කංජිපාන ඉම්රාන් ගැන සෙවූ පොලිස් නිලධාරීන්ට මාරු | Page 2 | සිළුමිණ

කංජිපාන ඉම්රාන් ගැන සෙවූ පොලිස් නිලධාරීන්ට මාරු

ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ පසු වන කංජිපාන ඉම්රාන්ගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලදී එකී කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුම ස්ථාන මාරුවීම් ලැබ තිබීම හේතුවෙන් ඔහුගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලදී යම් ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවට පොලිස් ආරංචි මාර්ගවලින් හෙළි වේ.

ඒ පසුගිය සමයේ ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් කොළඹ සිදු කළ අපරාධවලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා, ස්ථානාධිපතිවරයා මෙන්ම බුද්ධි අංශ ස්ථානාධිපතිවරයාද මේ වන විට ස්ථානමාරු ලැබ තිබීම නිසාය. ඒ නිසා ඉම්රාන් පසුගිය සමයේ ‍සිදු කළ අපරාධ පිළිබඳ බොහෝ තොරතුරු දත් නිලධාරීන්ගේ අඩුව හේතුවෙන් ඉම්රාන්ගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලට බාධා පැමිණ ඇති බවට සැල වේ. ඊට හේතු වී ඇත්තේ ඉම්රාන්ගේ ගෝලබාලයන් ගැන සේම ඔවුන් ඒ සමයේ භාවිත කළ අවිආයුධ පිළිබඳ තොරතුරුද දැන සිට ඇත්තේ එකී උසස් නිලධාරීන් නිසාය.

පසුගිය සමයේ කිහිප විටකදීම ඉම්රාන් ඩුබායි සිට ඇමැතුම් දෙමින් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන්ට තර්ජනය කොට තිබුණේද ඔහු පිළිබඳව සියලු තතු එම නිලධාරින් දැන සිටි නිසාවෙන් මෙන්ම ඔහුගේ ගෝලබාලයන් දිගින් දිගටම අත්අඩංගුවට ගත් හෙයිනි. එසේම පසුගිය 28 දා කොළඹ අපරාධ කොට්ඨාස බාරයට පසුවන මොහොතේද ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාස බුද්ධි නිලධාරියා ගැන විශේෂයෙන් විමසා ඇති බවට පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි. ඒ නිසා කංජිපාන ඉම්රාන් වෙනුවෙන් දේශපාලන මෙන්ම පොලිසිය තුළින්ම අදිසි හස්තයක් ක්‍රියාත්මක වනවාදැයි යම් සැකයක් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම මතුව ඇති බව අනාවරණය වේ.

Comments