
විලියම් ජේ. මෝගන් 1895 දී ඇමරිකාවේදී හඳුන්වා දුන් වොලිබෝලය 1916 දී ශ්‍රී ලංකාවට ආගමනය විය. ඒ එවකට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි වෝල්ටර් ජේ. කැමැක්ගේ මඟ පෙන්වීම යටතේය. 1951 සැප්තැම්බර් මස 4 වන දින ලංකා වොලිබෝල් සම්මේලනය පිහිටුවීමත් සමඟ ක්‍රීඩාවක් වශයෙන් නිල පිළිගැනීම වොලිබෝලයට හිමි විය. මෙම ලිපියේ තෙවන කොටසයි මේ...
ලාංකේය වොලිබෝල් ක්‍රිඩාවේ සොඳුරු මතක (60-70 දශකය)
1951 දී ලංකා වෝලිබෝල් සම්මේලනය පිහිටුවීමෙන් ලැබුණු නිල පිළිගැනිමක් සමඟ ලාංකේය ජාතික ක්‍රීඩාවේ ප්‍රවර්ධනය ආරම්භ වු අතර 1950 - 60 දශකය තුළ වොලිබෝල් ක්‍රීඩාවේ විශේෂ සිදුවීම් පසුගිය ලිපියෙන් ක්‍රීඩා ලෝලීන්ට මතක් කර දීමට යෙදුණි. 1960 - 70 දශකයේ අපේ ජාතික ක්‍රීඩාවේ සොඳුරු මතකයන් ක්‍රීඩා ලෝලීන්ට සිහිපත් කරදීම මෙම ලිපියේ අරමුණ වේ.
ලංකා වොලිබෝල් සම්මේලන ප්‍රථම සභාපති වරයා වු ශ්‍රීමත් රිචඩ් අළුවිහාරෙ මහතාගෙන් පසුව සම්මේලන සභාපතිවරයා වශයෙන් මේජර් ටී.එෆ්. ජයවර්ධන මයා 1961 වර්ෂයේදී පත් වු අතර සී. රාජදුරෙයි සහ ඩග්ලස් අලහකෝන් මහතුන් සමලේකම් වරුන් වශයෙන්ද ඩී.සී.අලහේන්ද්‍ර මයා භාණ්ඩාගාරික වශයෙන්ද කටයුතු කරන ලදි. ටී.එෆ්. ජයවර්ධන මහතාගේ අභාවයත් සමඟ 1969 වර්ෂයේදී වොලිබෝල් සම්මේලන සභාපති ධුරය සඳහා මෙලරි ඊ විජේසිංහ මයා පත් වු අතර ඩග්ලස් අලහකෝන් සහ කපිතාන් එම්.ඩබ්. පෙරේරා සම ලේකම් වරුන් වශයෙන් ද ඩි.සී.අලහේන්ද්‍ර මයා භාණ්ඩාගාරික වශයෙන් ද පත් වීය. ගාමිණි ජයසුරිය , ආර්. ප්‍රේමදාස සහ පීටර් කේනමන් වැනි එවකට මහජන මන්ත්‍රීවරුන්ද ලංකා වොලිබෝල් සම්මේලන උපසභාපතිවරුන් වශයෙන් පත්විය.
දේශීය තරගමාලාවන්
1951 දී ආරම්භ වු ජාතික අන්තර් සාමාජීය පිරිමි තරග මාලාවේ 1960-61 වර්ෂයන්හි ශුරතාව ඩබ්.ඒ.රත්නපාල නායකත්වය ලබා දුන් මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රිඩා සමාජය හිමිකරගන්නා ලදි. එල්.පී. සුරියම්පේරුම මෙහෙයවු බෝමිරිය තරුණ තරු කණ්ඩායම 1962 වර්ෂයේ ශුරතාවයද ඩබ්. එල්.සිරිවර්ධන මෙහෙයවු ගම්පහ සෙන්ට්‍රල් කණ්ඩායම 1963 -64 සහ 65 වර්ෂ ත්‍රිත්වයේම ජාතික ශූරතාව ගම්පහට රැගෙන ඒමට සමත් විය. ප්‍රථම වරට යුධ හමුදා කණ්ඩායම ජාතික ශුරතාව දිනා ගනු ලැබුවේ 1966 වර්ෂයේදී සි.සි. ජයවර්ධනයන්ගේ නායකත්වය යටතේය. ඩබ්.එල්. සිරිවර්ධන මෙහෙයවු කොළඹ වොර්කස් කණ්ඩායම 1967 වර්ෂයේ ජාතික ශුරයින් විය. ජෝර්ජ් ප්‍රනාන්දු නායකත්වය ලබා දුන් මීගමුව නවක තරු කණ්ඩායම 1968 වර්ෂයේදීත් එල්. පී. පෙරේරා මෙහෙයවු යුධ හමුදා කණ්ඩායම 1969 වර්ෂයේ දීත් අන්තර් සාමාජීය වොලිබෝල් ශුරතාවයට හිමිකම් කීය.
