
සත්කාරක දකුණු අප්‍රිකාව කඩුලු අටකින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගය ද ජය ගත් අතර, ඒ අනුව එකී තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වූයේ 2 - 0 ක් ලෙසය. ඒ අනුව සත්කාරක දකුණු අප්‍රිකාව එරට තුළ පරාජය කළ පළමු ආසියානු රට බවට පත් විය.
කිසිම ආසියානු රටක් ටෙස්ට් තරගාවලියක සත්කාරක දේශයේදී දකුණු අප්‍රිකාව පරාජය කරලා නෑ. කවුරුවත් කරපු නැති දෙයක් අපිට කරන්න පුළුවන් වුණා. දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස් එහිදී පැවැසීය. මෙකී ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් කුමාර සංගක්කාර මෙන් ම ප්‍රවීණ ක්‍රිකට් විචාරක බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නකු වූ ඉයන් බිෂොප් ද ට්විටර් පණිවිඩ මගින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක් කර තිබුණි.
එහිදී ඉයන් බිෂොප් සිය ට්විටර් පණිවිඩය මගින් ප්‍රකාශ කර තිබුණේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසකගෙන් තොර වූවද, ජය ගැනීමට අසීරු භූමියක මෙවන් ජයක් අත්පත් කර ගත් පළමු ආසියානු රට වීම පිළිබඳ ශ්‍රී ලංකාවට සුබ පතනවා යැයි එකී පණිවිඩයේ සඳහන් කර තිබේ. ටෙස්ට් වරම් හිමි රටවල් අතරින් සත්කාරක දකුණු අප්‍රිකාව ඔවුන්ගේ රටේදි ටෙස්ට් තරගාවලියන්හි දී පරාජය කර ඇත්තේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව පමණි.
විශිෂ්ට ජය
ශ්‍රී ලංකා කණ්ඩායම මෙකී ටෙස්ට් තරගාවලියට එක් වූයේ පරාජයේ පතුලටම වැටී සිටි අවස්ථාවකය. එංගලන්තය හමුවේ 3 - 0 ක්, නවසීලන්තය හමුවේ 2 - 0 ක් සහ ඔස්ට්‍රේලියාව හමුවේ 2 - 0 ක් වශයෙන් පරාජය වීමෙන් අනතුරුවය. දකුණු අප්‍රිකාව මේ තරගාවලියට එක්වූයේ අවසන් ටෙස්ට් තරගාවලි පහම සත්කාරකයන් ලෙස ජයග්‍රාහි පසුබිමකය. ඒ අනුව ඔවුන් ටෙස්ට් තරගාවලි පහකට පසුව ලද ප්‍රථම තරගාවලි පරාජය මෙය වීම ද විශේෂත්වයකි. එමෙන් ම ශ්‍රී ලංකාව හමුවේ අඛණ්ඩව ලද දෙවැනි ටෙස්ට් තරගාවලි පරාජය මෙය වීමද විශේෂත්වයකි.
ආසියානු රටවල් අතරින් බංග්ලාදේශය තරග 12 කදි එකදු ජයක් හෝ හිමිකර ගෙන නොමැති අතර ඉන්දියාව තරග 36කදි ජයග්‍රහණ 15ක් පාකිස්තානය තරග 26කදි ජයග්‍රහණ 04ක් සහ ශ්‍රී ලංකාව තරග 29කදී ජයග්‍රහණ 09ක් හිමිකර ගෙන තිබේ. ඩර්බන් හිදි කඩුල්ලකින් ශ්‍රී ලංකාව හිමි කර ගත් ජයග්‍රහණය ලොව පුරා කතාබහට ලක්වූ අතර, එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට එක් වූයේ එක් කඩුල්ලකින් ජය හිමි කර ගත් 13 වැනි තරගය ලෙස ය.
මෙම ටෙස්ට් තරගාවලියේ තවත් විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකේදී ම පළමු ඉනිමේ ලකුණු 200ක් වත් රැස් නොකළ අතර, ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය පළමු තරගයේ කඩුලු නවයක් සහ දෙවැනි තරගයේදී කඩුලු දෙකක් දැවී සපුරා ගැනීමයි. මෙකී ඉනිම් අටේදි කණ්ඩායම් දෙකම කිසිඳු ඉනිමක පන්දුවාර 90ක් වත් ක්‍රීඩා නොකිරීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු තරගයේ ලකුණු 304 හඹා ගියේ පන්දු වාර 85.3කදි සහ දෙවැනි තරගයේ ලකුණු 197 හඹා ගියේ පන්දුවාර 45.4 කදීය.
