ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ උරුමක්කාරයෝ සහ කරුමක්කාරයෝ | සිළුමිණ

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ උරුමක්කාරයෝ සහ කරුමක්කාරයෝ

ලාංකේය ක්‍රිකට් භූමිය යළිත් උණුසුම්ය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ඔවුන්ව ටෙස්ට් තරගාවලියකදී පරාජය කරන්නේ එවන් හපන්කමක් කළ පළමු ආසියානු රට ලෙසය. එපමණක් ම නොවේ, වසර 140කට අධික ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාව ඔවුන්ගේ භූමි භාගයේ පරාජය කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය පමණි. ඒ අනුව නවසීලන්තයට හෝ බ:ඉ: කොදෙව්වන්ට ද තවමත් එවන් හැකියාවක් දකුණු අප්‍රිකාවේදි දැක්වීමට නොහැකිවීම තුළ කියාපාන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ කණ්ඩායම්වලට නොමැති හැකියාවන්ගෙන් පිරිපුන් බවය. එළැඹෙන්නේ එක්දින තරගාවලියයි. පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින පිටියේ ද එතරම් ම දස්කම් අතරට පැමිණියේ නැත. ක්‍රීඩකයන් ක්‍රීඩකයන්ට එරෙහිව නැගී සිටි අවස්ථා පවා ප්‍රදර්ශනය වූ අතර, එහි අවසන් ජවනිකාව වශයෙන් කරළිගත වූයේ ක්‍රීඩක බිරින්දෑවරුන් පවා සමාජ මාධ්‍ය ජාලා හරහා මෙකී පොර පිටියේ තම තමන්ගේ හිස් බව ප්‍රදර්ශනය කිරීම පමණි. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි නීති දෙකක් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරද පිළි ගැනීම නිසා සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වසර දෙකක තරග තහනමක් පනවා තිබේ. 2017 දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කළ ප‍රීක්ෂණයට සහාය නොදීම නිසා මේ චෝදනා එල්ල වූ අතර, එකී චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙකී වසර දෙකක තහනම පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයගත් තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය සම්බන්ධයෙන් එකී ජයග්‍රාහි කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග මෙකී දූෂණ චෝදනා එල්ල වූ විට ප්‍රකාශ කළේ ‘බල්ලෝ එක්ක බුදිය ගත්තොත් මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා කියලා කියනවනේ‘ කියාය.

මෙවැනි ගැටලු කරපින්නාගෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ටෙස්ට් තරගාවලිය නිමා කරන්නේ ඓතිහාසික ජයග්‍රහණයක උරුමක්කරුවන් බවට පත්වෙමින්ය. පළමු ටෙස්ට් තරගය අවසානයේ ක්‍රීඩක විවේකාගාරයේදී ඇති වූ සංවාදයේ වීඩියෝ පටය කියාපෑවේ ක්‍රීඩකයන්ගේ හදවත් තුළ කැකෑරෙන වේදනාව මිස වෙ‍ෙනකක් නොවන බව පැහැදිලිය. මේ සියල්ල අතරතුර පසුගියදා පැවැති ක්‍රිකට් නිලවරණයේ ජය හිමිකර ගත් ශම්මි සිල්වා පාර්ශ්වය වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ හිටපු ක්‍රීඩකයන් ඇවිත් ක්‍රිකට් බෝඩ් එකට ඇඟිලි ගසන එකම රට මෙය බවය. මෙහිදී ශම්මි සිල්වා ප්‍රකාශ කරන්නේ අප අවුරුදු 100ක් පැරැණි ව්‍යුහයක් සමඟ ඉදිරියට යන බවය. වසර 100ක් පැරැණි නිසා ම මෙයට ඓතිහාසික වටිනාකමක් තිබිය හැකිය. නමුත් එකී ඓතිහාසික වටිනාකම පමණක් ම ප්‍රමාණවත්ද යන්න සිතා බැලිය යුතුය. වසර 100 පැරැණි දෙයක් අද අලුත්වැඩියා කළ යුතු තැනක තිබේ නම් එය අලුත්වැඩියා කළ යුතුය. එහි සිදුරු ඇති වී තිබේ නම් සිදුරු වැසිය යුතුය. වේයෝ කා ඇති තැන් තිබේ නම් ඒවාට පිළියම් යෙදිය යුතුය. රැහැන්පට දිරා ගොස් ඇත්නම් ඒවා අලුත්වැඩියා කළ යුතුය. කුහක නොවී මේවාට නිසි පිළියම් යෙදිය යුත්තේ වෙනකක් නිසා නොව ඉතිරිය ද විනාශ වේ නම් බොහෝ දෙනාගේ බඩවියත රැකෙන මේ දොරටුව වැසී යන බැවිනි.

