ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් 27 වැනි වරටත් 21 වැනි දා | සිළුමිණ

ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් 27 වැනි වරටත් 21 වැනි දා

මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ ප්‍රධානතම මංසන්ධිය හමුවන්නේ 1993 වසරේ දී ආරම්භ වු ෆොක්ස්හිල් සූපර්ක්‍රොස් තරගාවලිය සමගිනි. එතෙක් මෙරට පැවැති මෝටර් රථ ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් ධාවන පථය, මාගස්තොට කඳු තරණය හා නුවරඑළිය මාර්ග ධාවන තරගයට පමණක් සිමා වී තිබුණි. කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් ධාවන පථයට මෝටර් රථ ක්‍රීඩාව පිවිසීමට ප්‍රථම කටුනායක ගුවන් ධාවන පථයේ මෝටර් රථ ක්‍රීඩා තරග පැවැත් වීය. කටුනායක ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය වීමට පටන් ගැනීමත් සමඟ මෝටර් රථ ක්‍රීඩාවට කණකොකා හැඩිය. නමුත් තරග සංවිධායකයන් මෙන්ම තරගකරුවන්ද විකල්පයක් සොයා ගත්තේය. ඒ කටුකුරුන්ද ධාවන පථයයි. ප්‍රධාන තරග සියල්ලක්ම කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් ධාවන පථයට සංක්‍රමණය විය. මෝටර් රථ ක්‍රීඩාවේ ටාමැට් තරගවලින් පමණක් සමන්විත තරග පැවැත්විය. එවකට ග්‍රැවල් ධාවන පථ නොවීය. ග්‍රැවල් ධාවන පථයක් පළමු වරට මෙරට මෝටර් රථ ක්‍රීඩාවට එක් වන්නේ ෆොක්ස්හිල් ධාවන පථය නිර්මාණය වීමත් සමඟය.

ෆොක්ස්හිල් ධාවන පථයට මෝටර් රථ ක්‍රීඩාව නිසා 26 වසරක කීර්තිමත් ඉතිහාසයක් උරුම වී තිබෙන්නේ මෙරට බිහිවු පළමු මෝටර් ක්‍රොස් ධාවන පථය විම නිසාය. එතැනින් ඇරැඹෙන මෝටර්ක්‍රොස් ධාවන තරග අද වන විට ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව ඇත. එමෙන්ම ධාවන පථ කිහිපයකින් ද සමන්විත වෙයි. තරගාවලි ගණනාවක් සංවිධානය වෙයි.

වසර 70ට අධික කාලයක ඉතිහාසයක් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයට හිමිව ඇත. එයිනුත් නරියා කන්දට ෆොක්ස්හිල්ට හිමිවන්නේ සියක් වසක ඉතිහාසය කැටි කොටගත් ස්වර්ණමය ඉතිහාසයකි.

1913 වන වසරේ ‘HMS – FOX’ නමැති මහා බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන යුද නෞකාවක් ත්‍රීකුණාමල වරායට නඩත්තු කටයුතු සඳහා සේන්දු වෙයි. නඩත්තුව නිම වෙන තුරු එම නෞකාවේ කාර්‍ය මණ්ඩලය නැ‍ඟෙනහිර ඉන්දියානු රාජකිය නාවික සමාගම විසින් දියතලාවේ නාවික කඳවුරට රැගෙන එයි. ඔවුන්ට නෞකාවේ නඩත්තුව නිම වන තෙක් ඔවුන්ගේ අවශ්‍යතා සපයා නාවික කඳවුරේ නේවාසික පහසුකම් සපයයි. දියතලාව නගරයේ ඇති මනහර පරිසයට වශීවන නෞකාවේ කපිතාන් ඇතුළු පිරිස අවට සංචාරයටද අවස්ථාවක් හිමිකර ගනී. ඒ එක් අවස්ථාවක විද්‍යාපීඨයේ අවට සිරි නරඹමින් කඳු ලැහැබවල් තරණය කරමින් පැමිණෙන බ්‍රිතාන්‍යය නාවික හමුදා පිරිස හාත්පසම පෙනෙන කුඩා කඳු ගැටවලින් වටවු ප්‍රදේශයේ ආශ්චර්ය විදගනී. මේ පිරිසේ සිටි නාවික කපිතාන්වරයා ආරක්ෂක සේවා කණ්ඩායමක් ස්වාධින නගරයක් වශයෙන් පැවැති දියතලාව නගරයට පැමිණිම ඔවුන්ගේ අහඹු පැමිණිම සනිටුහන් කිරීම සඳහා සුන්දර කඳු මුදුනක් මත නරියකුගේ රුවත් ඊට යටින් ‘HMS – FOX’ නමැති අකුරු හයත් 1913 ලෙස වර්ෂය ඒ අවටින් සොයාගත් සුදු පැහැති ගල් යොදාගෙන නිර්මාණයකින් සටහනක් තබයි. එදා නරීන්ගේ රජදහනක් ලෙස පැවැති එම කඳු මුඳුන එම ලාංඡනය නිසා එම පරිසරයට මනබදිනා නවතාවයක් එක්කිරීමට සමත් වෙයි. සියවසකට අධික කාළයක් පුරාවට පැවැති එම සලකුණ වඩාත් ඔපමට්ටම් වෙන්නේ ජනප්‍රිය වන්නේ මෝටර් රථ ක්‍රීඩාවත් සමගයි.

