
- දෙරටේම ගුවන් තොටුපොළ කිහිපයක් තාවකාලිකව වසා දමයි
- අල්ලාගත් ගුවන් නියමුවා නිදහස් කරන බව පාකිස්තානය කියයි
මේ උදා වී ඇත්තේ දකුණු ආසියානුවන්ට ඉතා කනගාටුදායක කාලසීමාවකි. ගෙවී යන මොහොතේදී දකුණු ආසියාවේ ප්‍රබලතම රටවල් වන ඉන්දියාව සහ පකිස්ථානය තම දේශසීමා තරකරමින්, එකිනෙකා වෙත අවි අමෝරමින් සිටී. කොයි මොහොතේ යුද ගිනිදැල් ඇවිළේදැයි කිව නොහැකි තරමට තත්ත්වය උණුසුම්ය.
මේ උණුසුම් වාතාවරණය උද්ගත වීමට හේතුව වුයේ පසුගිය දිනක කාශ්මීර ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටි ඉන්දීය පොලිස් නිලධාරීන් 30දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ බෝම්බ ප්‍රහාරයයි. ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ පාකිස්තානයේ ක්‍රියාත්මක දහසකුත් එකක් ත්‍රස්තවාදී සංවිධාන අතරින් එකක් වන ‘ජයිෂ් - ඉ මොහොමඩ්‘ නමැති සංවිධානය විසිනි. මේ ප්‍රහාරයත් සමඟම උද්ගත වු තත්ත්වය අද වන විට යුද්ධයක මුව විට දක්වා පැමිණ තිබේ.
ඒ ප්‍රහාරයත් සමඟ පළමු වැනි යුදමය පියවර ගනු ලැබුවේ ඉන්දියාව විසිනි. ඒ පකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ත්‍රස්ත කඳවුරු සහිත ප්‍රදේශ සොයමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙනි. බොම්බ ප්‍රහාරයට ලක් වූයේ ඉන්දීය ජාතිකයන් බව සැබෑවකි. එහෙත් සත්‍ය තත්ත්වය නම් මේ දක්වා පකිස්ථානයේ නාගරික ප්‍රදේශ අඛණ්ඩව ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වෙමින් තිබෙන බවය. පකිස්ථානයේ වර්තමාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රචාරක රැලියක් අතරතුර වූ අති ප්‍රබල බෝම්බ පිපිරුම ඒ සඳහා හොඳම උදාහරණය වෙයි.
මේ එල්ල වී ඇත්තේ ස්වාධිපත්‍ය සහිත රටක් ලෙස තමන්ද තරයේ හෙළා දකින ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව පාකිස්තාන රජය කොතෙක් කියා සිටියද ඉන්දියාව ඒ නොසලකා පකිස්තාන ගුවන් සීමාව උල්ලංඝනය කළේය. එය එතරම් හොඳ ප්‍රවණතාවක් නොවන බව කිව යුතුය. ඒ මන්ද යත් එවැනි අවස්ථාවකදී කොතරම් අපහසු වාතාවරණය පවතින රටක් වුවද තම අභිමානය වෙනුවෙන් යුද්ධ කිරීමට පාකිස්තානය ඉදිරිපත් වන බැවිනි.
පාකිස්තානය අදින් දශක තුනකට පමණ පෙර ඉන්දියාව හා තරගයට න්‍යෂ්ටික බල ගැන්වීම් කළ න්‍යෂ්ටික අවිවලද හිමිකාරීත්වය සතු වූ අති ප්‍රබල රටක් විය. ඔවුන් කොතරම් ප්‍රබල වීද යත් න්‍යෂ්ටික බලයට හිමිකරුවන් වූ මේ දකුණු ආසියානු ප්‍රබලයෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලැබීම කෙරෙහිද අවධානය යොමු කර සිටියහ.
