යුරෝපා මැතිවරණයට අප සූදානම් ද? | සිළුමිණ

යුරෝපා මැතිවරණයට අප සූදානම් ද?

  • භයංකර ජාතිකවාදී සිහිනයක්
  • අන්ත දක්ෂිණාංශික නැඹුරුවක්
  • අන්ත වාමාංශයේ වර්ධනයක්

"යුරෝපා මැතිවරණයට අප සූදානම් ද?" යන ප්‍රශ්නය තවමත් කිසිවකු තුළ මතු වී ඇද්ද යන්න සැක සහිත ය. යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර ඇති ආර්ථිකමය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු ද හේතුවෙන් යුරෝපයේ පැහැදිලි වෙනසක් සිදු විය හැකි මැතිවරණය පිළිබඳ අප යම් අදහසකින් සිටීම වැදගත් ය.

මැයි 23 වන දා යුරෝපා මැතිවරණය පැවැත්වේ. යුරෝපා සංගමයට අයත් රාජ්‍ය සියල්ලකම එම මැතිවරණය පවත්වන අතර, එක් එක් රටවල තරග වදින්නේ එම රටේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂ ය. එක් එක් රටේ ජනගහනයට අනුව නිශ්චිත ආසන සංඛ්‍යාවක් එම රට වෙනුවෙන් වෙන් කර තිබේ. එක් එක් රටෙහි ඒ ඒ පක්ෂ ලබාගන්නා ආසන සංඛ්‍යාව සමානුපාත ක්‍රමයට තීරණය කෙරේ. යුරෝපා පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂ අයත් වන කණ්ඩායම් ඇත. මේ වන විට යුරෝපා පාර්ලිමේන්තුවේ විශාලම පක්ෂය වන්නේ යුරෝපා මහජන පක්ෂය (EPP) ය. එය දක්ෂිණාංශික පක්ෂයක් වන අතර බොහෝ රටවල මධ්‍ය දක්ෂිණාංශික පක්ෂ මෙහි සාමාජිකයෝ වෙති.

මෙවර යුරෝපා මැතිවරණය පිළිබඳ අවධානය සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩියෙන් යොමු විය යුත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හේතුවෙන් ම නොවේ. යුරෝපය පුරා මතු වී ඇති අන්ත දක්ෂිණාංශික නැඹුරුව හේතුවෙනි.

පසුගිය සතියේදී ඒ සම්බන්ධව අන්තර්ජාතික මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් තුනක් කෙරෙහි අවධානය යොමු කිරීම වටී. ඉන් එකක් නම් යුරෝපා පාර්ලිමේන්තුවේ ලිබරල්වාදී කණ්ඩායම වන යුරෝපය සඳහා වන ලිබරල්වාදීන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සන්ධානය (ALDE) මෙහෙයවන ගයි වර්හොෆ්ස්ටාට්ගේ ප්‍රකාශයකි. යුරෝපා සංගමය භයංකර ජාතිකවාදී සිහිනයක් ඉදිරි වසර පහ තුළ දකිනු ඇත යන්න එම ප්‍රකාශයයි.

දෙවන පුවත නම් එස්තෝනියාවේ මහ මැතිවරණ ප්‍රතිඵලය. එහිදී එම රටේ ප්‍රධාන අන්ත දක්ෂිණාංශික පක්ෂය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 17.8ක ප්‍රතිශතයක් ලැබීම ය. එය මීට සිවු වසරකට පෙර ඔවුන් ලබාගත් ප්‍රතිඵලය මෙන් දෙගුණයක ප්‍රතිශතයකි.

තෙවන පුවත කලින් දෙකට ම වඩා දේශපාලන ලෝකය කම්පනය කිරීමට සමත් වන්නකි. සංක්‍රමණික ප්‍රශ්නය යුරෝපයේ අන්ත දක්ෂිණාංශික, ජාතිකවාදී නැඹුරුවට ප්‍රධාන හේතුවක් වුවද පොදු විශ්වාසය වූයේ එවන් පක්ෂවලට වැඩි සහායක් ලැබෙන්නේ සමාජයේ පහළ ස්තරයන්හි පුද්ගලයන් වෙතින් යන්න ය. එහෙත් ජර්මනියේ ප්‍රධානම අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂය වන ජර්මනිය සඳහා විකල්පය (AfD) පිළිබඳ කළ පර්යේෂණයකදී හෙළි වී තිබුණේ ඊට සහාය දෙන්නන් පහළ හා ඉහළ සමාජ ස්තර ලෙස හෝ උගත් හා නූගත් ලෙස හෝ වර්ග කළ නොහැකි බව යි. එනම් ඒ සෑම කණ්ඩායමකින් ම ආසන්න වශයෙන් සමාන ප්‍රමාණයක් අන්ත දක්ෂිණාංශයට සහාය දෙයි. එකම සහ ප්‍රධාන හේතුව සංක්‍රමණික ප්‍රශ්නයයි.

