දුක තුනීකර ගැනීමට බිලියනපතියා භාවනා කළා | සිළුමිණ

දුක තුනීකර ගැනීමට බිලියනපතියා භාවනා කළා

ලොවම කම්පාකළ පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයෙන් මියගිය පුද්ගලයන් අතරින් ඩෙන්මාර්ක බිලියනපතියාගේ දරුවන්ගේ අවසන් කටයුතු පසුගියදා ඩෙන්මාර්කයේදී සිදුවිය. ඔහු පිළිබඳ තොරතුරු ලොවපුරා පළමු වරට පළවූ අන්දමින්ම මේ අවමඟුල ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ කාගේත් මුවඟට සුසුම් නංවමිනි.

ලෝකයේ බොහෝ ධනවත් බලවත් හා ජනප්‍රිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු අපි කොතෙකුත් අසා ඇත්තෙමු. ඒ අතරින් බොහොමයකගේ පවුල් ජීවිත අවුල්ය. එක්කෝ සැමියා හා බිරිය දෙපළකය. නැත්නම් දරුවන් වෙනතකය. පවුලක් ලෙසින් සමඟියෙන් බැඳීමෙන් යුතුව ජීවත්වන්නේ කීයෙන් කීදෙනෙක්ද? එහෙත් ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙසින් හඳුන්වන ඇන්ඩස් හොල්ච් පෝසන් සිය ජීවිතයේ සියලු දෙයට වඩා තම දූ දරුවන් හා පවුල් ජීවිතයට මුල්තැන දෙමින් සොඳුරු පවුල් ජීවිතයක් ගත කළ පුද්ගලයකු බව හෙළිවිය. ඇන්ඩස් පිළිබඳ ලෝකයේ පළමු වරට කතාබහට ලක්වීමට හේතුවූයේද අපරටේ බෝම්බ සිද්ධියයි. ලෝක මාධ්‍ය අවධානයට මේ බිලියනපතියා එතෙක් යොමු නොවූයේ ඔහු සිය පවුලේ පෞද්ගලිකත්වය දැඩි සේ සුරැකීම නිසාය. ඔහු පවුලේ උදවිය එක්ව සිට ජායාරූප නොගත් බවත් ජායාරූප ගත්තද ඒ සියල්ලම මුහුණු නොපෙනෙන සේ ගත් ජායාරූපබවත් හෙළිවිය.

ඩෙන්මාර්කයේ ආර්හුස් දේවස්ථානයේ දී ඇන්ඩස් සමඟින් බිරිය ඈන් සහ කුඩා දියණිය පසුගියදා සදහටම සමුදුන්නේ එක පොකුරට තුරුල්වී සිටි එම පවුලේ අනෙක් දරුවන් තිදෙනාටය. පවුලේ වැඩිමල් දියණිය අල්මාය. ඇය සිය බාල සහෝදර සහෝදරියන් හැඳින්වූයේ ‘අපේ පුංචි වලස් පැටවුන් තුන්දෙනා’යන ආදරබර වදනිනි. අපරටේ දී පිහිනුම් තටාකයක් ඉදිරිපස සිට සිය සහෝදර සහෝදරියන් සේයාරුවට නංවා එය ප්‍රහාරයට දින තුනකට පෙර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළකර තිබු‍ණේද අල්මාය. බෝම්බ ප්‍රහාරයෙන් අල්මා දියණියද මිය ගියාය. මියගිය අනෙක් දියණිය ඇග්නස්ය. මියගිය බාලම පිරිමි දරුවා ඇල්ෆ්‍රඩ්ය.

