
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වාර්ෂිකව සංවිධානය කරන වසරේ විශිෂ්ටතම මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය වන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අයහපත් කාලගුණය නිසා අතරමගදී අතහැර දැමීමට තරග තීරක තිරණය කළේය.
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ෆොක්ස්හිල් ධාවන පථයේදී පසුගිය දා අවසන් වු 27 වැනි ෆොක්ස් හිල් සූපර්ක්‍රොස් තරගාවලියට තරග ඉසව් 24ක් ඇතුළත්ව තිබූ අතර තරග ඉසව් 16ක් අවසානයේ ඇදැහැලුණු වර්ෂාව හේතුකොටගෙන ධාවන පථයේ ඇති වූ අවදානම් ස්වභාවය නිසා ට්‍රක් හා ජීප්රථ තරග ඉසව්වේ සිදුවූ අනතුරු පාදක කර ගනිමින් තරගාවලිය අතර මැද නවතා දැමීමට තරග තීරක හා සංවිධායකයන් අතර ඇති වු සාකච්ඡවෙන් පසු කටයුතු කළේය.
පැවති තරග ඉසව්වලින් සුවිශේෂ දක්ෂතා දක්වමින් 27 වැනි ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙදී කේෂර ගොඩගේ සියලු ගෞරව දිනාගැනීමට සමත් විය. කේෂර ගොඩගේ මෝටර් රථ ඉසව් දෙකකින් හා යතුරු පැදි ඉසව්වකින් ජයගෙන පෑ දක්ෂතා ඉතාමත් ප්‍රශස්ත මට්ටමක පැවැතියේය.
ළබාල ධාවකයෙකු ලෙස ධාවන පථය සිසාරා තම කීර්තිය විරාජමාන කළ කේෂර ගොඩගේ පළමු මෝටර් රථ ඉසව්ව වු 1000සී.සී. එස්.එල්./ඊ. නිසාන් මාච් තරග ඉසව්වෙන් ප්‍රවිණයන් අබිභවා යමින් තම ජය තහවුරු කිරීමට සමත් විය. තවමත් 14 වැනි වියේ පසුවන කේෂර තරග කරුවන් 11දෙනෙකු සහාභාගී වු නිසාන් මාච් තරග ඉසව්ව ජයගත්තේ කිසිවෙකුට අභියෝග කළ නොහැකි ලෙසය. කේෂර ජයගත් එම ඉසව්වේ දෙවැන්නා ලෙස තරගය නිමා කළේ ඩිලුක්ෂ සිත්රුවන් පෙරේරායි. තෙවන ස්ථනය හිමේෂ තෙන්නකෝන් හිමිකර ගත්තේය.
කේෂර ජයගත් දෙවන මෝටර් රථ ඉසව්ව වුයේ 1300සී.සී. එස්.එල්./ඊ. ෆෝඩ් ලේසර් - මැස්ඩා තරග ඉසව්වයි. එම තරග ඉසව්වෙන්ද කේෂර විශිෂ්ට දක්ෂතා දැක්විමට සමත් විය. පෙරදින කාල ගණනයේදී ලබාගත් පෙරමුණ තරග වට හතරම අවසන් වන තුරු සුරැකිව රදවා ගත් කේෂර තරගය අවන් කළේ දෙවැන්නාට මීටර් 50ක පමණ ඉදිරියක් රඳවා ගනිමින්ය. එම තරග ඉසව්වෙන් කෝලිත එදිරිසිංහ දෙවැන්නා වු අතර අමිල කලුගම්පිටිය තෙවැන්නා විය.
කේෂර මෝටර් රථයෙන් බැස ගොඩවුයේ යතුරුපැදියටයි. වයස අවුරුදු 15න් පහළ ජේ. කාණ්ඩයේ එම්.එක්ස්. 65-85සී.සී. (2ටී)/150සී.සී. (4ටී) තරග ඉසව්ව නියෝජනය කරමින්ද තරග වැදුණු කේෂර එම ඉසව්වෙන්ද විශිෂ්ට දක්ෂතා දැක්විමට සමත් විය. ගඟන ප්‍රනාන්දු එම ඉසව්වෙන් දෙවැන්නා වු අතර තාරුක රෝමේෂ් ද සිල්වා තෙවැන්නා විය.
2007 වසරේදි පසිඳු පීරිස් විසින් ෆොක්ස්හිල් ධාවන පථයේ පෙරළිකාර ධාවකයෙකු ලෙස මෝටර් රථ හා යතුරුපැදි තරග ඉසව් කාණ්ඩ දෙකම නියෝජනය කරමින් පෑ දක්ෂතා අති විශිෂ්ටය. මෙවර කේෂර ගොඩගේ ද මෝටර් රථ හා යතුරුපැදි යන තරග කාණ්ඩ දෙකම එකම තරගාවලියකදී නියෝජනය කරමින් පෑ දක්ෂතා ද විශිෂ්ටය.
