
හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු සහ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නෙකු වන අනිල් කුම්බ්ලේ වත්මනදී රූපවාහිනි ක්‍රිකට් විචාරකයකු වශයෙන් ක්‍රියා කරමින් සිටියි. මේ දිනවලදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහාත් කුම්බ්ලේ (උපත 1970 ඔක්තෝබර් 17) සම්බන්ධව සිටියේය.
එසේ වුවත් මෙවර අයි. පී. එල්. තරගාවලිය අතරතුරදී හෙතෙම විවේකයක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ සිය පවුලත් සමඟය. කුම්බ්ලේ පවුල නවාතැන් ගත්තේ කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේය.
ඉකුත් අප්‍රේල් මස 21 වැනි ඉරුදින උදෑසන වන විටත් කුම්බ්ලේ පවුල එහි නවාතැන් ගෙන සිටියහ. එදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයටත් ඔවුන් ගොදුරු වීමට ඉඩ තිබිණි. එහෙත් වාසනාවට ඔවුන්ට ජීවත් වීමට අවස්ථාව තිබුණි. ඒ එදින උදෑසන 06 වන විට කුම්බ්ලේ පවුල ෂැංග්‍රීලා හෝටලයෙන් පිටව ගොස් සිටිය බැවිනි.
ප්‍රහාරය එල්ල වන විට කුම්බ්ලේ පවුල සිටියේ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කරමින්ය. එහිදී ඔවුනට මෙම ප්‍රහාරය ගැන දැන ගැනීමට ලැබුණි. ඒ මොහොතේම ඔවුන් නැවතත් සිය රට බලා පිටත්වීමට තීරණය කරන ලදි. මෙම කුරිරු ප්‍රහාරය ගැන දැනගත් විට බොහෝ විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයෝ එය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළහ. ඒ අතරින් වත්මන් ඉන්දීය නායක විරාත් කෝලිගේ ප්‍රකාශය වඩාත් කැපී පෙනෙයි.
“ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රවෘත්තිය ගැන අසා මම කම්පාවට පත් වුනා. මේ ඛේදවාචකයෙන් පීඩාවට පත් වූ සියලුම දෙනා වෙනුවෙන් මා යාච්ඤා කරනවා.” කෝලි පැවසීය. මීට අමතරව ඉන්දියාවේ රෝහිත් ෂර්මා, ලොකේෂ් රාහුල්, සචින් තෙන්දුල්කාර්, වී.වී. එස්. ලක්ෂ්මන්, එංගලන්ත නායක ඔයින් මෝර්ගන්, ඔස්ට්‍රේලියාවේ ටොම් මුඩි, දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් සහ ඩේල් ස්ටේන් වැනි සුපිරි ක්‍රිකට් තරු ද මේ කුරිරු ප්‍රහාරය හෙළා දුටහ.
ඉන්දීය සුපිරි ටෙනිස් ශුරිය වන ෂානියා මිර්සාන් අවාසනාවන්ත සිදු වීමෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සිය ශෝකය පළ කළාය. ඇය විවාහ වී සිටින්නේ පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් සමඟින් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන දසුන් ශානකට මෙම ප්‍රහාරයේ අමිහිරි අත්දැකීමට ලක්වීමට සිදු වුයේය. මීගමුව දේවස්ථානයට ප්‍රහාරය එල්ල වන විට ශානකගේ මව සහ මිත්තණිය එහි රෑඳී සිට ඇත. එසේ වුවත් ඔවුහු තව දුරටත් ජීවත් වීමට වාසනාවන්ත වුහ.
සුප්‍රකට ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ සති අන්ත තරගයක් ඇරඹීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවක නිරත වෙමින් ශ්‍රී ලංකාවේදී අනතුරට පත් වූ පිරිස වෙනුවෙන් ගෞරව දැක්විය.
 









