
මේ මිනිස්සු බලවත්හු නො අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමය තුළ ගොඩනැඟී තිබිණි. ඒ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කළ වකවානුවය. මගේ තාත්තා උපදින්නේ 19 වැනි සියවසේ අවසාන අවුරුද්දේය. එනම් 1899 දී ය. ඔහු මලපොතේ අකුරක් නොදත් ගැමි ගැහැනියකගේ හා ගොවියෙකුගේ පුතෙකි. ඉගෙනගත්තේ ඉඩමේගම ගමේ පාසලෙනි. ඉංග්‍රීසි පාලනය තිබූ වකවානුවේ ඉංග්‍රීසිය යෙහෙන් හසුරුවන්නට හැකි අධ්‍යාපනයක් ගමේ පාසලෙන්ද ලැබී තිබිණි. ඔහු 1910 දී මොනිටර් ගුරුවරයෙකු ලෙස පත් වීම ලැබුවේය. ඉඩමේගම පාසලෙන් රජයේ රැකියාවක් ලද පළමු වැනියා ඔහුය. 1921 ජනවාරි වන විට ඔහු මධ්‍යම පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කිරීමට සුදුසුකම් සැපිරුවේය. ඒ විභාග කිහිපයකට මුහුණ දෙමිනි. අනතුරුව විදුහල්පතිවරයෙකු වශයෙන් වත්තේගම්මැද්ද, අටබාගේ උඩගම, වැවගම යන පාසල්වල සේවය කළේය.
මාගේ අම්මාද ගමේ අහිංසක ගොවි පවුලක දියණියකි. ඇයගේ මවට අස්සනක් තැබීමට තරම්වත් සාක්ෂරතාවක් නොතිබිණි. පියාද කවදාවත් පාසලකට නොගිය ගොවියෙකි. දුම්බර මිටියාවතේ ගුන්නෑපාණ ගමේ දී ඇය ඉපදෙන්නේ 1909 ජනවාරි මාසයේය.
මුදලිමැණිකේ වූ අත්තම්මා අධ්‍යාපනය ලැබුවේ ගුන්නෑපාන පාසලෙනි. ඇයත් ගුරුවරියකි. ඇය ගුරු පත්වීම ලබන්නේ වර්ෂ 1929 අප්‍රේල් මස පවත්වන ලද ස්වභාෂා ගුරුවරුන් තෝරාගැනිමේ විභාගයෙනි. විභාගයෙන් සමත්ව ඇය උඩිස්පත්තුව පාඨශාලාවට පත් වීමක් ලද්දීය.
මේ මිනිස්සු බලවත්හු නොවූහ. දේශපාලනික හෝ පවුල් බලයක් නැති ගැමි පසුබිමක් සහිත පවුල්වලින් පැවත එන්නෝ වූහ. එහෙත් හැකියාව හා කුසලතාව මත කිසිම බලපෑමකින් තොරව මතු වී ලෝකය ජය ගැනීමට හැකි ක්‍රමවේදයක් එදා අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමය තුළ ගොඩනැඟී තිබිණි. මගේ මවුපියන් තමන් ලද අවස්ථාව නොමසුරුව සිය සිසු දරු දැරියන් වෙත ලබාදුන් ආකාරය අත්දැකීමෙන් දුටුවෙමි.
ගුරු යුවළකගේ දරුවන්වීම අමුතුම අත්දැකීමකි. එය විවිධ අලුත් අත්දැකීම් ලබන වෙනස්ම ආකාරයේ ජීවිතයකි. එය ප්‍රීතිමත්ය. එක් පාසලක අවුරුදු 5ට වඩා සේවය කිරීමට ඉඩ නොලැබේ. චක්‍රලේඛ අනුව කිසිම බලපෑමකට හෝ දේශපාලනයකට යටත් නොවී රජය දෙන මාරු වීම භාරගත යුතුය. ඒ කාලයේ සෑම පාසලකම ගුරු නිවසක් තනා තිබිණි. එය කුස්සියක් හා කාමර දෙකක් හෝ තුනක් සහිත ඉදිකිරීමකි. ගුරු නිවාසය තිබුණේ පාසලක් ප්රධාන ශාලාවටම යාබදවය.
