
දිනය ඉකුත් 05 වැනි සිකුරාදාය. ඇමෙරිකාවේ බේටන් රූජ් නගරයයි. එය ලුයිසියානා ප්‍රාන්තයේ අගනුවරත් වේ. එහි දී මෙවර ඇමෙරිකානු විශ්වවිද්‍යාල කලාපීය ජිම්නාස්ටික් ශුරතාවලිය පැවැත් වෙමින් තිබිණි.
එහි එක් තරග ඉසව්වක් වූයේ කාන්තා භූමි ව්‍යායාමයයි. ඊට ඕබර්න් විශ්වවිද්‍යාලයේ 22 හැවිරිදි සමන්තා සීරියෝ සහභාගි වෙමින් සිටියාය. ඕබර්න් විශ්වවිද්‍යාලය පිහිටියේ ඇලබාමා ප්‍රාන්තයේ ඕබර්න් නගරයේය.
අඩි 5ක් පමණ උසැති සමන්තා ඕබර්න් විශ්වවිද්‍යාල ජිම්නාස්ටික් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවකි. මෙවර තරග වාරය ඇයට ඉතාම වැදගත් විය. ඒ ක්‍රීඩිකාවක් ලෙසට තරග කරන අවසන් වාරය මෙවර වූ බැවිනි. “මට අවශ්‍ය වුණේ මෙම ශූරතාවලියේ දී උපරිම දක්ෂතා දක්වලා මගේ කණ්ඩායම තවත් ඉදිරියට ගෙන යාමටයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ලෙසට එය මගේ වගකීමකුත් වෙනවා.” සමන්තා සිය තරග ඉසව්වට පෙර පැවසුවාය.
සමන්තා සිය තරග ඉසව්වට සාර්ථකව මුහුණ දෙමින් සිටියාය. එහෙත් එක් වරම සිදු වූයේ අනපේක්ෂිත සිදු වීමකි. ඇය පලස මත එක් කෙළවරක සිට තරමක් වේගයෙන් දුවගෙන විත් කරණමක් ගැසුවාය. එහි දී ඇයගේ දෙපා පොළොව මත පතිත වන විට දරුණු ආබාධයකට ලක් වුවාය. එහි දී වූයේ ඇගේ දණහිස් පැන දෙපා කැඩී යාමකට ලක් වීමයි.
ඒ සමඟම ඇය සිටිය ඉරියව්වෙන්ම බිම වාඩි වුවාය. “එය හරිම වේදනාකාරී අත්දැකීමක් වුවා.” සමන්තා පසුව පැවසුවාය.
මෙම සිදුවීම දුටුව නරඹන්නෝ පුදුමයට පත් වෙමින් නිශ්ශබ්ද වුහ. එම අවස්ථාවේදීම වෛද්‍ය කණ්ඩායම සමන්තා වෙතට ගියාය. පසුව ඇයව ඉවතට රැගෙන යන විට නරඹන්නෝ ඇයට ප්‍රතිචාර දැක්වුයේ අත්පුඩි ගසමින් ඉතා උණුසුම් ආකාරයටයි.
“එය බලා සිටීමට හරිම අමාරු වුණා. ඇය සටන්කාමිනියක්. ඇය කිව්වේ කණ්ඩායමේ අනෙක් කෙල්ලන්ට උදව් කරන්න කියලයි.” ඕබර්න් විශ්වවිද්‍යාල ජිම්නාස්ටික් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ජෙෆ් ග්‍රාබා (උපත 1968 දෙසැම්බර් 26) පසුව පැවසුවේය.
