විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එජාපෙත් එකඟයි | Page 2 | සිළුමිණ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එජාපෙත් එකඟයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූ බවත්, ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර මේ පිළිබඳ තීරණයකට එළඹීමට කටයුතු යොදන වග දැනුම් දුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිීවරයා පැවසූයේ මේ සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැති මලික් සමරවික්‍රම මහතා

සහභාගි වූ අතර, පසුගිය පක්ෂ සම්මේලනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ තමන් ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණි වග ඔවුන් පැවසූ බවත්, මේ සඳහා අනෙකුත් පක්ෂවල එකඟතාව ලබ‍ාගැනීමට ඉදිරියේදි ක්‍රියා කරන බවත්ය.

මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව පොදුජන පෙරමුණේ හා දෙමළ සන්ධානයේ නායකයන් සමඟද සාකච්ඡා කර ඇති බවත්, ඒවා සාර්ථක වූ බවත් ඉදිරියේදී අනෙකුත් පක්ෂ සමඟද සාකච්ඡා කර මීට විසඳුම් බලාපොරොත්තු වන බවත් විජිත හේරත් මහතා කියා සිටියේය.

මේ දක්වා පැවැති සාකච්ඡාවලදී මේ කටයුත්ත ඉදිරියට ගෙන යෑමට මෙම පක්ෂ සියල්ල එකඟ වී ඇති බවත් කී මන්ත්‍රීවරයා ඉදිරි දෙසතිය තුළ මේ කටයුතු සාර්ථකව අවසන් කිරීමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Comments