සමන්ත මගේ ලෝකයට එක්ක යන්නයි මං ආවේ | Page 2 | සිළුමිණ

සමන්ත මගේ ලෝකයට එක්ක යන්නයි මං ආවේ

මතුගම මහින්ද වි‍ෙජ්තිලක

නීතියත් රීතියත් සංස්කෘතියත් ගොඩනැ‍‍ඟෙන්නේ ජාතියක වර්ගයක හරය ආරක්ෂා කිරීම සඳහා ය. විශේෂයෙන් ම රටක ජාතියක පැවැත්ම සඳහා අවශ්‍ය සාමය සමාදානයට මගේය අපේය යන හැඟීම හානිකර වී ඇත. සුද්දන්ගේ වාසිය සඳහා ද අපේ රටේ සමගි සමාදානය අවුල් කිරීම සඳහා ද බලෙන් ස්ථාපිත කළ නීති පසු කාලීනව උසාවි යෑමට තරම් හානිකර විය.

ඉඩම් අයිතිය හා කසාද නීතිය පෙර පැවති සමාජයේ හර පද්ධතියට බලපා ඇති අයුරු ගැඹුරින් කල්පනා කර බලන විට පැහැදිලි වේ. නීතිය කෙසේ වෙතත් සංස්කෘතික වශයෙන් පවතින සම්මුතීන් බිඳ වැටෙන තැන්වල එලොව මෙලොව දෙකම දුකට පත් කරන ආදීනව මතු වීම වැළැක්විය නොහැකිය.

මහනුවර සමන්ත හතළිස් හැවිරිදි වියේ පසුවන ඉංජිනේරුවෙකි. විවාහ ජීවිතයට බලපෑ ප්‍රශ්න හා ගැටලු නිසා ඔහුගේ විවාහක බිරිය ඔහු අත්හැර ගොස් ඇත. ආහාර අප්‍රියතාව නිසා ශරීරය කෘශ වී ඇත. අත පය කොර වී වැඩක් කළ නොහැකි තත්ත්වයක් පවතී. වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව රෝගයක් හෝ රෝගයකට හේතු සොයාගත නොහැකිව ඇත.

භෞතික අචේතනික තාක්ෂණ උපකරණවලට රෝගය සොයා ගත නොහැකි වුවද ඇත්ත වශයෙන් ම ඔහු රෝගියෙකි. රෝගයක් සොයා ගත ‍නොහැකි වන විට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා තල්ලු කිරීමේ ක්‍රමවේදයට අනුව ඔහු දැන් ආතතියට ප්‍රතිකාර ලබයි. ඊට අමතරව මනෝ උපදේශනයට යොමුව ඇත. දැනට වසර දෙකක් තිස්සේ පෙති ගිල්ලත් කිසිම සුවයක් හෝ සහනයක් යම්තමින්වත් නොවීය.

මේ අසාර්ථක ක්‍රියාවලිය දෙස බලා සිටිය නොහැකි තැන ඔහුගේ සහෝදරිය ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු කැඳවාගෙන ආවාය.

පළමු රෝග පරීක්ෂාවේදී ම සමන්ත වෙවුලන්නට වූයෙන් ඔහුට භූතාත්මයක බලපෑමක් ඇති බව වටහාගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ සමන්තගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට වී අඬන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?” යි ගවේෂකවරයා ඇසීය.

“මම වසුන්දරා” යි භූතාත්මය උත්තර දුන්නේය.

“ඇයි මේ අඬන්නේ?”

“මම සමන්තට ආදරෙයි. මහත්තයා හදන්නේ සමන්තගෙන් මාව ඈත් කරන්න නේද? ඒකයි අඬන්නේ” ප්‍රේතිය කීවාය.

සමන්ත පියවි සිහියට පත් කළ ගවේෂකවරයා වසුන්දරා පිළිබඳ තොරතුරු විමසීය.

