අ.පො.ස. සා‍.පෙළ ජය ලැබූ විශිෂ්ටයන් කියන කතා | Page 2 | සිළුමිණ

අ.පො.ස. සා‍.පෙළ ජය ලැබූ විශිෂ්ටයන් කියන කතා

 පසුගිය වසරේ (2018) දෙසැම්බර් මාසයේ පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිකුත් විය. විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 5,18,184 ක් අතරින් 71.66% ක් අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ අතර සියලුම විෂයන්වලට A සාමාර්ථ ගත් ළමෝ 9,412 ක් වූහ. ඔවුන් අතරින් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ කොළඹ විශාඛා විදුහලේ නිලක්නා දිසිවරි වරුෂවිතාන ශිෂ්‍යාවයි. දෙවැනි ස්ථානය දිනාගත් දැරියෝ තිදෙනෙක් වෙති. කොළඹ විශාඛා විද්‍යාලයේ සවිති හංසදි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිල්කා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මින්දි රෙබෙකා දෙවැනි ස්ථානය දිනාගත් දැරියෝ වූහ. දිවයිනේ පස්වැනි ස්ථානය දිනා ගත්තේ කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණිකබුආරච්චි ශිෂ්‍යාවයි. 6 වැනි ස්ථාන දිනාගත් ළමුන් පස්දෙනෙක් සිටින්නේ අද දරුවන්ගේ අධ්‍යාපනයට ඇති නැඹුරුව කියා පාමිණි.

ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරි වරුෂවිතාන ශිෂ්‍යාවයි. එහෙත් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමේ බලාපො‍රොත්තුවක සේයාවක්වත් ඇගේ සිතේ තිබුණේ නැත.‍

“මම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව සමත්වෙලා තමයි විශාඛා විදුහලට ආවේ. මම ඉලක්කයක් ඇතිව මගේ අධ්‍යාපන කටයුතු කළා. මම උපරිමයෙන් කැප වුණා. මට පාඩමක් අතපසු වු‍ණත් ඊළඟ දවසෙ එය සම්පූර්ණ කරගත්තා. මග හැර ගත්තේ නැහැ. මම පාන්දරින්ම ඉස්කෝලේ එන්න පිටත් වෙන නිසා පාන්දර පාඩම් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. රෑ තමයි පාඩම් කළේ. මම පොඩි විවේකයක් අවශ්‍ය වුණාම ගීත ඇහුවා. හැබැයි රූපවාහිනිය නැරඹුවෙ නැහැ” යනුවෙන් පැවසුවේ ලංකාවේ පළමුවැනියා වූ නිලක්නා දිසිවරි සිසුවියයි.

ඈ අධ්‍යාපන කටයුතුවල නිරතවන අතරවාරයේදීම හොකී ක්‍රීඩාවේ ද බටහිර තූර්යවාදක කණ්ඩායමේ ද පිහිනුම් ක්‍රීඩාවේ ද කඳු නැඟීමේ ද නිරත වූ සිසුවියකි. පාසලේ විවිධ සංගම්වල ක්‍රියාකාරී සාමාජිකාවකි‍. කොටින් ම කිවහොත් දෙසැම්බර් මාසයේ අ.පො.ස. සා‍.පෙ. විභාගය තිබියදී ඔක්තෝබර් මාසයේදී ජාතික පාසල් අතර පැවැත්වූ හොකී තරගාවලියට ද සහභාගි වූවාය. තූර්යවාදක කණ්ඩායම් අතර පැවැති තරගවලට ද සහභාගි වූවා ය. සා.පෙළ විභාගය නිසා කිසිම දෙයක් අතපසු කර ගත්තේ නැත. ඇගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරුවරයකු වන ඇගේ පියා නිලන්ත වරුෂවිතාන මෙන් ඉංජිනේරුවරියක වීමය. ඇගේ මව දිස්නා වෘත්තියෙන් ගුරුවරියකි. විශාඛා විදුහලේ විදුහල්පතිතුමිය සහ ගුරුවරුන්ගේ මග පෙන්වීම හා උපදෙස් අනුව ඉගෙනීමේ නිරත වූ ඈ දිනපතා පාසල් යමින් පාසල් අධ්‍යාපනයෙන් පෝෂණය ලැබූ ශිෂ්‍යාවකි.