27 වැනි ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය ආරම්භ කරමින් දිනයේ පළමු තරග ඉසව්ව ඉරෝෂ සුමනසේකර ජය හිමිකර ගැනිමට සමත් විය. ජේ. කාණ්ඩයේ එම්.එක්ස්. 65සී.සී. වයස අවුරුදු 12න් පහළ තරගය නියෝජනය කරමින් ඉරෝෂ ජය වාර්තා කළේය. රවිනු රත්නායක දෙවැන්නා වු එම තරග ඉසව්වේ එච්. එම්. දිනෙත් මිහිරංග තෙවැන්නා විය.
දිනයේ දෙවන තරග ඉසව්ව ලෙස ආරම්භ වුයේ එම්. කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඹ්.ඩී. 125සී.සී.(2ටී) තරග ඉසව්වයි. දිනයේ වැඩිම යතුරුපැදි ධාවකයන් පිරිසක් එක් වු එම ඉසව්වෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ මධුර පීරීස් ජය වාර්තා කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජය නියෝජනය කල චාමීක දුලාන්ග දෙවැන්නා වු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ එම්.එන්. පෙරේරා තෙවැන්නා විය. එම ඉසව්වේ ජාතික ශූරයා වු නිහාල් විජේරත්නට කිසිදු ස්ථානයක් හිමි නොවිම විශේෂ සිදු විමක් විය.
එන්.කේ. ඉමේෂ උදාතර ජේ. කාණ්ඩයේ එම්.එක්ස්. 50 සී.සී. වයස අවුරුදු 7න් පහළ තරගයෙන් ජයගත් අතර සකීඩ් අහාමඩ් දෙවැන්නාද, නීෂ් කුරේ තෙවැන්නාද වුහ.
චාමින් සිරිවික්‍රම පරයා යමින් දෙශාන් සොලංකී එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් 250-750සී.සී. (4ටී)/125 - 500සී.සී. (2ටී) තරග ඉසව්වෙන් ජයගත් අතර චාමින් දෙවැන්නා විය. ඒ.ඒ.එල්.එන්. අධිකාරි තෙවැන්නා ලෙස තරගය නිමා කළේය. එම ඉසව්වේ ජාතික ශූරයා ලෙස අඛන්ඩව වසර කිහිපයක් සම්මානයෙන් පිදුම් ලද ඉමල් මංචනායක තරගාවලියට පෙරදින පුහුණු සැසියේදී සිදුව තිබු අනතුර හේතුකෙටගෙන තරගාවලියට එක් නොවීය. ඔහුට ශාරීරික ආබාධ මෙන්ම යතුරු පැදියටද විශාල අලාභහානි සිදුවි තිබුණි.
පසුගිය වසරේදි ධාවන පථයෙන් ඉවත් වු ගයාන් සඳරුවන්ගේ නාමය දිග් විජය කිරීමට ශානුක ජයනා සඳරුවන් සමත් විය. එම්. කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඹ්.ඩී. 175 - 250සී.සී. (4ටී)/100 - 125සී.සී. (2ටී) තරගයෙන් තියුණු තරගයකින් පසු ශානුක ජයගත් අතර ඉවෝන්ට හිමිවුයේ දෙවන ස්ථානයයි. එම ඉසව්වෙන් ළහිරු ජිවන්ත තෙවැන්නා විය.
බුද්ධික කසුන් සිල්වා එම්.එක්ස්. රේසිං කාණ්ඩයේ 100 – 125 සී.සී. (2ටි) තරග ඉසව්වෙන් ජයගත් අතර මිතුන් ජයසංඛ සිගේරා දෙවැන්නා විය. කමලඩීන් අහාමඩීන් එම ඉසව්වෙන් තෙවැන්නා විය.
බුද්ධික කසුන් දිනයේ දෙවන ජයත් තහවුරු කරමින් දිනයේ දක්ෂතම යතුරුපැදි ධාවකයා තේරීමේ පළමු තරග ඉසව්ව එම්.එක්ස්. රේසිං කාණ්ඩයේ 175 - 250සී.සී. (4ටි)/100 - 125 සී.සී. (2ටී) තරගයෙන් ජයගත් අතර පසුගිය ෆොක්ස්හිල් තරගාවලියෙන් වසරේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස කුසලානයට පාත්‍ර වු ඉෂාන් දසනායක දෙවැන්නා විය. ජාක් ගුණවර්ධන තෙවැන්නා විය. ජාක් වසරකට පසු ධාවන පථයට පිවිස පෑ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක තිබුණි. තරග ආරම්භයේ සිටම පෙරමුණේ පසුවු ජාක් තරගයේ අවසන් අදියරේදී අනතුරකට භාජනය නොවන්න එම ඉසව්වෙන් ජය තහවුරු කිරිමට බොහෝ දුරට අවස්ථාව තිබිණි.