1983 වසරේ පිහිටවන ලද ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (Sri Lanka Association of Racing Drivers and Riders – SLARDAR) මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ නව මං පෙත් සොයා යන මොහෝතක ඔවුන් විසින් ගෙන එන ලද යෝජනාවක් මෝටර් රථ තරගාවලියක් සංවිධානය කිරීම එවකට මේජර් ජෙනරාල් ගාමිණි ගුණසේකර මහතා විසින් යාවත් කාලීන කළේය. මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතාගේ (එවකට කපිතාන් ගාල්ලගේ) කැපවිම මත ප්‍රථම ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය 1993 ඹක්තෝබර් 3 වැනි දා සංවිධානය විය.

තරගාවලියට ඇවැසි වු ධාවන පථය නිර්මාණය කිරීම පැවැරුණේ හැන්ස් රැල්ෆ් කාපේන්ස්කි මහතා වෙතය. ඒ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදා පුහුණුව ලබන නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ වෙඩිපිටය නැතිනම් නරියාකන්ඳට නව අරුතක් එක් කරමින් ප්‍රවීණ මෝටර් ක්‍රීඩා නිපුණතා ලාභී විශේෂඥ හැන්ස් රැල්ෆ් කාපේන්ස්කි මහතා විසින් නරියාකන්ද අර්ථ පූර්ණ ධාවන පථයක් ලෙස නිර්මාණය කිරීමට සමත් විය. 26 වසරක් නවීකරණය වෙමින් අද ද පවතින්නේ එම ධාවන පථයයි.

මෝටර් රථ තරගකරුවන් 60කින් හා යතුරුපැදි තරගකරුවන් 23කින් ඇරැඹෙන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් ප්‍රථම තරගාවලිය ඉතාමත් සාර්ථක තරගයක් ලෙස හැන්ස් රැල්ෆ් කාපේන්සිකි නිර්මාණය කරන ලද ධාවන පථයේ දී 1993 ඔක්තෝබර් 3 වැනිදා නිමාවට පත්විය.

1993 පැවැති ප්‍රථම ෆොක්ස්හි සුපර්ක්‍රොස් ධාවන තරගයෙන් දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස කසීම් වාහාබ් විසින් කුසලාන හිමි කරගත් අතර දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ශේන් ගුණවර්ධන කුසලානය හිමිකරගැනීමට සමත් විය. එතැන් පටන් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කීරිමේ අරමුණ ඇතිව වාර්ෂිකව සංවිධානය වන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය දසක දෙකක් පසුකරමින් තුන්වන දසකයේ අගභාගය දක්වා පැමිණ ඇත. 27 වැනි වරටත් මෙම මස 21 වැනිදා දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ වෙඩි පිටිය වන නරියාකන්ද ෆොක්ස්හිල් ධාවන පථයේ දී ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය පැවැත්වෙයි.

මෙරට සිටින වත්මන් දක්ෂතම ධාවකයන්ගේ මෝටර් රථ ක්‍රීඩාවේ අභිෂේක ලබන ධාවන පථය ලෙස ෆොක්ස්හිල් ධාවන පථය පත්ව ඇති අතර යතුරුපැදි රේසිං ටාමැට් ධාවකයන් හැර සියුලුම මෝටර්ක්‍රොස් ධාවකයන්ගේ පරමාර්ථය කෙසේ හෝ ෆොක්ස්හී ජයග්‍රහකයකු වීමය.