පුතුගේ දෙනට ඉහළින් බැලුම් බෝල

දියණියන් දෙදෙනා ගේ සිරුරු ළා දම් සහ රෝස පාටමලින් සැරසූ සුදු පාට කුඩා මිනී පෙට්ටිවලද පුතුගේ සිරුර නිල් පැහැති මලින් සැරසූ සුදු මිනී පෙට්ටියකද බහා එකම වර්ගයේ කළු පැහැති මෝටර් රථ තුනකින් දේවස්ථාන භූමියට රැගෙනවිත් තිබිණි. බෝම්බ ප්‍රහාරයෙන් සිරුරු විනාශවී තිබුණු නිසාදෝ සෑම පෙට්ටියක් උඩම එක් එක් දරුවන්ගේ විශාල ප්‍රමාණයේ සේයාරූ තබා තිබුණේ පෙට්ටි විවෘත කිරීමට නොහැකි හෙයිනි. කුඩා දරුවෝ කවදත් බැලුම්වලට ආසා කරති. පුංචි පුතු ඇල්ෆ්‍රඩ්ගේ දෙනට ඉහළින් නූල් පොටවල් කීපයක ගැටගසා රතු නිල් කහ හා කොළ පාට බැලුම් පොකුරක් වූයේ අවසන් මොහොතේ වුව ඒ පියා සිය පුංචි පුතුගේ ආසාවක් ඉටු කරමින් විය හැකිය. අවසන් කටයුතු සිදු කිරීමට පෙර පවුලේ ඉතිරිව සිටින එකම දියණිය බැලුම් පොකුරේ නූල් එක මිටියට අල්ලා කපා මුදා හැරීමත් සමඟින් බැලුම් පොකුර ගුවනට ඇදී ගියේ අවමඟුලට සහභාගිවූවන්ගේ මුවඟින් නැඟි සෝ සුසුම්ද සමඟිනි.

මෝටර් රථ තුනෙන් සිය දරු තිදෙනාගේ සිරුරු රැගත් දෙන තුන පිටතට ගනිද්දී ඇන්ඩස් සිය බිරිය හා කුඩා දියණිය තුරුලු කරගෙන එදෙස බලා සිටියේ වියෝ දුකින් හඬා වැලපීමට වරම් නොමැත්තාක් මෙන්ය.

ඩෙන්මාර්කයේ රජ පවුල ඇන්ඩස් පවුල හා ඉතා සමීපව ඇසුරු කරන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ නිසාදෝ රජ පවුලේ ඔටුන්න හිමි මේරි කුමරිය සිය දරුවන් තිදෙනා වන ඉසබෙල් කුමරිය, වින්සන්ට් කුමරා හා බාල දියණී ජොසපින් කුමරිය සමඟින් අවමඟුල් උලෙළට සහභාගි වූවාය.

රජ පවුලේ දරුවන් අතරින් වැඩිමලී ජොසපින් කුමරිය සිය මිතුරු මිතුරියන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙද්දී දුක වාවාගත නොහැකිව හඬා වැටෙද්දී මේරි කුමරිය දියණිය තමා වෙත ළංකර ගනිමින් ඇය අස්වසාලන අයුරු දැක්වෙන සේයාරූ සෑම මාධ්‍යයකම පාහේ පළ විය. ඩෙන්මාර්ක අගමැති ලාර්ස් ලොකේ රස්මුසෙන් ද අවමංගල්‍ය දේව මෙහෙයට සහභාගිවීමට පැමිණ සිටියේය.

මියගිය දරුවන්ගේ සිරුරු අප රටේ සිට ගුවන් මගින් ගෙනගොස් අවසන් කටයුතු සිදු කිරීමට දෙදිනකට පෙර ඩෙන්මාර්කයේ ඇන්ඩස් පදිංචි නිවෙස පිහිටි බ්‍රැන්ඩේ නගරයේ ඔවුන් වෙනුවෙන් අනුස්මරණ මෙහෙයක් පැවැත්විණි. පවුලේ හිතවත්තු අසල්වැසියෝ සහ ඔවුන් වෙනුවෙන් කම්පාවන උදවිය සිය ගණනක් ඊට සහභාගි වූහ. පහන් හා පන්දම් දෑතින් ගෙන ඇන්ඩස් පවුලේ දුක බෙදා ගනිමින් ඔවුහු ගම්බද වතුයාය හරහා ඇවිද ගියහ.