“මහත්මයා වසුන්දරා මගේ කන්තෝරුවේ වැඩ කළ ඉදිකිරීම් සමාගමේ ලිපිකාරිනියක්. එයා ලස්සනයි. හරිම ගුණ යහපත්. විවාහයෙන් පුතෙක් ඉන්නවා. මහත්තයා වෙන්වෙලා. ඒත් වසුන්දරාගෙ මහත්තයා එයාට දික්කසාදය දුන්නේ නෑ. මේ අතරේ වසුන්දරා මා එක්ක සම්බන්ධයක් ඇති කැර ගත්තා. එයා මට තදින් ම ආලය කළා. මේ අතරෙ මමත් වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. විවාහ වුණාට කැන්දාගෙන ආවේ නෑ.

මම විවාහ වුණ ගෑනුළමයාත් මේ වසුන්දරාගෙ සම්බන්ධය දැන ගත්තා. එයත් මාව අතහරින්න කැමති වුණේ නෑ. වසුන්දරාගේ මහත්තයාත් එයාව අතහරින්න කැමති වුණේ නෑ. වසුන්දරාගේ මහත්තයා මට තර්ජන කරන්නත් පටන් ගත්තා. ඔය අතරේ වසුන්දරා වාහනයක හැපිලා හදිසියේ මැරුණා. ඊට මාස දෙකකට පස්සෙ මම බැඳලා හිටපු ළමයාත් මගෙන් දික්කසාද වුණා. මමත් වෙන විවාහයක් කර ගත්තා. මගේ නෝනයි මමයි අතරෙත් ප්‍රශ්න ඇති වුණා. මම මානසිකව වැටුණා. ඊට පස්සෙයි මම අසනීප වුණේ. දැන් රස්සාවට යන්නෙත් නෑ. අසනීප නිසා යන්නත් බැහැ. වසුන්දරා නිතර හීනෙන් පෙනෙනවා.” සමන්ත කීවේය.

ගමේ පන්සලට හීලට දන් අඩුක්කුවක් පූජා කොට වසුන්දරා සිහිපත් කොට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට නියම කළේය.

දානය පිරි නමා වසුන්දරාට පින් අනුමෝදන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සමන්තගේ ශරීරයෙන් වසුන්දරාගේ භූතාත්මය මතු වී කතා කරන්නට විය.

“මම සමන්තට ආදරෙයි. මට සමන්තව දාලා යන්න බැහැ” යි ප්‍රේතිය අඬන්නට වූවාය.

“ආදරයේ පැත්තෙන් බැලුවොත් ඔබ සාධාරණයි. ඒත් ඔබ දැන් මැරිලා. දැන් ඉන්නේ වසුන්දරා නොවෙයි. ඔබ දැන් ප්‍රේතියක්. ඔබට මොනවාද දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ?”

“මට සමන්තව අරගෙන යන්න ඕනෑ.”

“කොහේටද අරගෙන යන්නේ?”

“මගේ ලෝකයට.”

“ඔව් ඔබ ඉන්නේ ඔබේ ලෝකයේ. සමන්ත ඉන්නේ සමන්තගේ ලෝකයේ. ඔබ මැරිලා ගිහින් හේතුඵල දහමට අනුව ප්‍රේතියක් වෙලා දුක් විඳිනවා. සමන්තත් ඒ හේතුඵල දහමට ම අනුව පෙර කර්ම සාධක ගෙවමින් මනුස්ස ලෝකයේ තවමත් ජීවත් වෙනවා. ඉතින් ඔබට සමන්ත අරගෙන යන්න බැහැ.”

“ඇයි බැරි?”

“ඔබ කොහොමද ගෙනියන්නේ?”

“සමන්තගෙ සිහිකල්පනාව අඩු කරලා ජීවිතය එපා කරවලා මරලා අරගෙන යනවා.”

“හරි, ඔබට සමන්ත මරන්න පුළුවන් වුණත් අරගෙන යන්න බැහැ. සමන්ත මැරිලා ඔබ ඉන්න තැනට ම එනවාය කියා මොකක්ද තියෙන සහතිකය?”