මෙතෙක් කලක් යුරෝපා පාර්ලිමේන්තුවේ බහුතරය මධ්‍ය දක්ෂිණාංශික කඳවුර හෙවත් සහ මධ්‍ය වාමාංශික පක්ෂය වන සමාජවාදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදීන් සඳහා වන ප්‍රගතිශීලී සන්ධානය එක්ව දැරීය. නමුත් මෙවර එම පක්ෂ දෙකෙහි ආසන සංඛ්‍යාව සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩකට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහිදී වඩා වාසිදායක ප්‍රතිඵලයක් වාර්තා කරනු ඇත්තේ අන්ත දක්ෂිණාංශය යි.

යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් දෙකකි. එකක් නම් ජාතීන්ගේ හා නිදහසෙහි යුරෝපය (Europe of Nations and Freedom) පක්ෂය යි. එය මෙවර මැතිවරණයේදී ආසන 5ක් පමණ දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රංසයේ ජාතික රැලිය සහ ඉතාලියේ ලීගා නෝර්ඩ් හෙවත් උතුරුදිග ලීගය අයත් වන්නේ එම පක්ෂයට ය.

අනෙක් අන්ත දක්ෂිණාංශික පක්ෂය වන්නේ නිදහසේ සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ යුරෝපය (Europe of Freedom and Direct Democracy) යි. ජර්මනියෙහි ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයෙන් එකක් වන ජර්මනිය සඳහා විකල්පය (AfD) අයත් වන්නේ එම කණ්ඩායමට යි. එම කණ්ඩායම ආසන 50ක් පමණ දිනාගනු ඇතැයි අපේක්ෂා කරයි. මැයි මාසයේදී පත් වන යුරෝපා පාර්ලිමේන්තුව මන්ත්‍රීන් 705කගෙන් සමන්විත වේ. මේ අනුව අන්ත දක්ෂිණාංශය මන්ත්‍රී ධුර හතෙන් එකක් පමණ දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැතිවරණයට තව මාස දෙකක් ඇති හෙයින් එම සංඛ්‍යා සැලකිය යුතු ලෙස වෙනස් වීමේ වුවද හැකියාව පවතින නමුත් එම අනාවැකි දැනට පවත්නා නැඹුරුව පිළිබිඹු කරයි.

නමුත් තත්ත්වය එතැනින් නොනවතී. EPP පක්ෂය තුළ ද සැලකිය යුතු දක්ෂිණාංශික නැඹුරුවක් වෙයි. යුරෝපා සංගමය තදින් විවේචනය කරන සහ බොහෝ දුරට ඒකාධිපති ක්‍රමයකින් රට පාලනය කරන හංගේරියාවේ වික්ටර් ඔර්බන්ගේ ෆිඩෙස් පක්ෂය ද තවමත් EPP හි සාමාජිකයෙකි. එමෙන්ම එහි තවත් සාමාජිකයකු වන ඔස්ට්‍රියා ජනතා පක්ෂය තම රටෙහි ආණ්ඩු කරන්නේ ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිණාංශිකයන් සමඟය. මේ අයුරින් බලද්දී අන්ත දක්ෂිණාංශය පෙනෙනවාට වඩා වැඩි බලයක් යුරෝපා පාර්ලිමේන්තුවෙහි පෙන්වනු ඇත.

එසේ යුරෝපා සංගමය විවේචනය කරන පාර්ශ්ව වෙත එහි පාර්ලිමේන්තුවේ සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් හිමි වීම එම ආයතනයෙහි ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරන්නක් බවට පත් කරනු ඇත. එම සංගමයේ අනාගත ක්‍රියාකාරීත්වය පිළිබඳ වඩාත් විමසිලිමත් වීමට බාහිර ප්‍රදේශයන්හි ජනතාවට සහ රාජ්‍යතාන්ත්‍රිකයන්ට සිදු වේ.

අන්ත දක්ෂිණාංශයේ වර්ධනය හා සමගාමීව, ඊට වඩා අඩු ප්‍රමාණයකට අන්ත වාමාංශය ද වර්ධනය වී තිබෙනු දැකිය හැකිය. ඒ අයට ද සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලැබෙනු ඇත. මේ අතර යුරෝපය සිසාරා පැරණි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ජනප්‍රියත්වය පහළ වැටී තිබීමක් දැකිය හැකිය.

කිසියම් අයුරකින් දැඩි මතධාරී වාමාංශිකයන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් අතර එකඟත්වයක් ඇති වුවහොත් දක්ෂිණාංශිකයන්ගේ බලය හා කරට කර සිටීමට බලවේගයක් ගොඩ නැඟීමේ ඉඩක් ඇත. එහෙත් එය ප්‍රායෝගික තලයේදී සිදු වේ යයි සිතිය නොහැකි කරුණකි.

එක් අතකින් අන්ත දක්ෂිණාංශය සහ අනෙක් අතින් අන්ත වාමාංශය වර්ධනය වීම යුරෝපා දේශපාලනය අවුල් කරන සාධකයක් වනු ඇත.

Comments