කොළඹ විශාඛා විදුහලේ සවිති හංසදි සිසුවිය එම විදුහලේ නිලක්නා දිසිවරි වරුෂවිතානට පමණක් දෙවැනි වී සිටින්නීය. ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සංජානි දිලේකා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මින්දි රෙබෙකාට සම වී සිටින්නීය.

“මට වැඩක් පටන් ගත්තොත් එය හරියටම සම්පූර්ණ කරන්න ඕනෑ. එය පොඩි කාලේ ඉඳලා තිබෙන මගේ පුරුද්දක්‍. ඒ නිසා මම පාසල් වැඩකටයුතු එදිනෙදා සම්පූර්ණ කළා. මම හැමදාම එදා දවසෙ කළ යුතු වැඩ කොටසක් හිතින් සැලසුම් කළා. මම පාන්දර නැගිටලා ඒ වැඩ ටික සම්පූර්ණ කරලා තමයි නිදාගත්තේ. මගේ අධ්‍යාපන කටයුතු ගැන, විභාග ලකුණු ගැන අවධානයෙන් හිටපු ගුරුවරුන් මට කිව්වා ප්‍රතිඵලවලින් ලංකාවේ ඉහළම තැනකට එන්න පුළුවන් කියලා. ඒත් විභාගේ ලිව්වාට පස්සෙ මගේ ඒ අදහස නැතිවෙලා ගියා. මම ලංකාවේ දෙවැනියා වුණා කිව්වාම මට පුදුම හිතුණා” යනුවෙන් පවසන සවිති හංසදි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකි. චිත්‍රපට නැරඹීම සහ කවි ලිවීම විනෝදාංශ කරගත් ඈ ඊට නැවතීමේ තිත තැබුවේ 11 වසරේ 2 වැනි වාරයේදී ය. එහෙත් සෑම පාසල් නිවාඩුවක ම විනෝද චාරිකා යෑම නම් ඈ අතපසු කළේ නැත. ගුරු වෘත්තියේ යෙදෙන ඇගේ පියා වන අනුර ප්‍රියන්තගේත් මව වන අචලා නිශාන්තිගේත් පාසල් ගුරුවරුන්ගේත් මග පෙන්වීම හා උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ජයග්‍රහණය ලැබුණු බව පවසන සවිති උපකාරක පංතිවලට ගොස් තිබුණේ විෂයන් 4 කට පමණි. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන ඈ විශාඛා විද්‍යාලයට ඇතුළත් වූයේ ගොඩගම සුභාරත‍ී විදුහලේ සිට පස්වැනි වසරේ ශිෂ්‍යත්වය සමත් වීමෙනි.

දෙවැනි ස්ථානය හිමි වූ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ පී.එම්. සංජානි දිලේකා කුමාරි ද එම පාසලට පැමිණියේ ගම්පහ ශ්‍රී බෝධි විදුහලින් 5 වසරේ ශිෂ්‍යත්වය සමත් වීමෙනි. ජීව විද්‍යා අංශයෙන් අ.පො‍.ස උසස් පෙළ සමත් වී වෛද්‍යවරියක් වීම ඇගේ අපේක්ෂාවයි. ඇගේ එකම සොයුරිය ද රත්නාවලී බාලිකා මහ විදුහලින් අධ්‍යාපනය ලබා වෛද්‍ය විද්‍යාලයට යෑමට සුදුසුකම් ලබාතිබීම විශේෂත්වයකි. සංජානි දිලේකා කුමාරි කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවකි. බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකි. දැනුම මිනුම සංගමයේ සාමාජිකාවකි. සමස්ත ලංකා සංගීත තරගවලින් ද ජයග්‍රණ ලබා පාසලට කීර්තියක් අත්කර දුන් ඈ, පාසල් අවසන් වනතුරුම දිනපතා නොකඩවා පාසල් පැමිණි ශිෂ්‍යාවක ලෙස ද ප්‍රකට ය.

