
උවදුර වැඩියෙන් ආවේ තෙල් බෙහෙත් ගහපු අයටයි
අප දකිමින් හිඳින්නේ බලාපොෙරාත්තු සුන් වූ මිනිසුන්ගේ මුහුණු ය. මෙවරත් වගාවේ අස්වැන්නෙන් වැඩිමනත් කොටසක් විනාශය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගොවීහු ෙම් දිනවල අස්වැන්න නෙළමින් සිටිති. ඔවුන් අපේක්ෂිත අස්වැන්න නැත. බිහිසුණු කීඩෑ උවදුරක් මෙවර ඔවුන්ගේ අස්වැන්න ව්‍යසනයට ලක් කර ඇත. අපි ඒ අසරණ මිනිසුන් සොයා ගියෙමු. මේ ඔවුන් අපට කියන කතාවය.
චිත්‍රානන්ද දසනායක ගොවි මහතා
ස්වාභාවික ලෙස කන්න ආරම්භයේදි ම ජලය නිකුත් නොකිරීම නිසාත්, යාය එකට වගා නොකිරීම නිසාත් ජලය නිසි අයුරින් පාලනය නොකිරීම නිසාත් වරින්වර ක්‍රීඩෑ උවදුර ඉස්මතු වෙමින් පවතිනවා.
පසුගිය යල විශාල වශයෙන් වගා හානි වුණා. පිටපිට යල මහ දෙකම වගා හානි සිදු වූ නිසා ගොවීන්ට ආර්ථික වශයෙන් මහ පාඩුවක් වුණා.
පසුගිය යල කන්නයේ වගා හානි ලියාගෙන ගියත් කෘෂිකර්ම නිලධාරින් කොටසකට පමණක් රුපියල් පන්දහසක පමණ වගා හානි ගෙව්වා. සමහර අයට ලැබුණේ ම නෑ. මෙවැනි අකටයුතු කොහොම වෙනවද කළ යුත්තේ කුමක්ද කියන එක අපට ප්‍රශ්නයක්. මේ නිසා ගොවියා අසරණ වෙලා.
අපි නොකළ දෙයක් නෑ
එච්. පී. ගුණසිරි ගොවි මහතා
කීඩෑ උවදුර ගොයමට ආවාට පස්සේ උවදුර වළක්වා ගන්න නොකළ දෙයක් නෑ. ඒත් වැඩක් වුණේ නෑ. සමහර ගොවීන් ගොවිතැන් කළේ පවුලේ රන්බඩු ආභරණ උකස් කරලයි. දැන් වගා හානිවෙලා ඔවුන්ට කරකියා ගන්න දෙයක් නෑ. මෙයට රජය සහනසීලී දායකත්වයක් දැරිය යුතුය.
දැන් ගොවීන් කෘෂි උපකරණ උකස් කරන සිරිතක් වෙලා තියනවා. අද ඒවා නිදහස් කර ගන්න බැරිව ගොවීන් ඉන්නේ පීඩනයෙන්. අනිත් කරුණ වී මිල අඩු වීමයි. හැමදාම අස්වැන්න නෙළන කාලයට පෞද්ගලික වෙළෙන්දා වී මිල අඩු කරනවා. අඩු ආදායම් ලාභීන්ට යම් යම් පහසුකම් ලබා දුන්නත් කුඹුරු වැඩ කරන නියම ගොවියාට අද නඩත්තු වීමට බැරි තත්ත්වයක් උදාවී තිබෙනවා.
යටියල්පතාන ගොවි සංවිධාන හිටපු සභාපති අමරසිරි ගොවි මහතා
වී අස්වනු නෙළද්දී අවිනිශ්චිත ලෙස මතුවන කරුණු ස්වාභාවික විපත් මෙන්ම රජය බැංකු මෝල් හිමියන් පෞද්ගලික වෙළඳුන් වැනි අතරමැදියන් ගන්නා තීණ්දු තීරණ අනුව ගොවියා අසරණ වෙලා. මෙයට විසඳුම් දෙන කිසිම වැඩපිළිවෙළක් දකින්නට නෑ. මේ හින්දාම දැන් දැන් තරුණ පිරිස් වී වගාවෙන් අයින් වෙමින් සිටිනවා. ඒ වගේම සියලු කැපවීම් කරලා අස්වැන්න නෙළා ගැනීමට ළංව තිබියදී කීඩෑ උවදුර නිසා අස්වැන්න අඩුවීමෙන් ගොවියාට වසර ගණනාවකින් ඔළුව උස්සන්න බැරිව යනවා.
මෙයට විසඳුමක් ලෙස දැන් තිබෙන කුඹුරු ඉඩම් උකසට බද්දට ඇඳේට දී කොළඹට ගොස් අත්වැඩ දී දිනකට රුපියල් 2000ක් ලබාගෙන මසකට රුපියල් 50,000 ක් පමණ උපයා ගැනිමට පුරුදු වී සිටිති.