ශේන් ගුණවර්ධනයගෙන් ඇරැඹෙන යතුරුපැදි තරගකරුවන්ගේ පළමු දසකය මුල් යුගය ලෙස සැලැකෙන අතර එම පළමු යුගය ශේන් ගුණවර්ධන, ආනන්ද වෙඩිසිංහ, නලින් පෙරේරා හා උදේෂ් වෙඩිසිංහගෙන් අවසන් වන අතර දෙවන දසකය ආරම්භ වන්නේ ගයාන් සඳරුවන්ගෙන්ය. ගයාන්, රේහාන්, පසිඳු ෂෙහාන් අධිකාරිගෙන් දෙවන දසකය නිමා වෙයි. තුන්වන දසකය ආරම්භ වන්නේත් නැවතත් ගයාන් සඳරුවන්ගෙනි නමුත් ගයාන් ආරම්භ කරන තුන්වන දසකය ඉෂාන් දසනායක ඉදිරියට රැගෙන යයි. අද වන විට අඛන්ඩව තුන් වසරක් දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි කුසලානයට හිමිකම් කියන ඉෂාන් මෙවරද තරගාවලියට එක් වෙයි. මේ අතර වාරයේ වසර කිහිපයක් විදේශිකයන් දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි ෆොක්ස්හිල් කුසලානය තම රටට රැගෙන යමට සමත්ව ඇත.

1993දි ශේන් ගුණවර්ධන දක්ෂතම ධාවකයා ලෙස ෆොක්ස්හිල් කුසලාන දිනා ගත් අතර ආනන්ද වෙඩිසිංහ 1994 සිට 1999 තෙක් අඛණ්ඩව වසර හයක් දක්ෂතම යතරුපැදි ධාවකයාට හිමි කුසලානය දිනා ගත්තේය. 2000 - 2002 දෙවසර නලින් පෙරේරා විසින් දක්ෂතම යතුරුපැදි ධාවක කුසලානය දිනා ගෙන ඇති අතර 2001 වසරේ දී උදේෂ් වෙඩිසිංහ, 2003 වසරේ දී විජය කුමාර, (ඉන්දියාව) 2004 වසරේ ගයාන් සඳරුවන්, 2005 රේහාන් බුල්ජන්ස්, 2006 වසරේ ගයාන් සඳරුවන්, 2007 වසරේ ගයාන් සමඟ පසිඳු පීරිස්, 2008/2009 ගයාන් සඳරුවන්, 2010 සී.එස්. සංතූෂ් (ඉන්දියාව) 2011 වසරේ ටෙමෝයා සුසුකි (ජපානය) නැවතත් 2012 වසරේ දී ගයාන් සඳරුවන්, 2013 වසරේ දී ෂෙහාන් සී. අධිකාරී, 2014/2015 කේ.පී. අරවින්දන් (ඉන්දියාව), 2016/2017/2018 තුන්වසර ඉෂාන් දසනායක දක්ෂතම යතුරු පැදි ධාවකයාට හිමි කුසලනය දිනාගෙන ඇත.

කසීම් වහාබ්ගෙන් ඇරැඹෙන දක්ෂතම මෝටර් රථ රියදුරන්ගේ පළමු දසකය කසීම්, රීස්වි, අරවින්ද, ප්‍රදීප්, සේනක, දිනේෂ් සේනානයක, දිනේෂ් දෙහෙරගොඩ හා නලීන් ඩී. පෙරේරාගෙන් අවසන් වෙයි. දෙවන දසකය ආරම්භ වන්නේ නැවතත් අරවින්ද ප්‍රේමදාසගෙනි. එය අවසන් වන්නේ පසිඳු පීරීස්ගෙනී. තුන්වන දසකය ආරම්භ වන්නේ අශාන් සිල්වාගෙනි අශාන්ගෙන් ඇරැඹෙන තුන්වන දසකය අදවන විට කිරුළු දරමින් සිටින්නේ අශාන්ම පමණී.