“මම හැමදාම පාසල් ආවා. එදා දෙන වැඩ එදාම කළා. ගුරුවරුන්ගේත් විදුහල්පතිතුමියගේත් මග පෙන්වීම අනුව වැඩ කළා. ඒ වගේ ම ඇක්සස් ඉංජිනියරින් ආයතනයේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කරන පී.එම්. කසාන්ත මගේ පියා සහ මංජුලා එදිරිසිංහ යන මගේ මවත් මගේ ජයග්‍රහණය පසුපස සිටිනවා” යනුවෙන් සංජානි දිලේකා කුමාරි සඳහන් කළේ ඔවුන්ට සිය කෘතවේදීත්වය පිරිනමමිනි.

මාතර වැවහමන්දූවේ පදිංචි කළුආරච්චිගේ ධම්මික කියා සිටියේ මාතර සුජාතා බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබන සිය දෙවැනි දියණිය වන මින්දි රෙබෙකා ලංකාවෙන් දෙවැනි තැනට පත්වීම ගැන සතුටට පත්වන බවය. මන්ද නිවසට රූපවාහිනි යන්ත්‍රයක් පවා මිල දී නොගෙන දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සෑම පහසුකමක්ම ඔහු සහ ඔහුගේ බිරිඳ දරුවන්ට සැපයූවේ ඔවුන් අධ්‍යාපනයෙන් ඉහළටම යන අයුරු දැක ගැනීමට වන බැවිනි.

මින්දි රෙබෙකාගේ වැඩිමහල් සොයුරිය මෘදුකාංග ඉංජිනේරුවරියක වීමට අධ්‍යාපනය ලබන සරසවි සිසුවියකි. මින්දි රෙබෙකාගේ සිහිනය ද ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා රොබෝ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරියකු වීමය. කුඩා වියේ පටන් මාතර සුජාතා බාලිකාවේ ඉගෙනුම ලැබූ මින්දි රෙබෙකා ක්‍රීඩා අංශයෙන් ද පාසලට ගෞරවයක් හා කීර්තියක් අත්කර දුන්නාය. ගිය වසරේ තායිලන්තයේ පැවැති ඔලිම්පියා තරගවලට සහභාගි වූ ඇය රන් පදක්කමක් දිනා ගත්තාය. පස් වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් මින්දි රෙබෙකා විශිෂ්ට අයුරින් සමත් වූව ද මාතර සුජාතා බාලිකා විදුහල අත්හැර දමා වෙනත් පාසලකට ගියේ නැත.

දිවයිනේ පස්වැනි ස්ථානය දිනාගත් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහ විදුහලේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණිකබුආරච්චි ශිෂ්‍යාව ද පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 177 ක් ලබාගත් නමුදු වෙනත් පාසලකට මාරු වූයේ නැත. තවදුරටත් සාන්ත ජෝශප් බාලිකාවේ ම රැඳුණා ය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ ගයාත්‍රි හර්ෂිලා පාසලට කීර්තිය රැගෙන දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවේ. විදුහලේ බටහිර තූර්ය වාදක කණ්ඩායම ඇගේ නායකත්වය යටතේ සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් ලබාදුන් බව සඳහන් කළේ විදුහල්පතිනිය මල්ලිකා රණසිංහ ය. සිංහල හා ඉංග්‍රීසි නාට්‍යවල රඟපාමින් පාසලේ බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන ඈ කනිෂ්ඨ අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන්නීය.

“අපිට ඉස්කෝලෙන් ප්‍රශ්න පත්‍ර දුන්නා. අපි ඒවා කළා. මම අමතර පන්ති දෙකකට විතරයි ගියේ. බාහිර කටයුතු කළා. විදුහල්පතිතුමිය නිතරම අපේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලුවා. දෙමවුපියන් කැඳවලා ඒ අයටත් උපදෙස් දුන්නා. පාසලෙන් අපිට උපරිම සහයෝගයක් ලැබුණා. මගේ අම්මා රැකියාවක් නොකරන නිසා මගේ අධ්‍යාපන කටයුතු ගැන හොයා බැලුවා. ඒ නිසයි මට මෙම ජයග්‍රහණය ලබාගැනීමට පුළුවන් වුණේ.” යනුවෙන් ගයාත්‍රි හර්ෂිලා සිසුවිය පැවසුවාය. ඇගේ පියා එල්‍.ඒ. ජයරත්න සිවිල් ඉංජිනේරුවරයකු වීම නිසා දෝ ඇගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරුවරියක වීමයි.