අම්මාට හා තාත්තාට අනිවාර්යයෙන්ම නියමිත කාලයේදී මාරු වීම් ලැබේ. අපි ඒ අවස්ථාවට බෙහෙවින්ම ප්‍රිය කළෙමු. නව පාසලක්... නව පරිසරයක්... අලුත් යාළුවන්.... ගුරුනිවාසයේ නැවතීමත් සමඟම ගුරුවරුන් වූ මගේ මවුපියෝ පූර්ණකාලීනව පාසල වෙනුවෙන් කැප වූහ.
අප මැදවල ගමට ආවේ 1948 අවුරුද්දේය. මැදවල ගමට පදිංචියට පැමිණි මුල්ම ගුරුවරිය මගේ අම්මාය. ඒ කාලය වන විට මැදවල ගමේ ලංකා සභාව මඟින් පාලනය වූ මිශනාරි පාසල් ගොඩනැගිල්ලක් හා උළු වැසු බිම ගොම ගාන ලද ගොඩනැගිල්ලක් විය. ඒ වන විට එහි විදුහල්පතිවරයා වූයේ බොකලවල ගමේ පී.ආර්.බී වික්‍රමසිංහ නම් මහතෙකි. උළු වැසු ගොඩනැගිල්ලේ පිහිටි ගුරු නිවසෙහි ඔහු සිය පවුල සමග ජීවත් විය. මැදවල පදිංචියට එන විට 1948 දී මා අට වසරේ ඉගනුම ලබන සිසුවියක වූයෙමි. මම ඒ පාසලට ඇතුළත් කරනු ලැබීමි.
මෙතෙක් මා පිය දෙදෙනාගේ යටතේ ඉගෙනුම ලැබු මා ඒ අයගෙන් ඈත්ව පාසලකට ගිය මුල්ම දවස එයයි. එහෙත් ගුරු මණ්ඩලය හා සිසුන් ටික දිනක දී මගේ සිත් ගත්තේය. මැදවල අටේ පන්තියේ එදා සිටියේ සිසුන් දෙදෙනකු හා සිසුවියන් තිදෙනෙකි. ඔවුන් නම්, ධනසේකර බණ්ඩා කුලසේකර, අත්තනායක මුදියන්සේලාගේ ඩිංගිරිබණ්ඩා, දොරණෑගම පල්ලේ ගෙදර කුමාරිහාමි, ඉහගම ඇග්නස් රාජපක්ෂ, දොරණෑගම කමතේ ගෙදර යසෝ මැණිකේය.
අද ගුරුවරු මෙන් නොව, එකල ගුරුවරුන්ට ගුරු විවේක කාමර නොතිබිණි. ඒ කාලයේ කැප වීමෙන් වැඩ කළ ඒ ගුරුවරුන් පන්තියෙන් බැහැර ගියේ විවේක කාලයේ පමණි. උපකාරක පන්ති තබා අතිරේක පොත්පත්වත් පුවත්පතක්වත් දක්නට නැති වකවානුවක ශිෂ්‍යයන්ට පූර්ණ දැනුම ලබාදීමේ වගකීම පැවරුණේ ගුරුවරුන්ටය. ඒ ගුරුවරු තමන්ගේ කාර්යය නියත වගකීමක් කොට සලකා ඉටු කළහ.
1949 දෙසැම්බර් මාසයේ පැවැත් වු ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් මැදවල ලංකා සභා පාසලෙන් මම සමත් විමි. ඒ වන විට මාගේ වයස අවුරුදු 14ක් විය. ඉඩමේගම පාසලේ එවකට ප්රධානාචාර්යවරයා වූයේ එම්. ඇම්. සෝමරත්න ඇල්ලේපොළ මහතාය. ඒ වන විට එම පාසලේ ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය දෙකෙන්ම ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට ළමයින් සුදානම් කිරීමට පන්ති පවත්වාගෙන යමින් තිබිණි. එපමණක් නොව රෙදි විවීම, ලක්ෂා කර්මාන්තය වඩුවැඩ යන අංශවලට ද සිසුන් යොමු කරන ලදි. මේ නිසා අවුරුදු පතා රෙදි විවීමට, ලාක්ෂා කර්මාන්තයට, වඩු කර්මාන්තයට, ටෙක්නිකල් කොලීජියට ශිෂ්‍යයන් පුහුණු කිරීමට තෝරාගැනිණි. අප අද කතා කරන ප්‍රායෝගික ප්‍රතිඵල සහිත අධ්‍යාපන ක්‍රමයක් මීට අවුරුදු හැත්තෑවකට එපිට මේ රටේ පැවතිණි.