අනතුර සිදු වී දින කිහිපයකට පසුව තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බව සමන්තා පැවසුවාය. “ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ලෙසට මම ගත කළ අවසන් රාත්‍රිය තමයි සිකුරාදා. වසර 18කට පසුව මම ක්‍රීඩාවෙන් ඉවත් වෙනවා. අද මම පුද්ගලයෙක් ලෙසට කිසියම් තැනක සිටිනවාද ඒ සඳහා ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් මට විශාල සහායක් ලැබුණා. ජිම්නාස්ටික් මහන්සි වී වැඩ කිරීම, නිහතමානිකම, අවංකකම සහ කැපවීම මට ඉගැන්වූවා. ජිම්නාස්ටික් මට අභියෝග සහ බාධක ලබා දුන්නා. ඒවාට මුහුණදෙන ආකාරය ගැන පරීක්ෂාවට ලක් කළා. ඒ මම නොහිතපු ආකාරයටයි. මගේ ක්‍රීඩා දිවිය සැළසුම් කළ පරිදි නිමා වූයේ නැහැ. ඒ වුණත් කිසිවක් සැළසුම් කළ පරිදි වෙන්නෙත් නැහැ.”
සමන්තාගේ සේවය අහිමි වූවත් ඕබර්න් විශ්වවිද්‍යාල ක්‍රීඩිකාවෝ විශිෂ්ට ආකාරයට තරග කළහ. එහි ප්‍රතිඵලය වූයේ සමස්ත ලකුණුවල දෙවන ස්ථානය ඔවුනට හිමි වීමයි. එසේ වුවත් පසුදින පැවැති අවසන් තරගවල දී ඔවුනට හිමි වූයේ සිවුවැනි ස්ථානයයි. එම නිසාම ජාතික ශුරතාවලියට තරග කිරීමේ අවස්ථාව යන්තමින් ඔවුනට අහිමි වුහ.
සමන්තා සීරියෝ හන්ටර්ස්විල් නමැති නගරයේ පදිංචි කාරිණියකි. උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නිරත දිග පිහිටි මෙක්ලෙන්බර්ග් හි විශාල උප නාගරික නගරයක් ලෙසට හන්ටර්ස්විල් හැඳින්විය හැකිය. සමන්තාට සිදු වූ මෙම අනතුර නිසා හන්ටර්ස්විල් නගරයටත් විශාල ප්‍රසිද්ධියක් ලැබෙමින් පවතියි.
ක්‍රීඩා දිවිය නිමා වුවත් සමන්තාගේ ජීවිතය තවදුරත් ඉදිරියට ගමන් කළ යුතුයි. ඇය මේ වන විට ඕබර්න් විශ්වවිද්‍යාලයේ ගුවන් අභ්‍යවකාශ ඉංජිනේරු සිසුවියකි. ලබන මස එහි උපාධිය ලබා ගැනීමට නියමිතය.
එමෙන්ම වසර අග දී සුප්‍රකට බෝයිං සමාගමේ රැකියාවක් කිරීමට ඇය නියමිතව සිටියි. බෝයිං යනු ඇමෙරිකානු ලෝ ප්‍රකට සමාගමකි. එහි මුලස්ථානය ඉලිනොයි ප්‍රාන්තයේ චිකාගෝ නුවර පිහිටා ඇත.
ඇමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩා ඉතිහාසයේ තරගයක් අතරතුර දී දරුණු අනතුරකට ලක් වූ එකම ක්‍රීඩිකාව සමන්තා නොවේ.
ජුලිසා ගෝමස් (උපත 1972 නොවැම්බර් 04 - විපත 1991 අගෝස්තු 08 ) අසූව දශකයේ දක්ෂ ඇමෙරිකන් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකි. 1988 වසරේ දී ක්‍රීඩා කරන විට ඇය අනතුරකට ලක් වූවාය. එහි ප්‍රතිඵලය වූයේ ඇගේ අත් සහ පාද සතරම පන නැති වීමයි. අවසානයේ දී 18 හැවිරිදි වියේ දී ඇයට මෙලොවින් සමු ගැනීමටත් සිදු වූවාය. ඒ ඉහත අනතුර නිසාවෙනි.
ජුලිසාගේ මෙම අනතුර නිසා ඇගේ ඉසව්ව බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුහ. එහි ප්‍රතිඵලය වූයේ ආරක්ෂිත බව සුරැකීම සඳහා එම ඉසව්වේ ප්‍රධාන වෙනස්කම් සිදු කිරීමට බලධාරීන්ට සිදු වීමයි. 
 