නිලධාරීන් මන්දගාමියි
දකුණු යටියල් පනාත එම්.එම්. තිලකරත්න ගොවි මහතා
වී වගාව දැන් පාඩු ලබන රැකියාවක් වෙලා. ගොයම් කපනවිට හැමදාම වෙළඳ පොළේ වී මිල අඩුයි. මෙය හිඟන්නගෙ පාත්‍රයට සෙනසුරා වැටීම වගේ දෙයක් වෙලා.
මේ කටයුතුවලදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ නිලධාරින් මන්දගාමීව කටයුතු කරනවා. කවදාවත් නිලධාරි කුඹුරට ඇවිත් ගොවියා හමුවී සුහදව කටයුතු කරන ගතියක් නෑ. නමුත් හැට හැත්තෑව දශකවල නිලධාරි කුඹුරට ආවා.
කීඩෑ උවදුර වෙල්යාය පුරා දුවනකම් නිලධාරි නිදි ද? රජය ඇස්වහගෙනද? හැමදාම දුක් විඳින ගොවියන්ටමයි සොබාදහමත් රිද්දන්නේ.
යෝධඇළ සංජීව අනුර කුමාර ගොවි මහතා
කීඩෑ උවදුර මෙහෙම එන්නේ කොහොමද කියන එක අපට ප්‍රශ්නයක්. වරින් වර ගොයමට යොදන තෙල් පොහොර වලින් මේ සෙල්ලම ඇති වෙනවද දන්නේ නෑ. එහෙම නැත්නම් බහුජාතික සමාගම්වල කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් වෙන්නත් ඉඩ තිබෙනවා. දැන් ඉතින් ගොවිතැනට අනේ අනිච්චං කියන්නයි වෙලා තියෙන්නේ.
පන්සල් වත්තේ ගෙදර නවරත්න ගොවි මහතා
එදා අපේ පරණ උදවිය ගොවිතැනදී වී වගාව කළේ ඉතාම සතුටින් පවුලේ දයාදයක් වගේ. එදා අපේ පවුල්වල දරුවන් කොච්චර හිටියත් පවුලට බරක් වුණේ නෑ, එදා නවදැල්ලේ කුඹුරුවල රුක්මල් පිපුණා. කවදාවත් තෙල් පොහොර ගොයමට පොළොවට දැම්මේ නෑ. මිනිසා සොබාදහමට කරන අපරාධ නිසා අද සොබාදහම කිපිලා. කීඩෑ උවදුරට තෙල් ගහන්න අපට රුපියල් දහස් ගණනක් ගියා. ඒ හින්දා වී වගාවෙන් නියම ලාබයක් ගන්න බෑ. අපි අතරමං වෙලා.
තෙල් ගැනත් විශ්වාස නෑ
සංසුංගම කුරුඳුවත්තේ කේ.එස්. විජේරත්න ගොවි මහතා
කීඩෑ උවදුර පැතිරෙද්දී වගකිවයුත්තන් කළේ කරන්නේ මොනවද කියන එක ප්‍රශ්නයක්. කෘෂිකර්මයට කෝටි ගණනක් වැය කළත් නිලධාරින් එමට හිටියත් පරීක්ෂණ ආයතන කොතෙක් තිබුණත් කෘමි උවදුර මර්දනය කරන්න බැරි ඇයි?
මනුෂ්‍යත්වයේ නාමයෙන් ගොවියා අතරමං නොකර කීඩෑ උවදුරට ගොදුරු වී ඇති සියලු කුඹුරු ගොවිතැන්වලට පොදුවේ වන්දි මුදලක් ලබාදිය යුතුයි. මේ සතුන් අහසින් එනවා නොවෙයි. මෙයට හේතුව අපට නම් අභිරහසක්.
කවුඩුල්ල ඒ.එම්.එච්. විජේරත්න ගොවි මහතා
රජරට ගොවි කමට කණ කොකා හඬන යුගය දැන් අත ළඟට ඇවිල්ලා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර කීඩෑ උවදුර වී ගොවියාට විශාල බලපෑමක් කළා. මෙම උවදුරින් වගා හානි වූ සියලු ගොවීන්ට පිරිසුදු බිත්තර වී යල කන්නයට ලබාදෙන ලෙස අපි අහිංසක ඉල්ලීමක් රජයට ඉදිරපත් කරනවා.
වෙහෙර එළිය බෙදුම් නිලධාරි සිරිල් කුමාර ගොවි මහතා
අපි පරම්පරාගත ගොවීන් වුණත් බඩේ බඩවැල් පිටට හේත්තු වෙනකම් ගොවිතැන් කළත් අපි බලු වෙනවා මිස කවදාවත් රජ වෙන්න බෑ.