එළැඹෙන්නේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියයි. පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝක කුසලානයට යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහකයකු සොයා යන තැනට ම බාල්දු වී ඇත්තේ ඇයි දැයි සොයා බැලිය යුතුය. මේවාට වගකිව යුත්තේ පාලකයන් ද ක්‍රීඩකයන් ද? යන්න විමසීම වටියි. මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. දේශපාලනීකරණයෙන් ක්‍රීඩාව ඉවත් කර ගන්න මේක හොඳ අවස්ථාවක් බවද ක්‍රීඩා අමාත්‍යවරයා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබිණි. සංගා - ‍මහේල - අරවින්ද - සිදත් සහ තවත් ප්‍රවීණයන් මෙකී නව ව්‍යවස්ථාව සැකසීම සඳහා දායකත්වය සපයා තිබිණි. ‘ඕනෑම කෙනෙකුට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් ව්‍යවස්ථාවකට මම විශ්වාස කරන්නේ මුළු පාර්ලිමේන්තුව ම පක්ෂ පාට භේදයකින් තොරවම සහයෝගය දෙයි කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට්වල විතරක් නොවෙයි, අනෙක් ක්‍රීඩාවලත් ව්‍යවස්ථා වෙනස් වෙන්න ඕනෑ කියලා විශ්වාස කරන‘ බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි. මේ මීට බොහෝ කාලයකට පෙර සිදු විය යුතුව තිබූ නමුත් ඒ වගකීම් මග හැරී යෑම හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට අභියෝගයක් වී ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත් අභියෝගය ජය ගත යුතුව ඇත්තේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට නම් එය මග හැර යා නොහැකි බව ද පැවැසිය යුතුය.

මුල්‍ය පරමාධිපත්‍ය බඩ පිනුම් ගසන සමාජයක ජනතා පරමාධිපත්‍ය වලපල්ලට යාම අරුමයක් ‍නොවේ. එවන් සමාජයක වටපිටාවක ශ්‍රී ලංකා අයත් වන්නේ ක්‍රීඩකයන්ට, සමාජයට නොව මුල්‍ය පරමාධිපත්‍ය දරන්නන්ට බව රහසක් නොවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති කාටදැයි ක්‍රීඩා අමාත්‍යවරයාට පසුගියදා ප්‍රශ්න කරන්නට සිදු වන්නේ ද මුල්‍ය පරමාධිපත්‍යය කලෙක පටන් ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ හොල්මං කරන බැවිනි. අද වන විට මේවාට අඩු වැඩි වශයෙන් වන්දි ගෙවීමට සිදු වී තිබෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වීම අවාසනාවකි. සිම්බාබ්වේට වඩා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත යැයි අයි.සී.සී. ය චෝදනා කරන්නේ ද ඒ නිසාම බවට සාධක සෙවීමට වෙහෙස විය යුතු නොවේ.

ලාංකේය සමස්ත ක්‍රීඩාවේ බේදය වනාහි ආර්ථික, සමාජීය, සංස්කෘතික ‍සහ දේශපාලනයේ පවා පවතින්නාවූ අගතියේ හා කුහකත්වයේ නියත ප්‍රතිඵල බව අප අනේක විට මෙකී තීරුවේ ම සටහන් කර ඇත. ක්‍රීඩාව පිළිබඳ නිසි අධ්‍යාපනයක්, සංස්කෘතියක්, සාහිත්‍යයක්, පුහුණු න්‍යායික කලාවක්, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවක්, පෝෂණයක් සහ ජාතික වැඩපිළිවෙළක් නැති ලාංකේය ක්‍රීඩාවේ මෙකී ලක්ෂණ අඩු වැඩි වශයෙන් හෝ දක්නට ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණි. ලාංකේය ක්‍රිකට් පරිපාලනයේ පමණක් නොව කණ්ඩායමේ ද අගතියේ සහ කුහකත්වයේ ලක්ෂණ එළිපිට නැතත් අළු යට ගිනි පුපුරු මෙන් යට යමින් මතුවෙමින් පැවැතුණ ද, ඒවා එළියට නොපැමිණි තරම්ය. නමුත් එසේ මතු වෙමින් යට යමින් පැවැති ගිනි පුපුරු එළියට පැමිණි එක් අවස්ථාවක් දකුණු අප්‍රිකාවේදී පැහැදිලිවම දැකගත හැකි විය. මේවාට අතීතයේ නිසි ‍පිළියම් යෙදුවේ නම් මෙවැනි වීඩියෝ පට එළියට නොඑනු ඇත. මේ එක් ටෙස්ට් තරග ජයග්‍රහණයක් අවසානයේ ශේෂ පත්‍රය නම්, ලෝක කුසලාන ජයග්‍රහණයක් වැනි දෙයක් අවසානයේ ඉතිරි වන ශේෂ පත්‍රය පිළිබඳ අවබෝධ්‍යක් ලබා ගැනීමට ද වෙහෙස විය යුතු නොවේ.

අද ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ද අනෙක් ක්‍රීඩා මෙන් ජරාජීරණව ඕජස් ගලන තැනට ම පත්ව තිබේ. ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව යහ මඟට ගැනීම එකම අරමුණ, පරමාර්ථය බව පවසමින් දස අතේ පොරොන්දු ලබා දෙමින් ක්‍රිකට් පුටුව ඩැහැ ගත්තෝ අවසානයේ එය දක්කාගෙන ගොස් තිබුණේ සිම්බාබ්වේටත් නො‍දෙවැනි තැනකට බව ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයේ උණුසුමවත් තවම මැකී ගොස් නොමැත. මේ ගැටලු තව තවත් වර්ධනය වීම ලෝක කුසලානයක් අත ළඟ තබාගෙන සිටින කණ්ඩායමට එතරම් සුබදායක නැත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන ආකාරයට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට සූදුවට එහා ගිය පාතාලයත් සමඟ සම්බන්ධ යැයි චෝදනා කරන විට, ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මග පැහැදිලිය. ඒ අනුව සැබැවින් ම ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමක්කරුවෝ සහ කරුමක්කරුවෝ කවුද යන්න සමාජය තීරණය කරනු ඇත.

Comments