සිංහල ජ්‍යෙෂ්ඨය සමත් වූ වයස අඩු සිසුන් ඉංග්‍රීසි මාධ්‍ය හත්වැන්නට භාරගෙන එම සිසුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට ඉඩ සැලැස්වීය. එසේ උගත් අවුරුදු 18 සම්පුර්ණ කළ සිසුන් නොරදවාම සිංහල ගුරු අභ්‍යාස විද්‍යාලයට අවුරුදු පතාම තේරිණි. මටද ඒ භාග්‍ය ලැබිණි. ගුරු-පියවරුන් නොව එවැනි බෝධිසත්වවරුන් මේ කාලයේ පහළ නොවන්නේ රටේ අවසනාවටය. එස්.එස්.සී පන්තියේ ගණිතය, ඉංග්‍රීසි භාෂාව, ඉංග්‍රීසි සාහිත්‍යය, සිංහල භාෂාව හා සාහිත්‍යය යන ප්රධාන විෂයයන් සියල්ලම අපට ඉගැන්වූයේ විදුහල්පති සෝමරත්න මහතාමය. ප්රජාචාරය හා සෞඛ්‍යය වික්‍රමසිංහ මහතාට භාර විය. කිසි දා කිසිම කාල පරිච්ඡේදයක් එතුමා මඟහැරියේ නැත.
අධ්‍යාපන කාර්යාලයෙන් නිලධාරී මහතුන් පැමිණියත් පටන් ගත් පාඩම අවසන් නොකර පන්තියෙන් පිට වී ගියේ නැත. ඒ කාලයේ සේවා හා පහසුකම් ගාස්තු වශයෙන් රුපියල් දෙකක මුදලක් ගෙවිය යුතු විය. එය ඒ වකවානුවේ සැලකිය යුතු මුදලකි. එම මුදල ගෙවීමට නොහැකි ළමයි බොහෝ වූහ. නමුත් සෑම වාරයක් අවසානයේදීම පාසල් පහසුකම් ගාස්තු ගෙවා අලුත් වාරයට අප යන විට විදුහල්පතිතුමාගේ කාර්යාලයේ අලුත් සුවඳ හමන පුස්තකාල පොත් සියයක් පමණ ගොඩගසා තිබිණි. පොත් වර්ග කිරීම, නොම්බර දැමීම, පොත් ලැයිස්තු ගත කිරීම ආදි වැඩ රාශියක් ද අපේ කර පිට පැටවිණි.
පොත් කියවීමට අපට ඇති ආශාව ඉහවහ යන්නකි. සෑම සිකුරාදාව ම විදුහල්පතිතුමාට විශේෂිත කාර්යයක් තිබේ. සෑම සිකුරාදාම පුස්තකාල පරිච්ඡේදයක් තිබේ. මේ කාල පරිචේඡ්දයේදී පුස්තකාල පොත් දෙකක් (එකක් සිංහල එකකි. අනෙක ඉංග්‍රීසි පොතකි) ලබා ගැනීමට අවසර ඇත. විදුහල්පතිතුමා පන්තියට අවුත් වාඩිවී අප එකිනෙකාට දබරැඟිල්ල දිගු කරයි. අප එවිට නැඟී සිට අප ඒ සතියේ කියවු පොත් දෙකේ නම් කිව යුතුවේ. එවිට එතුමා එක පොතකින් එක බැගින් ප්‍රශ්න දෙකක් අපෙන් අසයි. උත්තර දීමට අපොහොසත් වුණොත් ඒ සතියට අලුත් පොත් දෙකක් නොලැබේ.
