අය-වැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි | Page 2 | සිළුමිණ

අය-වැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි

2019 වසර සඳහා වූ අය-වැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 45කින් සම්මත විය. මෙහිදී පක්ෂව ඡන්ද 119ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය 74කි.

එක්සත් ජාතික පෙරමුණ සමඟ දෙමළ ජාතික සන්ධානය හා ලංකා කම්කරු කොංග්‍රසයද අය-වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේම්ජයන්ත් යන මන්ත්‍රීවරු හා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීහු අය-වැයට විරුද්ධව ඡන්දය භාවිත කළහ.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පසුගිය මාර්තු 5 වැනිදා මෙරට 73 වන අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අය-වැය දෙවන වර කියවීමේ විවාදය මාර්තු මස 6 වැනිදා ආරම්භ වූ අතර, පුරා දින හයක් ඒ විවාදය පැවැත්වීමෙන් පසු මාර්තු 12 පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරිණි. එහිදී පක්ෂව ඡන්ද 119ක්ද විපක්ෂව ඡන්ද 76 ක්ද වශයෙන් වැඩි ඡන්ද 43කින් සම්මත විය. එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වැයශීර්ෂ පිළිබඳ සාකච්ඡා කරන අය-වැය පිළිබඳ තෙවන වර කියවීම ‍හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මාර්තු 13 සිට අප්‍රේල් 5 දක්වා පුරා දින 19ක් පැවැති අතර, 5වැනිදා පස්වරුවේදී ඡන්ද විමසීම සිදු කෙරිණි. එහිදී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය; අභ්‍යන්තර, ස්වදේශ ක‍ටයුතු, පළාත් පාලන හා පළාත් සභා යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විපක්ෂය විසින් පරාජය කරනු ලැබීමෙන් අනතුරුව අදාළ අමාත්‍යාංශ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තු එදිනම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Comments