‘සිදුවූ දේ කොහෙත්ම දරාගත නොහැකියි’මේ අවාසනාවන්ත සිදුවීමේ දී තමන් සමඟ සිටිමින් දුක සැප බෙදාහදා ගත් සැමට ස්තුති කරමින් ඇන්ඩස් පවුල නිකුත් කළ පණිවුඩය කියවමින් අවමංගල්‍ය උත්සවයේදී පූජකවරයා ප්‍රකාශ කළේය.

ධනය තිබුණත් සරල ජීවිත

ස්කොට්ලන්තයේ පෞද්ගලික ඉඩම් වැඩිම ප්‍රමාණයක හිමිකරු ලෙස ඇන්ඩස් හා ඔහුගේ පවුලේ උදවිය ඩෙන්මාර්කය හා ස්කොට්ලන්තය අතර සිය කාලය බෙදා ගනිමින් කල් ගෙවීය. ඉතාම සරල දිවිපෙවෙතක් ගත කරමින් තම දරුවන් සමඟින් නිතරම කල් ගෙවීමට උත්සාහ ගත් පුද්ගලයකු ලෙස ඇන්ඩස් ප්‍රසිද්ධය. තමන් වෙතින් ඈත් කිරීමට අකැමැති නිසාම ඔහු කෙතෙක් ධනය හා හැකියාව තිබුණද දරුවන් ඉගෙනීමට යොමු කළේ ප්‍රාදේශීය පාසල් කරාය. ඇන්ඩස් මෙන්ම ඔහුගේ දරුවෝද පරිසරයට බෙහෙවින් ළෙන්ගතු වූහ. මෙනිසාම අක්කර දස දහස් ගණනක් පුරා විහිදී ගිය ඔහුගේ වතුයායන්හි අයිතිය දරුවන් සිවු දෙනාට බාරදීමට ඇන්ඩස් සිහින මැව්වේය.

එදා එලෙස සිතුවත් අද ඒ සියල්ල සිහිනයක්ම පමණි. දරු තිදෙනාගේ දෙන බහාලූ වාහන හෙමින් සීරුවේ දේවස්ථාන භූමිය කරා ඇදී එද්දී ඈන් සිය සැමියාගේ සිරුරට බරදී ඉතිරිව සිටින දියණිය ද ළංකරගෙන දෑසේ පිරුණු කඳුළු අතරින් බලා සිටියේ කිව නොහැකි වේදනාවකින් යුතුවය.

ඇන්ඩස් පවුල සංචාරය සඳහා අපරටට ගොඩබට සැණින් ගොස් තිබුණේ තංගල්ල බලාය. දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් දින කීපයක් ගත කළ ඔවුන් කොළඹට පැමිණ ෂැංග්‍රිලා හෝටලයේ නතරවූයේ පසුදින ආපසු සියරට බලා යෑමේ අදහසිනි. ඔවුන් මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ එවිටය.

නාඳුනන රටක දී අසරණ වූ එම පවුලට ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය හා දුකේදී පිහිටවීමේ ගුණාංගය මොනවට කියාපාමින් උදව් උපකාර කළ පුද්ගලයකු අපට මුණ ගැසිණි. ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානයක ස්වාධීන නියෝජිතයකු ලෙස කටයුතු කරන ඔහු විදේශයන්හි ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ අත්දැකීම් ඇත්තෙකි.

පාස්කු ඉරිදා ව්‍යසනයෙන් අනතුරුව ඩෙන්මාර්ක බිලියනපතියා, බිරිය හා දියණිය රටෙන් පිටව යනතුරුම ඔහු එම පවුල හා සිටියේය. සිය අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති ඔහු අප හා කී කතාව මෙසේය.