එහෙත් සියල්ල උඩුයටිකුරු වන්නේ අමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයත් සමඟිනි. අල් කයීඩා සංවිධානයට සහාය දැක්වීම ගැන තලේබාන් සංවිධානයට චෝදනා කරමින්, එහි නායකයන් සඟවාගෙන සිටින්නේය යන සැකයද පදනම් කර ගනිමින් ඇෆ්ගනිස්තානය බිමට සමතලා කිරීමට අමෙරිකාව පැමිණියේය. එහිදී පාකිස්තාන බලධාරීන්ට සිදු වන්නේ කොන්දේසි විරහිතව අමෙරිකාවට සහාය දැක්වීමටය. කොටින්ම කියන්නේ නම් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු ගුවන් යානා ගුවන් ගත වන්නේ පාකිස්තානයේ සිටය. මේ හේතුවෙන් අවසානයේදී විනාශ වූයේ ඇෆ්ගනිස්තානය පමණක් නොව, සියල්ල අවසන් වී බලන විට පාකිස්තානයද බිමට සමතලා වී අවසන්ය. මේ ගත වී යන මොහොත වන විට ත්‍රස්ත සංවිධාන රාශියක් පාකිස්තානයේ ක්‍රියාත්මක අතර එරට රජයට මේ කිසිදු සංවිධානයක් පාලනය කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. එපමණක්ද නොව අමෙරිකාව විසින් අත්හැර දමනු ලදුව ආර්ථිකමය වශයෙන් අතිශය අවදානම් යුගයක් පසුකිරීමටද පාකිස්තානයට සිදු වී තිබේ
ඉන්දියාව පහර දෙන්නේ එවැනි වූ පාකිස්තානයටය.
පසුගිය වසරේ මැද භාගයේදී බලයට පත් වූ අගමැති ඉම්රාන් ඛාන් ඉතා කෙටි කලකින්ම පාකිස්තානය ගොඩ ගැනීමට ණය ආධාර ලබා දෙන ලෙස ලෝකයෙන් පොදු ඉල්ලීමක් කළේය. ඒ සඳහා සුබවාදී ප්‍රතිචාර දැක්වූයේ ප්‍රධාන වශයෙන් සවුදි ආරබිය සහ චීනය පමණි. විශේෂයෙන්ම චීනය කිහිපවරක්ම මූල්‍යාධාර සපයමින් පාකිස්තානයේ හොඳ හිත දිනාගැනීමට කටයුතු කළේය.
මේ වන විට චීනය යළි නැවැත්විය නොහැකි දීර්ඝ දැලක් ලෝකය පුරා එළා අවසන් අතර ආසියාෙව්, අප්‍රිකාවේ සහ යුරෝපයේද රටවල් රාශියක් එම දැළට හසුවී අවසන්ය. සැබවින්ම පාකිස්තානයද සිටින්නේ ඒ දැලේ ග්‍රහණයේය. චීනයේ අනාගත සේද මාවත හෙවත් Road and Belt ව්‍යාපෘතියේ එක් ප්‍රධාන නැවතුම්පොළක් වන්නේ කරච්චි නගරයයි.
අනෙක් අතට මේ තත්ත්වය ඉන්දියාවට ප්‍රබල තර්ජනයක් වන්නේ ඉන්දියාව සහ චීනය අතර අතීතයේ සිට පැවති තරගකාරීත්වය හේතුවෙනි. චීනය දකුණු ආසියාව පුරා තම බල කේන්ද්‍රස්ථාන පිහිටුවීම කෙරෙහි ඉන්දියාව සහ ඒ පිටුපස සිටින අමෙරිකාව කිසිසේත් සතුටක් දක්වන්නේ නැත. චීන ව්‍යාප්තිය අඩපණ කිරීමට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අමෙරිකාව කිසිසේත් පසුබට නොවනු ඇත.
කෙසේ වුවද බෝම්බ ප්‍රහාරයත් සමඟ ඉන්දියාව එල්ල කළ ගුවන් ප්‍රහාර හෙළා දැකීමට බ්‍රහස්පතින්දා උදෑසන වන තුරු ධවල මන්දිරය කටයුතු කර තිබුණේ නැත. කිනම් ත්‍රස්ත කඳවුරක් විනාශ කිරීමේ අරමුණින් යුක්තව වුවද ස්වධිපත්‍ය සහිත රටක ගුවන් සීමාව උල්ලංඝනය කිරීමට කිසිදු රටකට කිසිදු අයිතියක් නැත. විශේෂයෙන් එරට රජයේ ඉල්ලීමකින් තොරව සිදු කරන එවැනි ප්‍රහාර සැලකිය හැකි වන්නේ යුදමය ප්‍රවේශයක් වශයෙනි. මේ ප්‍රහාර සමාන කළ හැකි වන්නේ ඇෆ්ගනිස්තානයේදී හෝ ඉරාකයේදී අමෙරිකානු හමුදා විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරයන්ටය.
