‘ඊ-මෝටරින්’ ජාතික ආරක්ෂාවට තර්ජනයක්! | Page 3 | සිළුමිණ

‘ඊ-මෝටරින්’ ජාතික ආරක්ෂාවට තර්ජනයක්!

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නට යන 'ඊ-මෝටරින්' ක්‍රියාවලිය යටතේ රටේ අතිශය සංවේදි ආරක්ෂක තොරතුරු බාහිර පිරිස් අතට පත් වීම නිසා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් ඇති වී තිබේ.

මේ නව ක්‍රමය යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවකයන් සිදු කළ වාහන ලියාපදිංචිය, පැවරීම ආදි සියලු කටයුතු දකුණු අප්‍රිකානු 'ෆේස් ටෙක්නොලොජීස්' නම් පෞද්ගලික සමාගමක් වෙත පවරා තිබේ. ඒ නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේය.

මෙහිදී ඕනෑම වාහනයකට අදාළ විස්තර ලබාගෙන ඊට ප්‍රහාරයක් එල්ල කිරීම පවා පහසුවෙන් කළ හැකි අතර, මෙය ප්‍රභූ ආරක්ෂාවට පවා බරපතළ ප්‍රශ්නයකි. අදාළ පවරාදීම සිදු කර ඇත්තේ දැනටමත් රියැදුරු බලපත්‍රය මුද්‍රණය කරන විදෙස් සමාගමටමය.

එම කාඩ් පතද මිල අධිකවීම, නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම, කාඩ් පත මැකී යෑම හා කැඩී යෑම ආදි දෝෂ හේතුවෙන් මහජනතාවට දැඩි දුෂ්කරතාවලට පත්වන්නට සිදුව තිබේ. අදාළ කටයුතු විදෙස් සමාගමකට පවරාදීම මඟින් මෙරට සියලු රථ-වාහන තොරතුරු හා මහජනතාවගේ සංවේදි තොරතුරු බාහිර පාර්ශ්ව අතට පත්වීම සිදු වන අතර, ඒ හේතුවෙන් ත්‍රස්තවාදි සංවිධාන හෝ වෙනත් අපරාධ කණ්ඩායම් වෙත ඒවා ලබා දුන්නද අදාළ සමාගම් සේවකයින් රජයේ සේවකයන් නොවන බැවින් ඊට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකියාවක් නැත.

 

Comments