
ශ්‍රී ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් හට යම් යම් අවස්ථාවලදී මුහුණ පෑමට සිදුවන අපහසුතාවයන් වාර්තා කිරීමට සහ ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට උපරිම දායකත්වයක් සංචාරක පොලිසිය මගින් ලබා දේ.සංචාරක පොලිස් ඒකක 11ක් රට පුරා දෑනට පිහිටුවා ඇති අතර තවත් ඒකක 22 ක ප්‍රමාණයක් දිවයින පුරා ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
මෙම සංචාරක පොලිසි පිහිටුවීමේදී ඉඩම් පහසුකම් සොයා ගැනීම මහත් දුෂ්කරතාවක්ව පවතින අතර, එයට පිළියමක් වශයෙන් කුඩා ඉඩම් ප්‍රමාණයක බහාලුම් (Container) භාවිත කර සංචාරක පොලිසි පිහිටුවීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වේ.
මෙම එක් ඒකකයට බහාලුම් 4 ක් පමණ භාවිත කරන අතර ,පොලිසියට අවශ්‍ය සියලු පහසුකම්, ස්ථානාධිපති කාර්යාලය, නවාතැන් පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් යනාදී සියල්ල මෙම පොලිස් ඒකකයට අන්තර්ගත වේ.
මෙම එක් පොලිස් ඒකකයක් සඳහා සියලු ගෘහ භාණ්ඩ, උපාංග සහිතව රු. මිලියන 05 ක පිරිවැයක් දරන අතර මෙහි නියමු ව්‍යාපෘතිය මිරිස්සේදී සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, වරාය, නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක හා පොලිස්පති පූජිත ජයසුන්දර හා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ අයිතියට පැවරුනි.