අන්තවාදීන් මඬින්න කඩිනමින් නව නීති | Page 4 | සිළුමිණ

අන්තවාදීන් මඬින්න කඩිනමින් නව නීති

අන්තවාදී සංවිධාන තහනම් කිරීමට අදාළ ශක්තිමත් නීති සහිත පනතක් කඩිනමින් ගෙන එන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මේ වනවිට මෙම සංවිධාන තහනම් කොට ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් ඉතා ඉක්මනින් මේ සඳහා අවශ්‍ය පනත් සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

පසුගිය සිකුරාදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතමින් මේ බව අනාවරණය කළ ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට මෙම අන්තවාදී සංවිධානවලට එරෙහිව කටයුතු කිරීමේ නව නිති රීති සකස් කර ඇති බවයි. මේ වනවිට තමන් සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල සකස් කළ පනත් විමර්ශනය කොට නව පනතක් කඩිනමින් සම්පාදනය කිරීමට නිතිපති දෙපාර්තමේන්තුවටත් මෙරට ප්‍රධාන පෙළේ නීතිඥ කණ්ඩායමකටත් අදාළ උපදෙස් ලබා දුන් බව ඔහු තවදුරටත් සඳහන් කළේය. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදා සහ පොලිසිය සියලු පියවර ගෙන ඇති අතර ඉතා ඉක්මනින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට හැකි බවද පැවසීය. එමෙන්ම මෙම ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූ අන්තවාදී කණ්ඩායමේ සාමාජිකයන් රැසක් දැනට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම නුදුරේදීම මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඒකාබද්ධ අණදෙන මූලස්ථානයක් යළිත් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ආරක්ෂක අංශ මෙම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර යොදන අතරේ සමස්ත ජනතාවම කලබල නොවී ඉවසීමෙන් යුතුව අදාළ කටයුතුවලට සහය දෙන ලෙස එහිදී ඉල්ලා සිටියේය.

Comments