ට්‍රම්ප් - කිම් දෙවැනි සාකච්ඡාවත් තීරණයකින් තොරව අවසන් | සිළුමිණ

ට්‍රම්ප් - කිම් දෙවැනි සාකච්ඡාවත් තීරණයකින් තොරව අවසන්

ධම්මික සෙනෙවිරත්න

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොං අතර මුහුණට මුහුණ දෙ වැනි සාකච්ඡා වටය ඉකුත් බ්‍රහස්පතින්දා වියට්නාමයේ සිදු විය. මීට මාස අටකට පෙර රාජ්‍ය නායක දෙපළ අතර වූ ඓතිහාසික පළමු හමුවෙන් පසුව ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ දෙවැනි හමුවද ඉක්මනින්ම පැවැත්වෙනු ඇති බවයි. වරක්, දෙවරක් නොව තවත් වාර ගණනාවකදීම තමා උතුරු කොරියා නායකයා හමුවන බව ට්‍රම්ප් කියා තිබිණි. කී ලෙසින්ම දෙ වැනි හමුවද සිදු වී තිබේ. සාකච්ඡා අවසන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් වනු ඇතැයි පෙරදී ප්‍රකාශ වුවද එවැනි ප්‍රකාශයක් නිකුත් වූයේ නැත.

රාජ්‍ය නායකයන් දෙපළ සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහයද දෙපැයකට ආසන්න වූ කාලයක් පැවති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊට එක් වීමට පෙර දෙරටේ ජාතික ධජ පසුබිමෙහි තබාගනිමින් කිම් හා ට්‍රම්ප් උණුසුම් ලෙස එකිනෙකාට සුබ පතන අයුරු දැකගත හැකි විය.

මේ සාකච්ඡාවල අරමුණ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කිරීම බව ප්‍රකාශ වී තිබේ. එමෙන්ම කොරියා අර්ධද්වීපයට තිරසාර සාමය රැගෙන එමින් කොරියා යුද්ධයේ නිමාව නිල වශයෙන් සටහන් කිරීමට අපේක්ෂිතය. දෙරටේ නායකයන් අතර වූ දෙවැනි හමුවෙන් පසු කොරියා යුද්ධයේ නිමාව ප්‍රකාශයට පත් කරන්නේදැයි ජනාධිපති ට්‍රම්ප්ට මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයකට ඔහු ප්‍රතිචාර දැක්වූයේ ‘ඔව්. අපි බලමු‘ යනුවෙන් පවසමිනි.

තමා සහ උතරු කොරියා නායකයා අතර සිදු වූ දෙවැනි හමුවද අතිශයින් සාර්ථක වූ බව අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සතුටිනි. ඒ වෙනුවෙන් කිම්ට හා ඔහුගේ කණ්ඩායමට ස්තුති කළ ඔහු ඔවුන්ගේ ධෛර්යවන්ත තීරණ මෙන්ම ඊට හේතු වූ දේශපාලන තීන්දුද අගය කළේය.

“මා සිතන අන්දමට ඔබේ රටට ඉතා ඉහළ ආර්ථික විභවයක් තිබෙනවා..

යනුවෙන්ද ඔබට රටේ නායකයා ලෙස දීප්තිමත් අනාගතයක් තිබෙනවා යනුවෙන්ද ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියා නායකයාට පැවසූ බව මාධ්‍ය වාර්තාකර තිබිණි. මීට වසරකට පමණ ඉහතදී ට්‍රම්ප් කිංම්ව හැඳින්වූයේ රොකට් මිනිසා යනුවෙනි. උතුරු කොරියාව දිගින් දිගටම සිදු කළ න්‍යෂ්ටික අත්හදාබැලීම් සමග ඔහු කෝපයට පත්ව සිටියේය. සාකච්ඡා තබා එවැන්නක සේයාවක්වත් පළ වූයේ නැත. එහෙත් හිටිහැටියේ තත්ත්වය වෙනස් විය. ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියා නායකයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට එකඟ විය. එය ඓතිහාසික ප්‍රවේශයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

උතුරු කොරියා සහ අමෙරිකා නායකයන් අතර ඓතිහාසික හමුව සිදුවූයේ වියට්නාම හමුදා අමෙරිකා හමුදා පරාජය කළ භූමියේ දී වීමද විශේෂත්වයකි.