“ම්... ම්....” ප්‍රේතිය නිරුත්තර වූවාය.

“දැන් සමන්ත පින්දහම් කටයුතුවල යෙදෙනවා. දන්පැන් දෙනවා. බෝධි පූජා පවත්වනවා. සමන්ත මැරෙන වේලාවට ඒ පින්කමක් සිහියට නැගුණොත් දිව්‍ය ලෝකයකට යාවි. ඔබ? ඔබ කොහේද යන්නේ? අතීත සංසාරයේ අනුන්ගෙ විවාහයක් කඩාකප්පල් කළ හේතුවේ ඵලය වශයෙන් මේ ජාතියේ ඔබේ විවාහය කඩාකප්පල් වුණා. ඒ මදිවාට මේ ජාතියේත් සමන්තගෙ විවාහ දෙකක් කඩාකප්පල් කරන්න කටයුතු කළා නේද? දැන් මැරිලාත් කරන්නේ ඒ වගේ ම පාප කර්ම. ආදරෙයි ආදරෙයි කිය කියා සමන්තට සමීප වීම නිසා දැන් සමන්තත් ලෙඩෙක් වෙලා.

මලකට ආදරේ නම් ඒ මල ගහේ නිරුපද්‍රැතව තියෙන්න අරින්න ඕනෑ. මල කඩාගෙන ගියොත් පරවෙනවා. ඔබට කවදා හෝ සමන්ත සමඟ එකතු වෙන්න ඕනෑ නම් දිව්‍ය ලෝකයකට යන්න. සමන්ත මැරිලා දිව්‍ය ලෝකයට ආවාම මුණ ගැසෙන්න පුළුවන්. මේ සංසාර ගමන බොහෝම දිග ගමනක්. එක හීනෙන් රෑ එළිවෙන්නේ නෑ. සමන්තට ආදරයක් තියෙනවා නම් සමන්තව අසනීප නොකර ඉවත් වෙන්න. සමන්තට මේ ජාතියේ පින් දහම් කර ජීවත් වෙන්න ඉඩ දෙන්න. සමන්ත පින් කර ඔබටත් ඒ පින් අනුමෝදන් කරාවි. පින් අනුමෝදන් කරන්න කියලා මමත් උපදෙස් දෙන්නම්. හැබැයි අපි කියන දේ අහන්නේ නැතුව සමන්තට වද දුන්නොත් මේ සංසාරයේ ආයෙත් මුණ ගැහෙන්න ලැබෙන්නේ නෑ. කියන දේ අහලා ඉවත්ව නොගියොත් අල්ලලා බැඳලා මූදෙ දාන්න සිද්ධ වෙනවා. මොකද කියන්නේ?” යි ගවේෂකවරයා ප්‍රේතියගෙන් ඇසීය.

“මටත් මේ ප්‍රේත ආත‍්මෙන් මිදෙන්න ඕනෑ. සමන්තට යහපතක් වෙනවා නම් මම ඉවත් වෙලා යන්න කැමතියි. එහෙම නම් මාව අනුරාධපුරයට යවන්න මහත්මයා.” යි ප්‍රේතිය කීවාය. තවත් සතියකින් අනුරාධපුරයට යෑමට සූදානමින් පලතුරු වට්ටියක් රැගෙන එන්නැයි සමන්තටත් සහෝදරියටත් උපදෙස් දුන්නේය.

ඊළඟට පැමිණි දිනයේ ප්‍රේතිය පලතුරු වට්ටියට සම්බන්ධ කැර ඔවුන් අතම අනුරාධපුරයට යැවීය. ඒ වන විට සමන්තගේ අත පය කොර ගතිය හා කෑම අප්‍රිය ගතිය ඉවත්ව ‍යහපත් මානසික තත්ත්වයක් ගොඩ නැඟී තිබිණි.

Comments