“මේ සිදුවීමවී පැය භාගයක් ගතවීමටත් පෙර මට විදෙස් රටකින් ඇමතුමක් ආවා ඩෙන්මාර්ක වීඅයිපී කෙනකු වෙනුවෙන් උදව් කරන්න කියා ඉල්ලීමක් කරමින්. ඒ සමඟම දුරකථන අංක කීපයකුත් ලැබුණා. මං ෂැංග්‍රිලා හෝටලයට එන ගමන් එම අංකවලට කතා කරද්දි එක් අංකයකින් පිළිතුරු ලැබුණා. ඒ කතාකළේ කාන්තාවක්. ඔවුන් කවුද කියා මා ඒවෙලාවේ දැන සිටියේ නැහැ. මං කතාකර තිබුණේ බිලියනපතියාගේ බිරිය ඈන්ට. ඇය තමන් ඉන්නා තැන හඬමින් පැවසුවා. අනෙක් අංකය ප්‍රතිචාර දැක්වූයේ නැහැ. පසුව දැනගත් පරිදි ඒ බිලියනපති ඇන්ඩස්ගේ අංකය. ඔහු එවේලේ සිටියේ ජාතික රෝහලේ.

ෂැංග්‍රිලා හෝටලයේ ලොකු විනාශයක් සිදුව තිබුණා. මා ඈන් හා දියණිය සොයා ගොස් මගේ අනන්‍යතාව ඔප්පු කරද්දී ඇයටත් මා ගැන දන්වා තිබුණා. එතැනින් මං ඔවුන් මගේ නිවෙසට කැඳවා ගෙන ගියා. මගේ බිරියට ඒ දෙදෙනා බාරදී ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇන්ඩස් සොයා ගියා.

මේ සියලුදේට හෝටලයේ නිලධාරීනුත් උදව් කළා. ඒ වෙලාවේ ඇන්ඩස් හිටි වාට්ටුවෙන් 32 වාට්ටුවට මාරු කළා. කම්පනයෙන් සිටි ඔහුගේ එකම ඉල්ලීම වු‍ණේ පවුලේ අය ඉන්න තැනට එයා එක්ක යන්න කියන එකයි. ඒත් වාට්ටු බාර වෛද්‍යවරයා ටිකට් කපන්න කැමති වුණේ නැහැ. එනිසා ඇන්ඩස්ට හවස් වනතුරුම රෝහලේ ඉන්න වුණා. මේ වෙද්දී ඇන්ඩස් කවුද කියා මා දැනසිටියා. ඒ නිසා ඔහු ගැන විස්තර හෙළි නොකර රෝහලෙන් ටිකට් කැපූ පසු පෞද්ගලිකව ගෙන්වා ගත් ගිලන් රියකින් මගේ නිවෙසටම එක්ක ගියා.

තමන්ගේ දරුවන් තුන්දෙනාම මියගිහින් බව ඇන්ඩස් ගේ නෝනා ෂැංග්‍රිලා එකේදීම දැනහිටියා. මං මගේ නෝනාට කතාකර කිව්වා ඇන්ඩස් ගෙදර එක්ක එනවා ඒ ආවාම දරුවෝ තුන්දෙනාගේ කතාව ඈන් ලවා ඇන්ඩස්ට දැනුම් දෙන්න කියා. ඇන්ඩස් අපේ නිවෙසට ගියේ හැන්දෑවේ. ගෙදර ගිය ගමන් තුන්දෙනා බදාගෙන ඇඬුවා. දරුවො තුන්දෙනා මැරිලා කියා ඇන්ඩස් දැන ගත්තේ ඒ වෙලාවෙ.

එවැනි බිලියනපතියන්ට ගැළපෙන ලෙසට මගේ ගෙදර පහසුකම් නැතිවුණත් මා හැකි අයුරින් ඔවුන්ට සැලකුවා. ඔවුන්ගේ දියණිය මගේ පුතු සමඟ එකතුවී පරිගණක ක්‍රීඩාවල යෙදුණා. මගේ බිරිය ඇන්ඩස් හා බිරියට යෝග ව්‍යායාම හා භාවනාව පුරුදු කළා. ඔවුන් එමගින් දුක තුනීකර ගන්න උත්සාහ කළා.