දිවයිනේ හයවැනි ස්ථානය දිනාගත් සිසු සිසුවියන් පස්දෙනා අතර කොළඹ රාජකීය විදුහලේ සිසුහු දෙදෙනෙක් සිටිති. ඒ කවිරු මෙත්නුක සහ සහන් යසංක සමරකෝන් ය‍. මෙම සිසුන් එකම පංතියේ ඉගෙනුම ලබන අඹ යහළුවන් වීම විශේෂත්වයකි. පංතියේ සම මට්ටමේ සුහද තරගයක යෙදී සිටි දෙදෙනාගෙන් කවිරු මෙත්නුක පංතියේ 1 වැනි තැන ගත් වාර ගණන 4 කි‍. සහන් යසංක පංතියේ ප්‍රථමයා වූ වාර ගණන 2 කි.

අතුරුගිරියේ පදිංචි කවිරු මෙත්නුක ලංකාවේ විශිෂ්ටතම ප්‍රතිඵල ලබන මුල් වටයට ඇතුළත් වීමේ අදිටනින් පාඩම් කටයුතුවල නිරතවූයේ ඔහුට සිප්කිරි පෙව් ගුරුවරුන්ට ලබාදිය හැකි ඉ‍හළම ත්‍යාගය එය බව පසක් කර ගත් බැවිනි. එය තමා ඉගෙනුම ලබන පාසලට කෙරෙන ගෞරවයක් බව ඔහු තරයේ ඇදහුවේ ය.

“මම පාසලේ දෙන වැඩ එදිනෙදා කළා‍. අමතර පංති ගියේ විද්‍යාව, ගණිතය සහ සිංහලවලට විතරයි. මම පාසලේ වාද විවාද කණ්ඩායමේ අවුරුදු 2 ක් නායකත්වය දැරුවා. පාපන්දු ක්‍රීඩා කළා. පිහිනීමේ යෙදුණා. ගායනා කණ්ඩායමේ කටයුතු කළා. හැබැයි 11 වසරේදී ඒ සේරම නවත්තලා අධ්‍යාපනයට විතරක් ප්‍රමුඛත්වය දුන්නා. ඒ නිසයි මට මෙම ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණේ” යනුවෙන් පවසන කවිරු මෙත්නුක, සිය මිතුරා ද තමා සමඟ ජයග්‍රහණය ලබා ගැනීම ගැන දැඩි සතුටකින් පසුවෙයි.

කවිරු මෙත්නුකගේ මව සුභාෂි කරුණාරත්න වෛද්‍යවරියකි. පියා‍ කේ.කේ.එන්.කේ. චින්තක ඉංජිනේරුවරයෙකි. මවුපියන්ගේ උපදෙස් සහ මග පෙන්වීම ඔහුගේ අධ්‍යාපනයට යෝධ සෙවණැල්ලක් වූ බව සඳහන් කරන කවිරු අන්තර්ජාලයේ සැරිසැරීම, ෆේස් බුක්, යූ ටියුබ් පරිශීලනයෙන් ඈත් වූ සිසුවෙකි. කොටින්ම කිවහොත් ඔහුගේ නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්වත් නැත. ඔහු එය දකින්නේ කාලය අපතේ යැවීමක් ලෙසට ය. කවිරුගේ අඹ යහළුවා වන සහන් යසංක ද සමාජ මාධ්‍ය ජාලයෙන් ඈත්වූ අයෙකි. ඔහුට අඩුම වශයෙන් ජංගම දුරකථනයක්වත් නැත. සහන් යසංක අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමට පමණක් අන්තර්ජාලය පරිහරණය කරයි.