අහන ප්‍රශ්නයත් සමහර විට පොතේ කොහේ හෝ මුල්ලක ඇති අපට අසු නොවු දෙයක් වීමට බොහෝදුරට ඉඩ ඇත. පොත් නැති සතිය අප ගත කරන්නේ ඉතාමත්ම කනගාටුවෙනි. ඒ පොත් කියවීමේ පුරුද්ද මෙතරම් වයස්ගත වීත් තවමත් අත්හර නැත.
ඉඩමේගම පාසලේ දී පන්තියකට එක බැගින් ඉංග්‍රීසි පත්තරයක් දිනපතා මිලදී ගත් නිසා කරදරයක් නැතිව පත්තරය කියවීමේ අවස්ථාව ද අපට ලැබිණි. නැති නම් නුවර යන අයෙකුට මුදල් කලින් ගෙවා පත්තරය ගෙන්වා ගත යුතු විය. එය ලැබේද නොලැබේද යන අවිනිශ්චිතය. වර්ෂ 1954 දෙසැම්බර් පැවැත්වු එස්.එස්.සී විභාගයෙන් මම ගණිතයට ඒ සාමර්ථ්යයක්ද සිංහල, සිංහල සාහිත්‍යය, බුද්ධාගම යන විෂයයන්ට සම්මාන සාමර්ථ්‍යය ද ඇතුව සමත් වීමි.
1956 පැවැත්වූ අවසාන ගුරු සහතික පත්‍ර විභාගයෙන් සමත් වූ මට ගුරු පත්වීමක් ලැබිණි. ඒ ජාතික ප්රබෝධයක් ඇති වූ අවුරුද්දකි. 1959-1960 වර්ෂවල මට පේරාදෙණිය අභ්‍යාස විද්‍යාලයෙන් ද්විභාෂා පුහුණු ගුරු සහතික පත්‍රයක් ලැබිණි. එහිදී මම ‘අධ්‍යයනය පිළිබඳ ශිෂ්‍ය නායිකා’ නායිකා පුහුණුවද ලැබුවෙමි. නෙට්බෝල් ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ලෙස ද පුහුණුව ලැබුවෙමි.
මා විදුහල්පති විභාගයට පෙනී සිටින විට කළු සුද්දන්ගේ ප්‍රජාතාන්තික ජනරජවාදී ආණ්ඩුක්රමය ස්ථාපිත වී තිබිණි. මම දෙවරක් විදුහල්පති ශ්‍රේණි විභාගයෙන් සමත් වීමි. නමුත් දෙවරම සම්මුඛ පරීක්ෂණවලින් අසමත් වීමි.
දේශපාලන හේතු මත විදුහල්පතිකම් නොලැබු අයට අභියාචන දැමීමට අවස්ථාවක් දී තිබිණි. මම ඊට ද ඉදිරිපත් වුණෙමි. එහෙත් ලිඛිත විභාගයෙන් සමත් වන හැම දෙනාම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් නොවන බවත් පරීක්ෂකවරයා මගෙන් විමසීය. පාසලෙන් පිටත ගමේ දියුණුවට ඇති සංවිධානවල කි‍්‍රයාකාරී සාමාජිකත්වයක් තිබේ දැයි අනතුරුව මගෙන් ප්‍රශ්න කළේය.
අප ගුරුවරුය. ගමේ ඇති සංවිධානවල ක්‍රියාකාරි ලෙස නිරතවිය යුතු නම් ඒ පාසල් වේලාවෙන් පසුවය. රාජකාරියට අමතරව මවක මෙන්ම ගෘහිණියක ලෙස ගත කරන ජීවිතය තුළ අපට එවන් අවස්ථාවක් නොලැබෙන බව මම ඔහුට පැවසුවෙමි. එම සම්මුඛ පරීක්ෂණය ද අහවර විය. ඔහු ඉල්ලා සිටියේ දේශපාලකයෙකුගේ නිර්දේශයකි.
එවැනි ගැති විදුහල්පතිකමකට වඩා පුංචි දරුවන් සමඟ විශ්‍රාම යනතුරම ගනුදෙනු කිරීම වාසනාවක් යයි මම කල්පනා කළෙමි.