මේ අතරවාරයේ ඩෙන්මාර්කයේ ආරක්ෂක අංශ නිතරම ඔවුන් ගැන සොයා බැලුවා. අපේ විදේශ අමාත්‍යංශයත් ඔවුන් ගැන දැනුවත් වෙලා හිටියා. ඇන්ඩස්ගේ ඇඳුම් රුධිරයෙන් නැහැවී ඉරී තිබූ නිසා ඔහු අපේ ගෙදර හිටියේ මගේ ඇඳුම් ඇඳගෙනයි. ඒ හැම දේටම ඔවුන් නිතරම මට ස්තුති කළා. ඒ පවුල හරිම ආදරයෙන් බැඳුණු පවුලක් බව මට තේරුම් ගියා. මියගිය දරුවන්ගේ මිනී බලන්නවත් ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. අවශ්‍ය වුණේ හැකි ඉක්මනින් රටින් පිටවෙන්නයි.

බිලියනපතියාගේ එකම ඉල්ලීම

ඒ අය මගේ ගෙදර රැයක් ගත කළා. ඩෙන්මාර්කයේ සිට පසුවදා උදෑසන ආ පෞද්ගලික ගුවන් යානයෙන් මේ පවුලේ ආරක්ෂකයන් පැමිණියා. කටුනායකට ගොස් ඇන්ඩර්ස් බිරිය හා දියණිය කටුනායකට ඇරලුවෙත් මමයි.

මියගිය දරුවන්ගේ මෘත ශරීර එම රටට ගෙනයෑමට අවශ්‍ය කටයුතු සඳහා මා දිගටම සහාය දුන්නා. ඒ දරුවන්ගේ සිරුරු සියයට සියයක්ම හඳුනා ගැනීම අපහසුයි. අඟහරුවාදා උදෑසන පැමිණි තවත් පෞද්ගලික ගුවන් යානයකින් ඒ රටේ සිට අධිකරණ වෛද්‍ය නිලධාරීන් පැමිණියා. ඉන්දියාවේ සිටින ඩෙන්මාර්ක තානාපතිවරයාත් ආවේ එදායි. දරුවන්ගේ සිරුරු හඳුනාගැනීම අපහසු නිසා ඒවා හඳුනාගැනීමට ඩීඑන්ඒ සාම්පල අරන් ඔවුන් පසුදා ඩෙන්මාර්කය බලා ගියා. ඒ රටේදී ඩීඑන්ඒ සාම්පල සංසන්දනය කර සිරුරු ඔවුන්ගේ දරුවන් තිදෙනාගේ බවට තහවුරු කළ පසුවයි සිරුරු සැකසීම සඳහා අවමංගල්‍ය ආයතනයට බාර දුන්නේ. මේ සියලු කටයුතු සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය මං කළා.

25වැනිදා උදේ යළිත් විශේෂ ගුවන් යානයක් දරුවන් තුන්දෙනාගේ සිරුරු රැගෙන යෑමට පැමිණියා. සියලු කටයුතු අවසානයේ සිරුරු අපේ රටෙන් අරන් ගියේ 25වැනිදා උදේ.

ඇන්ඩස් හැම වෙලේම හිතේ දුක තද කරගෙන ඉන්න අන්දම මං දැක්කා. මට තේරුම් ගිය අන්දමට ඔහු ඉතා නිහතමානියි. මට වැටහුණු අන්දමට පවුලේ දරුවො හතරදෙනයි බිරියයි ඉතා සමීප බැඳීමකින් සිටියේ. වරක් ඔහු මා වැලඳගෙන ඉකිබිඳිමින් හඬා වැලපුණා. තවත් වේලාවක තුන්දෙනා බදාගෙන හඬා වැටුණා. එහෙත් සැමවිටම ඔහු දුක දරාගෙන ඉන්න උත්සාහ කරන බවක් මා දැක්කා.”

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් බොහෝ දෙනකුගේ දිවි අහිමි වුවද ඒ සැමට වඩා ඩෙන්මාර්ක බිලියනපති ඇන්ඩස්ගේ කුඩා දරු තිදෙනා පිළිබඳ ලොවපුරා බොහෝ මාධ්‍ය වාර්තා කර තිබූ අයුරින්ම එම අවමංගල උත්සවය පිළිබඳව ද ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය බොහොමයක දැඩි අවධානයට යොමුව තිබිණි.

Comments