“මම විභාගය හොඳට කරන්න නම් හිතුවා. ඒ සඳහා කැප වුණා. හැබැයි ලංකාවේ විශිෂ්ට ප්‍රතිඵල ගන්න අය අතරට එන්න හිතුවේ නැහැ. මගේ යාළුවා කවිරු එක්ක තිබුණ සුහද තරගය මට හොඳ අභියෝගයක් වුණා. ඒ නිසා තමයි මට මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණේ. මම සිංහල විෂයට විතරයි අමතර පංති ගියේ. පාසලේ දෙන වැඩ එදිනෙදා කරලා හොඳට පාඩම් කළා. මට ඒ සඳහා ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබුණා. මම පාඩම් කරන තුරු තාත්තා අවදියෙන් හිටියා. අක්කාත් පාඩම් කියලා දුන්නා. මගේ විනෝදාංශය ‍තමයි සංගීත වාදනය‍. මම 9 වසරේදී ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටියා. පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කළා. 11 වසරේදී ඒවා යම්තාක් දුරකට සීමා කළත් සංගීතය අත් හැරියෙ නැහැ. බටනළාව සහ සැක්සපෝනය දිගටම වාදනය කළා” යනුවෙන් සහන් යසංක සමරකෝන් පවසන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විනෝදාංශය කැප නොකළ බව සඳහන් කරමිනි.

හයවැනි ස්ථානය දිනාගත් හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ හිමාෂි එරන්දිකා සමරසිංපතිරණ. ශිෂ්‍යාව ද සා.පෙළ නිසා සිය විනෝදාංශය අත්හැර නොගත් අයෙකි. ඇගේ විනෝදාංශය වූයේ ගීතවලට සවන්දීමය‍‍. අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහගේ ගීතවලට වැඩි වශයෙන් ප්‍රිය කරන ඈ ගීත ශ්‍රවණය කළේ එය මානසික ආතතිය අඩු කරගැනීමට ද ඉවහල් වන නිසාය.

“මගේ අම්මා ප්‍රියංකා වීරක්කොඩි ගුරුවරියක්. තාත්තා නැතිවුණේ මම 7 වස‍රේදී. මගේ මුළු ශක්තියම වුණේ අම්මා. මගේ අධ්‍යාපනය උපරිමයෙන් කරන්න කියා දුන්නේ අම්මා. මම ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා තක්ෂිලාවට ආවේ.‍ A9 ක් ගැනීම තමයි මගේ හීනය වුණේ. ඒත් අපේ පාසල සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් දිවයිනේ විශිෂ්ටතම දස දෙනා අතරට ඇවිත් තිබුණේ නැහැ. ඒ නිසා අපිට ඉස්කෝලයෙන් හැම තිස්සෙම උපදෙස් දුන්නේ විශිෂ්ටතම ප්‍රතිඵල අරං පාසලට කීර්තියක් අරං දෙන්න කියලා. ඒ කීර්තිය මට අරං දෙන්න පුළුවන් වීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා” යනුවෙන් පවසන හිමාෂි එරන්දිකා සමරසිංපතිරණ, ඇගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වී රටට සේවය කිරීම බව ද පැවසුවාය.

හිමාෂි මෙන් ම කවිරු මෙත්නුක ද ඔහුගේ මවගේ අඩිපාරේ යෑමට බලාපො‍රොත්තුවෙන් පසුවෙයි.

ඔහුගේ අපේක්ෂාව ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් වීමය. එහෙත් කවිරු සමඟ එකම පංතියේ සිප් සතර හැදෑරූ සහන් යසංක අ.පො.ස. උසස් පෙළ පංතියේ දී ඔහුගෙන් වෙන් වෙන්නේ සහන් මෘදුකාංග ඉංජිනේරුවකු වන ඔහුගේ පියා වන ප්‍රියංක සමරකෝන්ගේ අඩි පාරේ යෑමට සිතා සිටින බැවිනි. සහන්ගේ මව වන මොනිකා විජේරත්න වෘත්තියෙන් වෛද්‍යවරියකි.

දිවයිනේ හයවැනි ස්ථානය දිනාගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාෂ්වර ලියනගේ සිසුවාගේ එකම බලාපොරොත්තුව වන්නේ ද වෛද්‍යවරයකු වීමය.