27 වසරක අඛණ්ඩ ඉතිහාසය තුළ මෝටර් රථ වලට වඩා වැඩි වේගයකින් යතුරු පැදි තරග වේගවත්ව ඇති බවක් අවසන් වු ෆොක්ස් හිල් තරගාවලියේදී දැක ගත හැකි විය. පසුගිය වසරේ ශූරතා ද්විත්වයම මෙන්ම ජාතික ශූරතාවද දිනාගෙන සිටින බුද්ධිකට හා ඉෂාන්ට ජාක්ගෙන් හා ඉවෝන්ගෙන් ලැබුණු අභියෝගය සුළු පටු නොවේ. කාලගුණය හරස් නොවන්නට තියුණු තරගාවලියක සුවිශේෂ අත්දැකිමක් විඳ ගැනිමට ක්‍රිඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද අවස්ථාව තිබුණී.
කලක් ධාවන පථයෙන් ඉවත්ව සිටි ලක්මාල් විජේරත්න නැවතත් ධාවන පථයට ප්‍රවිෂ්ටව එස්.එල්./ඒ. මිනි 07 -1000සි.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් ජයගත් අතර ප්‍රසාද් වික්‍රමසිංහ දෙවැන්නාද ඉම්රාස් ෆේරෝස් තෙවැන්නා ද විය.
සිතාර පීරීස් එස්.එල්./ඒ. නවීකරණය කරන ලද 1000සි.සී. තරග ඉසව්වෙන් ජයගත් අතර ප්‍රවිණ මෝටර් රථ ධාවන ශූර යෝගා පෙරේරාගේ පුත් තිරාන් පෙරේරා දෙවැන්නාද චාමික රණතුංග තෙවැන්නාද විය.
එස්.එල්./එස්.1500සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් ඉර්ෂාඩ් ෆායිම් ජය ගත් අතර නයිජල් පෙරේරා දෙවැන්නාද සකීර් වහාබ් තෙවැන්නාද විය.
පැවැති තරග ඉසව්වන්ගෙන් කාගේත් අවධානය හිමිකරගත් තවත් එක් තරග ඉසව්වක් වුයේ එස්.එල්./එන්. ෆෝඩ් ලේසර් /මැස්ඩා 1300සී.සී. මෝටර් රථ තරග ඉසව්වයි. තාත්තා හා පුතා එකට තරග වැදුණු එම තරග ඉසව්ව නියෝජනය කරමින් තරග කරුවන් 14දෙනෙකු සහභාගී වුහ. ප්‍රවිණ මෝටර් රථ ධාවක උපුල්වන් සේරසිංහ ගේ පුත් දෙවින් සේරසිංහ එම තරග ඉසව්ව ජයගත් අතර පියා වු උපුල්වන්ට හිමිවුයේ පස්වන ස්ථානයයි. තාරුක රත්නායක දෙවැන්නා වු එම තරග ඉසව්වේ ලලින් කිරීන්දේ තෙවැන්නා විය. ඉමේෂ් සිල්වා සිව්වැන්නා ලෙස තරගය නිමා කළේය.
1600 සී.සී. එස්. එල්./එච්. තරග ඉසව්වෙන් රන්දික නිරෝෂ් ජයගත් අතර සකීර් වහාබ් දෙවැන්නා විය. ලක්මාල් විජේරත්න තෙවැන්නා ලෙස තරගය නිමා කළේය. ශෙහාරා මෙන්ම දිනේෂ් සේනානායක තරගය නියෝජනය කළ ද දෙදෙනාගෙන් කිසිවෙකුට ස්ථානයක් හිමිකරගැනිමට නොහැකි විය.
මල්ලික කුරුවිටආරච්චි සුපුරුදු ලෙස එස්.එල්./එච්. සුභාරු ලෙගසි 2000සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් ජයගත්තේය.හේෂාන් පිරීස් දෙවැන්නා වු එම තරග ඉසව්වෙන් චමින්ද වීරසූරිය තෙවැන්නා විය.
5000සි.සී. ට්‍රක් හා ජීප්රථ තරග ඉසව්ව ආරම්භ වුවත් අයහපත් කාලගුණය තරග අවසන් කිරිමට අවස්ථාව අහිමි කළේය. අනතුරු කිහිපයක් සිදුවිම නිසා තරග තිරක තරගාවලිය අවසන් කරන බව ප්‍රකාශ කළේය.
27 වසරක ෆොක්ස්හීල් සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරග ඉතිහාසයේ දක්ෂතම ධාවකයෙකු හා දක්ෂතම රියැදුරකු නොමැතිව තරගාවලිය අතර මැද නිමා විය.
පසුගිය 26 වැනි ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙදී දක්ෂතම රියැදුරා ලෙස ධාවන ශූර ආශාන් සිල්වා ජයග්‍රහණය හිමිකරගත් අතර දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ධාවන ශූර ඉෂාන් දසනායක ජයග්‍රහණ හිමිකරගැනීමට සමත්ව සිටියහ.
27 වැනි ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස හච් ශ්‍රී ලංකා ටෙලිකොමිනිකේෂන් ආයතනය කටයුතු කළ අතර මැක්සීස් ටයර් හා එක්සයිඩ් බැටරී ගෙන්වා බෙදාහරින බ්‍රවුන්ස් හා සමාගම සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය.
 









