ලෝක නායකයන්ගේ කඳුළු | සිළුමිණ

ලෝක නායකයන්ගේ කඳුළු

සුවිශේෂී පුවත් සොයා විදෙස් මාධ්‍ය පීරා යද්දී අප රට හා සබැඳෙන පුවත් හමුවන්නේ කලාතුරකිනි. එහෙත් මේ දිනවල සෑම විදෙස් මාධ්‍යයකම ප්‍රධාන පුවත අපේ රට හා බැඳෙන බව දුටු විට ඇති වන්නේ දරාගත නොහැකි දුකකි. ලෙයින් පිරී ගිය දේවස්ථාන, කඳුළු වැකුණු මුහුණු සහ මළවුන් සඟවාගත් පස් කඳු සහිත ඡායාරූප විදෙස් මාධ්‍යවල සුලබ දසුන් බවට පත් වන විට ඒ රටවල රාජ්‍ය නායකයන් ද අපගේ දුක බෙදාගැනීමට එක් වූයේ ශෝක පණිවිඩ එක් කරමිනි.

බ්‍රිතාන්‍යයේ මහ රැජින තම ශෝක පණිවිඩයෙන් මෙසේ සඳහන් කර සිටියාය.

“ශ්‍රී ලංකාවේ සිදුවූ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය ගැන දැනගැනීමෙන් පිලිප් කුමරු සහ මම ඉතා සංවේගයට පත් වූවා. අපේ ශෝකය අප මෙලෙස විපතට පත් පවුල්වල සාමාජිකයන් සමඟ බෙදාගන්නවා. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පතා මා යාඥා කරනවා. අපේ සිතිවිලි මේ අවස්ථාවේදී පවතින්නේ විපතට පත් ශ්‍රී ලාංකිකයන් සමඟයි. “

මහ රැජිනගේ ශෝක පණිවිඩය සමඟ විලියම් කුමරු සහ කේට් කුමරියගේ ශෝක පණිවිඩද සම්බන්ධ කර තිබිණි. ඔවුන්ද පවසා තිබුණේ මේ ප්‍රහාර හැඟීම් විරහිත එමෙන්ම ඉතා කනගාටුදායක ප්‍රහාර බවයි.

ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමගම ශෝක පණිවිඩ එක් කළ රාජ්‍ය නායකයන් අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද විය. ඔහු එදිනම සවස 4.40 වන විට ට්වීටර් පණිවිඩයක් එක් කරමින් පවසා සිටියේ “ පල්ලිවල සහ හෝටල්වලට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් 138ක් මිය ගොස් 600ක් තුවාල ලබා තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදය මේ අවස්ථාවේ තම ශෝකය ඔවුන් වෙත පිරිනමනවා. අප ඔබට ඕනෑම උපකාරයක් කිරීමට සූදානම්.“ යනුවෙනි.

ජර්මන් චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් ලිපියක් එවමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දුන් මේ සිදු වීමෙන් ඇය මහත් තිගැස්මට පත් වූ බවයි. ප්‍රංස ජනාධිපති මැක්‍රෝන්ද තම ශෝකය පළ කර රාජ්‍ය නායකයන් අතර විය.

“අප අපේ හද පිරි ශෝකය ඔබ වෙත පිරිනමමු. අපි මෙය තරයේ හෙළා දකිමු. මේ ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ අප සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනී සිටින බවද පවසමු. විපතට පත් වූවන් වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු.“යනුවෙන් ප්‍රංස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පණිවිඩයේ සටහන්ව තිබිණි.

තමන්ද එක් අවස්ථාවකදී මෙවැනි ශෝක භරිත කාලයක් ගෙවා දැමූ බැවින් මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන්ගේ හැඟීම් වඩා හොඳින් තමාට දැනෙන්නේ යැයි වඩා සංවේදී ශෝක පණිවිඩයක් එක් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පැවසුවාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලාංකිකයන් දිරිමත් කරමින් පවසා තිබුණේ මේ අවස්ථාවේදී තමන් අවශ්‍ය ඕනෑම උපකාරයක් කිරීමට කටයුතු කරන බවය. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද සිද්ධිය වූ සැණින් ශෝක පණිවිඩයක යොමු කර සිටියේය. නේපාලයේ රාජ්‍ය නායක ශර්මා ඔලි, චීන ජනාධිපති ක්ෂි ජින්ග්පින්, යුරෝපා කොමිසමේ සභාපති ජීන් - ක්ලවුද් ජන්කර් ද ශෝක පණිවිඩ යොමු කළ රාජ්‍ය නායකයන් අතර වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුයිටරේස් මහතා පවසා තිබුණේ දේවස්ථානවලට එල්ල කෙරුණු ප්‍රහාර තමන් තරයේ හෙළා දකින බවයි.

කැනඩාවේ ජනාධිපති ජස්ටින් ටෘෘඩෝ, ඉන්දීය ජනාධිපති රාම් නාත් ගෝවින්ද, සූස්මා ස්වරාජ් සහ ආචාර්ය මොහොමඩ් ෆයිසාල් ද ප්‍රහාරය හෙළා දකිමින් පණිවිඩයක් නිකුත් කළහ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් සහ තවත් ප්‍රධාන සමාගම් රැසක නිලධාරීන්ද ශෝක පණිවිඩ එක් කර තිබිණි.

එලෙස ලෝක නායකයන් ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකින අතර විවිධ රටවල ජනප්‍රිය සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ද ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් ශෝක පණිවිඩ නිකුත් කර තිබිණි. ප්‍රසිද්ධ හොලිවුඩ් නිළියක වන මැන්ඩි කලිං වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබුණේ “ මම හින්දු ආගමේ. ඒත් පාස්කු දිනය කියන්නේ අප හැමට සතුටුදායක විවේක දිනයක්. එවැනි දිනයක සිදු කළ මේ ක්‍රියාව ඉතාම දරුණුයි. “ යනුවෙනි.

මීට අමතරව හොලිවුඩ්හි කායා ජෝන්ස්, සෙලීන් ඩියෝන්, මාරියා කැරේ, සියාරා, රිචර්ඩ් මාර්ක්ස්, ඩෑන් රෙනෝල්ඩ් මෙන්ම බොලිවුඩ්හි ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස්, මම්තා බැනර්ජි, අනිල් කපූර්, සොනාක්ෂි සිංහා, කමල් හසන්, ලතා මංගේෂ්කාර්, අභිෂේක් භච්චන් මෙන්ම පාකිස්ථානයේ සහ ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් වන විරාත් කෝලි, සහීඩ් අෆ්රිඩි, ෂොයිබ් අක්තාර්, අලි රහ්මන් ඛාන්ද ශෝක පණිවිඩ එක කර තිබිණි.

Comments