කවුඩුල්ල ආර්.ජී. මේබැඩ් ගොවි මහතා
මෙවර මගේ කුඹුරේ විශාල වශයෙන් කීඩෑ උවදුර වැලඳුණා. බෙහෙත් කීපවරක් යෙදුවා. මට කුඹුරු වැඩට ගිය මුදල මින් ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
දුක දන්නේ කුස්සියේ අපියි
කිරිමැටිය ශාන්ත කෝනාරත්න මහතා
කීඩෑ උවදුර වැඩිපුරම තිබුණේ අපේ යායට. උදේ ඉඳලා හවස බලනකොට ලියද්දෙන් ලියද්දට කුඹුරෙන් කුඹුරට ලෙඩේ පැතිරිලා. මේක සුව කරන්න බැරි ඔඩු ගිය පිළිලයක් වෙලා. අපේ කරුමෙ තමයි ඉතිං.
ගිරිතලේ උපුල් චන්දන රණවීර මහතා
මේ ප්‍රදේශයේ වැසි ජලයෙන් තමයි වී වගාව කරන්නේ. කීඩෑ උවදුරින් ඇති වූ හානි අති විශාලයි. මේ පිළිබඳව රජය හා කෘෂි ඇමැතිවරයා මැදිහත් වී අසරණ අපට සහනයක් දිය යුතුය.
පිංපාරේ අයි.ජී.ආර්. රණසිංහ මහතා
ඉතාම තදබල විදිහට තිබුණ කීඩෑ උවදුරට මං භූමිතෙල් පාවිච්චි කළා. ඇඩ්මර් පාවිච්චි කළා. ඒත් අඩුවක් වුණේ නෑ.
පී.එම්.ඩී. රෝහණ ගොවි මහතා
මෙම වගා හානිය අඩු කරගන්න මම විවිධ උපක්‍රම යෙදුවා. ඒත් තැනින් තැන උළුදුර වේගෙන් පැතිරී ගියා. අස්වැන්න නෙළන්න ආසන්නයේ සිදුවූ මේ අකරතැබ්බය නිසා අපි හාන්සියි. ගොවියා රැක ගැනීම රජයේ යුතුකමක් හා වගකීමක් වෙනවා.
තිස්අමුණ බට පේළියේ ලලිතා කුමාරි
අපේ කුඹුරු යායේ කීඩෑ උවදුර වලින් වගා හානිය පුදුම විදිහට සිද්ද වුණා. බලාගෙන යද්දි ගොයම විනාශ වුණේ. මේ සිද්ධියෙන් අපේ පවුල් ගොඩ ගන්න බැරි තරමට ප්‍රපාතයට ගියා. කුස්සියේ දුක දැනෙන්නේ අපටයි. අපේ දුක දෙවියෝ බලන්නෙ නෑ. අපි ගැන අනුකම්මා කොට ජනාධිපතිතුමා අපිට සරණක් වෙයි කියලා අපේ තද විශ්වාසයක් තිබෙනවා.
පිංපාරේ මංගල අධිකාරම් ගොවි මහතා
කීඩෑ වසංගතයට මම රතිඤ්ඤා පත්තු කරලා දැම්මා. තලා කොළ තලලා වතුර දැම්මා. භූමි තෙල් වැලිවලට කවලම් කරලා දැම්මා. ඒවට හරි ගියාද මන්දා. ටිකක් අඩු වුණා.
කුසුම් පොකුණේ ඉන්දික කුමාර ගොවි මහතා
මේ වගා හානියට මම නික කොල, පාවට්ටා කොල තම්බලා දින තුනක් පල් කරලා සවස්වරුවේ ගොයමට ඉස්සා. ලෙඩේ ටිකක් අඩු වුණා.
ගොයමට හිතකර කෘමි (22) විසි දෙකක් ඉන්නවා. අහිතකර සතුන් හතක් (7) ඉන්නවා. මුල ඉඳලම තෙල් ගහපු අයට හානි වැඩි වුණා. ගම්වල තෙල් නොගසන කොට සතුන් ඉන්නවා. පුරුද්දක් ලෙසට ගොයමට තෙල් ගසන අයට වගා හානි වැඩියි.
බඹරු දෙබරු මැඩියෝ ගොයමට හිතකරයි. තෙල් ගැසීමෙන් මකුළුවෝ සමනල්ලු විනාශ වෙනවා. බහුජාතික සමාගම් කරුවෝ තමයි ගොවි ජනතාවට උපදෙස් දෙන්නේ. ඒ සමාගම් පුද්ගලයින් කොමිස් එකට කප්පම්වලට ගොඩනැඟිලි වාහනවලට ගැතිවී මේ අපරාධය කරනවා.
ඡායාරූප - හිඟුරක්ගොඩ සමූහ