දෙවන සාකච්ඡා වටය සඳහා රාජ්‍ය නායක දෙපළ පළමුව හමුවූයේ ඉකුත් බදාදාය. ඒ හැනෝයි නගරයේ පිහිටි මෙට්‍රෝපොල් හෝටලයේදීය. උතුරු කොරියාවේ ආර්ථික වශයෙන් සිදු වන පරිවර්තනය එරට න්‍යෂ්ටික වැඩපිළිවෙළ හකුළාගැනීමට හේතු වනු ඇතැයි අමෙරිකා බලධාරීහු විශ්වාස කරති. උතුරු කොරියාව සිය මුල් න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම කළ විට බලවත් රටවල් කීවේ එවැන්නක් සිදු වී නැති බවත් එවැනි හැකියාවක් උතුරු කොරියාවට නැති බවත්ය. එසේ වුවද දිගින් දිගටම අත්හදාබැලීම් සිදු වන විට උතුරු කොරියාවට න්‍යෂ්ටික ශක්තිය ඇති බව පිළිගැනීමට ඔවුන්ට සිදු විණි.

පසුව අමෙරිකාවට පහරදීමට වුවද හැකියාව ඇතැයි කිම් ජොන්ග් අන් පවසා සිටියේ අමෙරිකාව කෝපයට පත් කරමිනි.

ඉකුත් ජූනි මස සිංගප්පූරුවේදී පැවති පළමු කිම් - ට්‍රම්ප් හමුවෙන් පසුව උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හරු දමනු ඇතැයි විශ්වාසය පළ වී තිබිණි. එහෙත් තම න්‍යෂ්ටික වැඩපිළිවෙළින් බැහැර වීමට උතුරු කොරියාව කිසිසේත් කැමැත්තක් දක්වා නැත. ඒ වෙනුවට තම රටට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන්නැයි අමෙරිකා රාජ්‍ය නායකයාගෙන් ඉල්ලා සිටීමට උතුරු කොරියා නායකයා කටයුතු කළේය.

ට්‍රම්ප් පවසා ඇත්තේ තමාට එවැන්නක් කළ නොහැකි බවයි. මේ අනුව දෙපාර්ශ්වයේම ඉල්ලීම් නොසලකා හැර ඇති අතර කිසිදු තීරණාත්මක තීන්දුවකින් තොරව සාකච්ඡා අවසන් වී තිබේ.

එසේ වුවද මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස උතුරු සහ දකුණු කොරියාව අතර ඍජු ආර්ථික සබඳතා ක්‍රියාත්මක කිරීමට එකඟත්වයක් ඇති වී ඇතැයි පැවසේ. එහෙත් එය ක්‍රියාත්මක තත්ත්වයේදී කෙසේ වනු ඇතිද යන්න සැක සහිතය. සාකච්ඡා සඳහා පැමිණියද තම රටේ පාලන ක්‍රමවේදය වෙනස් කිරීමට කිසිදු අදහසක් උතුරු කොරියා රාජ්‍ය නායකයා සතුව නැත.

කෙසේ වුවද අවසන සිය රට පැමිණි ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ රජ්‍ය නායකයන් දෙදෙනා මිත්‍රශීලීව සාකච්ඡා මේසයෙන් නැඟිට සිටි බවයි.

එහෙත් මීළඟ සාකච්ඡා වටය පැවැත්වෙන දිනය පිළිබඳ නිශ්චිත අදහසක් ප්‍රකාශයට පත් වී නැති අතර එවැන්නක් පැවැත්වීමද අවිනිශ්චිත බව හැඟවෙන ප්‍රකාශ නිකුත් වී තිබේ.

 

Comments