අන්තර් දිස්ත්‍රික් ශූරතාවය
ටී.ඩී.එල්. චාල්ස් නායකත්වය ලබා දුන් ගම්පහ කණ්ඩායම 1966 වර්ෂයේදීත් ලැනී ජයකොඩි මෙහෙය වූ ගල්ඔය කණ්ඩායම 1961-1962 වර්ෂයන්හිදීත් දිස්ත්‍රික් ශූරයින් බවට පත්විය.
නැවත වරක් ඩබ්.එල්. සිරිවර්ධනගේ නායකත්වයෙන් ගම්පහ කණ්ඩායම 1963-1964 වර්ෂවලදීත් සී.සී. ජයවර්ධන මෙහෙය වූ යුධ හමුදා කණ්ඩායම 1965 වර්ෂයේදී සහ නැවත වරක් එල්.පී. පෙරේරාගේ නායකත්වයෙන් යුධ හමුදා කණ්ඩායම 1966-1967 වර්ෂවලදී අන්තර් දිස්ත්‍රික් ශූරයින් බවට පත්විය.
ජෝර්ජ් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් 1968 වර්ෂයේදී අන්තර් දිස්ත්‍රික් ශූරයින් වූයේ මීගමුව කණ්ඩායමයි.
ජාතික කාන්තා ශූරතාවය
කල්‍යාණි වීරසිංහගේ නායකත්වයෙන් තරග කළ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල 1960 වර්ෂයේදීත් අශෝකා විජේතුංග මෙහෙයවූ බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහල 1961 -1962 වර්ෂවලදී ජාතික කාන්තා ශූරතාවයට හිමිකම් කියනු ලැබීය. මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රිඩා සමාජය අන්තර් සමාජීය පිරිමි ශූරතාවය දිනා ගනිද්දී සීතා කුලතුංග නායකත්වය ලබා දුන් මිනුවන්ගොඩ නාලන්දා විදුහල 1963 වර්ෂයේ ජාතික කාන්තා ශූරතාවය දිනා ගනිමින් ජාතික පිරිමි සහ කාන්තා ශූරතා දෙකම එක්වරම මිනුවන්ගොඩට රැගෙන ඒමට සමත් වූයේ ලංකා වොලිබෝල් ඉතිහාසයේ නව පිටුවක් සටහන් කරමිනි. සිසී වීරවික්‍රමගේ නායකත්වයෙන් ලංකා පොලිස් කණ්ඩායම 1964 වර්ෂයේදීත් සීතා කුලතුංගගේ නායකත්වයෙන් මිනුවන්ගොඩ පරාක්‍රම කණ්ඩායම 1965 වර්ෂයේදීත් ජාතික කාන්තා ශූරතාවය දිනා ගනු ලැබීය. ඉන්ද්‍රා ද සිල්වාගේ නායකත්වය යටතේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල 1967 වර්ෂයේදීත් නන්දා ගනේගොඩගේ නායකත්වයෙන් කොළොන්නාව සෙන්ට්‍රල් කණ්ඩායමත් 1968-1969 වර්ෂවලදීත් ජාතික කාන්තා ශූරියන් වූහ.
ලංකාදීප කුසලාන සමස්ත ලංකා පාසල් වොලිබෝල් ශූරතාවය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තු තරග මාලාව
ඩබ්.එල්. පියරත්නගේ නායකත්වයෙන් 1960-1961 වර්ෂවලදී ගම්පහ බණ්ඩාරවත්ත රජයේ පාසලත් ප්‍රේමරත්න බන්නැහැකගේ නායකත්වයෙන් කුලියාපිටිය මැදි විදුහල 1962 වර්ෂයේදීත් ඩී.එම්. ජයතිලකගේ නායකත්වයෙන් මිනුවන්ගොඩ මැද විදුහල 1963 වර්ෂයේදීත් සමස්ත ලංකා පාසල් වොලිබෝල් ශූරයින් වශයෙන් ලංකාදීප කුසලානයට හිමිකම් පෑවේය.
(තව කොටසක් ලබන සතියේ...)
සුසිල් රණසිංහ