1993/1994 ආරම්භක දෙවසරම කසීම් වහාබ් විසින් දක්ෂතම රියදුරු ලෙස ෆොක්ස්හිල් කුසලාන දිනාගැනීමට සමත් වු අතර 1995/1996 දෙවසර රීස්වී ෆාරුක් දක්ෂතම රියදුරා ලෙස කුසලානය දිනාගැනිමට සමත් විය. 1997- 1999 දෙවසරේ දි අරවින්ද ප්‍රේමදාස, 1998 වසරේ දී ප්‍රදීප් ජයවර්ධන, 2000 දී සේනක ඇම්බ්‍රෝස්, 2001 වසරේ දී අරවින්ද ප්‍රේමදාස 2002 වසරේ දී දිනේෂ් දෙහෙරගොඩ, 2003 වසරේ දී නලීන් ඩී.පෙරේරා නැවතත් 2004 සිට 2010 අඛන්ඩව හත් වසරක් අරවින්ද ප්‍රේමදාස, 2011/2012 දෙවසර පසිඳු පීරිස්, 2013 වසරේ අශාන් සිල්වා, 2014 වසරේ දිනේෂ් දෙහෙරගොඩ, 2015 වසරේ අශාන් සිල්වා, 2016 වසරේ පසිඳු පිරිස් හා 2017/2018 අශාන් සිල්වා දක්ෂතම රියදුරාට හිමි ෆොක්ස්හිල් කුසලානාය දිනාගැනිමට සමත්ව ඇත.

ෆොක්ස්හිල් මෝටර් රථ තරග අංශයෙන් අරවින්ද ප්‍රේමදාස මේ වන විට වාර්තාගත ජයග්‍රහණ 10ක හිමිකරුවා වන අතර යතුරුපැදි අංශයෙන් ආනන්ද වේඩිසිංහ හා ගයාන් සඳරුවන් තරග හය බැගින් දිනා කීර්තිමත් සම වාර්තාවක හිමිකරුවන් වෙති. ආනන්ද වෙඩිසිංහ නම් ඒ ප්‍රතිභාපූර්ණ යතුරුපැදි ධාවකයා 2017 වසරේ දී අප අතරින් වයෝ වූ අතර ගයාන් සඳරුවන් නම් ඒ ධාවන ශූරයා යෞවුවනයා පසුගිය වසරේ දී යතුරුපැදි ක්‍රීඩාවට සමුදුන්නේය.

නමුත් අදටත් අප අතර දැකිය හැකි රීයැදුරන් අතර අරවින්ද ප්‍රේමදාසගේ දක්ෂතා අති මහත්ය. එමෙන්ම 26 වසරක් අඛන්ඩව තරගාවලිය නියෝජනය කළ දිනේෂ් සේනානයක අදද කරට කර සටනක නවකයන් සමඟ තරගවදිණි.

ආනන්ද වෙඩිසිංහ නමැති ධාවන ශූර යතුරුපැදිකරුවා යතුරුපැදි ක්‍රීඩාවේ වත්මන් යුග පුරුෂයා ලෙස කළ කැපකිරීම කිසිදා කිසිවිටක අමතක කළ නොහැක. 2017 වසර තෙක්ම ෆොක්ස්හිල් ධාවන පථය වර්ණවත් කළ ආනන්ද වෙඩිසිංහ 25 වැනි ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් රී දී ජුබිලියට සමුදුන්නේ නැවතත් 2018 වසරේ දී ෆොක්ස්හීල් ධාවන පථයට පිවිසීමේ ඒකායන අධිෂ්ඨානයෙන් විය හැක. නමුත් ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙන් පසුදින (2017 අප්‍රේල් 23 වැනි දා ) නුවරඑළිය මාර්ග ධාවන තරගයේ දී සිදුවු අවාසනාවන්ත යතුරුපැදි අනතුරින් ආනන්දගේ මග හරස් විය. ආනන්දගේ ජිවිතය අපට අහිමි විය. දින ගණනාවක් රෝහල්ගතව සිට ආනන්ද වෙඩිසිංහ නම් ඒ අපූර්ව ධාවකයා ජිවිතයෙන් සමුගත්තේය. ආනන්ද වෙඩිසිංහ නමැති අති දක්ෂ ධාවන ශූරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයට පෞද්ගලිකවම ලබා දුන් ආධාරද අති විශාලය.

Comments