“මම පළමු වස‍රේ සිට මහින්ද විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මම ශිෂ්‍යත්වයෙන් ලකුණු 177 ක් අරං සමත් වුණා. ඒත් වෙනත් පාසලකට ගියේ නැහැ. මට මේ ස්ථානය ලබා ගැනීමේ අදහසක් තිබුණා. ඉලක්කයක් තිබුණා. ඒ නිසා පාසලේ අධ්‍යාපන කටයුතු නියම විදිහට කරගෙන ගියා. උපකාරක පංතිවලටත් සහභාගි වුණා. නිදි මරාගෙන පාඩම් කළේ නැහැ. යම්කිසි අරමුණකට, ඉලක්කයකට අධ්‍යාපන කටයුතු කළා. පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වුණා. චෙස්, පිහිනීම කළා. කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කළොත් කරන්න බැරි දෙයක් නැහැ. උත්සාහයෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ පණිවුඩය නංගිලාට මල්ලිලාට දෙන්න ඕනෑ” යනුවෙන් ශෂ්මිත ආකාෂ්වර ලියනගේ පැවැසීය.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා අනාගතයේ වෛද්‍යවරියක් බවට පත්වී රටට සේවය කිරීම තම බලාපොරොත්තුව බව අ.පො.ස‍. සාමාන්‍ය‍ පෙළ විභාගයේ හයවැනි ස්ථානය ලබා ගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක සිසුවිය පැවසුවාය.

2018 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසු සිසුවියන් පස්දෙනෙකු හයවැනි ස්ථානය ලබා තිබේ. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක සිසුවිය එයින් එක් අයෙකි.

තමන් ලැබූ ජයග්‍රහණය ගැන ඇය මෙසේ සඳහන් කළාය.

“මම මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178 ක් ලබා සමත්වී මම දේවි බාලිකා විද්‍යාලයට‍ ඇතුළත් වුණා. මගේ අම්මා ග්‍රේටා පිගේරා. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. මගේ තාත්තා ප්‍රභාත් රත්නායක පෞද්ගලික ආයතනයක කළමනාකාරවරයෙක් විදිහට කටයුතු කරනවා. මට ඉන්නේ අක්කා කෙනෙක්. ඇය රොසලි රත්නායක. ඇයත් දේවි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා 2015 සාමාන්‍ය පෙළ දිවයිනෙන් 3 වැනි ස්ථානය ලබාගත්තා. අක්කා දැනට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ බලා‍ෙපාරොත්තුවෙන් ඉන්නවා. මගේ බලාපොරොත්තුවත් උසස් පෙළට ජීව විද්‍යාව හදාරා අනාගතයේ වෛද්‍යවරියක් වෙන්නයි.

මට මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වේවි කියන හැඟීම තිබුණා. ගුරුවරු හැම විටම මාව ඒ සඳහා උනන්දු කළා. ගුරුවරුන් ඉතා කැපවීමෙන් අපට විෂය ඉගැන්වීම් කරමින් විෂය කරුණු හොඳින් අවබෝධ කරදුන්නා. ඒ වගේ ම විෂය නිර්දේශය වාරයකට පෙර අවසන් කර අන්තිම වාරය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට වෙන් කළා. විෂය ඉගෙනීමට අමතරව මම පාසලේ බාහිර වැඩත් කළා. ඒත් මම බාහිර වැඩ කිරීම ඉගෙනීම් වැඩට බාධාවක් කරගත්තේ නෑ‍. මම පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩා කළා. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙසත් කටයුතු කළා. අත්‍යවශ්‍ය විෂයයන් සඳහා පමණක් අමතර පන්තිවලට සහභාගි වුණා. මම රූපවාහිනිය නම් නැරඹුවේම නෑ. අමතර පොතපත කියවීම හුඟක් කළා. ඒ දැනුමත් මට විෂය දැනුම වැඩිකර ගන්න හේතු වුණා. අනාගතයේ මේ වගේ විභාගවලට පෙනී සිටින සොහොයුරු සොහොයුරියන්ට කියන්න තිබෙන්නේ එක අරමුණක්, ඉලක්කයක් තබාගෙන, කැපවීමෙන් තමන් කරන දේ කළොත් ඕනෑ ම ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් කියන එකයි.”‍

හර්ෂා සුගතදාස
සිතාරා සේනානි
ලංකින්ද නානායක්කාර (ඉමදූව සමූහ)
ජයලාල් රෝහණ (ගාල්ල ඡායාරූප වාර්තාකරු)
දයාරත්න බණ්ඩාර (ක‍ෑගල්ල දිස්ත්‍රික් සමූහ)
නිමල් ජයසිංහ (ගම්පහ සංචාරක)‍
කැලුම් බෝධිමාන (තිහගොඩ විශේෂ)
ඡායාරූප - සිරිපාල හල්වල

Comments