මීට අමතරව පාකිස්තාන ආර්ථිකය තවදුරටත් බිඳ වට්ටන බවට කෙරුණු තර්ජන සහ වේලි කිහිපයක් තාක්ෂණිකව අවහිර කිරීමෙන් ජලය ලබා නොදෙන බවට ඉන්දියාව කළ තර්ජනද සුළු කොට තැකීමට නොහැකිය.
ඇතැම් විට පාකිස්තානයට යුදමය තර්ජනයක් එල්ල කර එරට චීනය සමඟ සූදානම් වන දීගය කිසියම් ප්‍රමාණයකින් අඩපණ කර, තම කොන්දේසිද ඇතුළත් කොට පාකිස්තානය කිසියම් පාලනයක් මත පවත්වා ගැනීමේ අභිලාශයක් ඉන්දියාව සතුව පවතිනවාදැයි සැක කළ හැකිය.
මේ සියල්ල හමුවේ සාමයම පැතූ ඉම්රාන් ඛාන් ඇතුළු පාකිස්තාන පාලනය දිගින් දිගටම කියා සිටියේ අන්තවාදී ත්‍රස්තවාදය ඉන්දියාවේ සේම තමන්ගේද සතුරකු බවයි. එහිදී ඉතා සංවේදී ලෙස අදහස් දක්වමින් අගමැති ඉම්රාන් ඛාන් පවසා සිටියේ දෙරටම න්‍යෂ්ටික බලය සහිත රටවල් බැවින් මේ අවි හරඹය දුර දිග ගියහොත් එහි ප්‍රබලත්වය කොතෙක් වනු ඇතිදැයි සිතා බලන ලෙසයි.
ඒ අතරම ආර්ථීක වශයෙන් බිමටම බෑවී සිටියද පාකිස්තාන යුද ශක්තිය අවතක්සේරු කළ යුතු නැතැයි ඉන්දියාවට පණිවිඩ ලැබුණේ පාකිස්තානය විසින් ඉන්දීය ගුවන් යානයක් බිම දැමීමෙන් පසුවය. එහි නියමුවාට පහරදෙන දර්ශන සහිත වීඩියෝපට මුලදී සංසරණය වුවද පසුව නියමුවාම වීඩියෝවකට මුහුණ දෙමින් තමන්ට පාකිස්තානය ‘හොඳින් සලකන‘ බව පවසා සිටියේය.
මීට අමතරව පාකිස්තාන හමුදාවේ ජනරාල්වරයකු ට්විටර් පණිවියක් නිකුත් කරමින් කියා සිටියේ ‘හමුදාමය ක්‍රියාමාර්ගයන්හිදී අත්අංගුවට පත් වන පුද්ගලයකුට සැලකිය යුතු ආචාරධර්ම අනුව තමන් ඉන්දීය ගුවන් නියමුවා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින‘ බවයි.
දෙපාර්ශ්වයම තම තමන්ගේ දේශ සීමා තර කළ අතර දෙපැත්තටම ෂෙල් ප්‍රහාර එල්ල කෙරුණු බවද ප්‍රකාශ වී තිබේ.
මේ ගෙවී යන මොහොත වන විටත් ඉන්දියාව තම ස්ථාවරය වෙනස් කර ගන්නා බවක් දක්නට නැති වුවද පාකිස්තානය නම් සාමය කෙරෙහි වන තම කැමැත්ත නොපමාව පළ කර තිබේ.
ගැටුම් ඇවිළී මහ පොළොව ලෙයින් තෙත් වීමට ගත වන්නේ ඉතා සුළු වේලාවක් වුවද සාමය එතරම් ඉක්මනින් උදා වන්නේ නැත. එහෙත් අපේ අසල්වැසි අප මිත්‍රයන් වන මේ දෙරටේම එකද ජීවිතයක් හෝ ගිනි අවිවලින් නොවැනසේවා යන්න අපගේ පැතුම වන්නේ යුද්ධයේ අමිහිරිබව අපට තවමත් හොඳින් මතක ඇති බැවිනි.
එමෙන්ම මේ ඇවිළ යන සටන් පිටුපස සැබිවින්ම ක්‍රියාත්මක බළල් අත් කවුරුන්ද? ත්‍රස්ත සංවිධානයේ නමින් බෝම්බ ප්‍රහාර එල්ල කළෝ කවුරු ද? ඔවුන්ගේ අරමුණු කුමක් වීද යන්න අනාගතයේ කිසියම් හෝ දිනක ලොවට හෙළිදරව් වනු ඇත.