙන තිබේ. වර්තමානයේ ඔවුන්ගේ කලිෆාතය සැබෑ භූමියේ නැතත්, සයිබර් අවකාශයේ පැහැදිලිව පෙනෙන්නට තිබේ. අද පරාජය කළ යුත්තේ මේ සයිබර් කලිෆාතය යි. ඒ සඳහා රාජ්‍යයන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කරගත යුතුය. එය හැකි ඉක්මනින් සිදු කළ යුත්තකි.