දකුණු අප්‍රිකානුවන්ගේ බිඳ වැටුණු කඩුලු 40 න් 38 ක්ම බෙදී ගියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පස් දෙනකු අතරවීමත් විශේෂත්වයකි. එහිදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 12 ක් බිඳ දමමින් වැඩි ම කඩුලුලාභියා වූයේ කඩුල්ලකට ලකුණු 18.91 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ය. මෙකී තරගාවලියේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කරමින් කුසල් ජනිත් පෙරේරා තරගාවලියේ වීරයා වනවිට තරගාවලියේ නිහඬ වීරයා වූයේ විශ්ව ප්‍රනාන්දු බව නොරහසකි.
වැටිලා හිටියත්
අපි මොන තරම් වැටිලා හිටියත්, ටීම් එකක් විදියට එකතු වෙලා සාර්ථකව මේ ටෙස්ට් තරගාවලිය අවසන් කරන්න පුළුවන් වුණා. ඒ ගැන සතුටුයි. කණ්ඩායමට මගෙන් හොඳ ඉනිමක් ඕනෑ වෙලා තිබුණු වෙලාවේදි ලකුණු අතරට එන්න පුළුවන් වුණා. අන්තිම හරියේ හරි ඒ වගේ ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. ටීම් එකට ඕනෑම දේ වුණා කියලා සතුටු වෙනවා.
මං වැටෙන්නේ නෑ
ලකුණු අතරේ හිටියේ නෑ කියලා හරි වෙන යම් හේතුවක් නිසාවත් මාව ලෙහෙසියෙන් වැටෙන්නේ නෑ. වට්ටන්න බෑ. පිත්තෙන් ලකුණු අතරට යන්න බැරි වුණොත් පන්දු රැකීමෙන් හරි මම ටීම් එකට දායකත්වය දෙනවා.
ආබාධය
තරගයට කලින් වළලු කරේ ආබාධයක් ඇති වුණා. අජන්ත අයියා නිසා තමයි මට ක්‍රීඩා කරන්න පුළුවන් විශ්වාසය ඇති වුණේ. තරගයට කලින් දවස් දෙකේම ආබාධය තිබුණා. එයා තමයි කිව්වේ මල්ලි ඔයාට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා.
විශ්වාසය ඇති වුණා
නායකයාත් මගෙන් ඇහුවේ ඔයාට ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලයි. මම පුළුවන් කිව්වම ඒ වචන විශ්වාස කරලා අජන්ත අයියා මාව තව තවත් දිරිමත් කළා.
පුහුණුකරු වෙනුවෙන්
අපි කලින් කිව්වේ පුහුණුකරුවා වෙනුවෙන් ක්‍රීඩා කළා කියලා. ඒක වචනයකට විතරයි. එක මනුෂ්‍යයෙක් වෙනුවෙන් කියන්න ඕනෑ දෙයක් විතරයි. අපි කොහොමත් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් තමයි. අපි පන්දුවක් හරි රැක ගන්න වැටෙන්නේ රට වෙනුවෙන් විතරයි. අඩුම තරමේ අපි අපි වෙනුවෙන්වත් ක්‍රීඩා කරන්නේ නෑ.
දන්නෝ දනිති
ක්‍රිකට් දන්නා අය විතරයි දන්නේ අපි ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. ක්‍රිකට් දන්නේ නැති අය ගැන මට ඇත්තට ම කණගාටුයි. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරන එක ලෙහෙසි නෑ.
නොදන්නෝ නොදනිති
මම ඉන්න තැනට ඒ අයට එන්න බැරි නිසයි ඔය කතා කියන්නේ. ක්‍රිකට් ගැන දන්න කිසි ම කෙනෙක් අපට දොස් කිව්වේ නෑ. ක්‍රිකට් ගැන නොදන්නා අය තමයි තම තමන්ගේ තරම ඔය පෙන්නුම් කරන්නේ. ඔය කෑගහන අයට වඩා මම ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා තමයි මට රට නියෝජනය කරන්න ලැබිලා තියෙන්නේ. ඔය කෑගහන අය රට වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ.
ඒක කැමරාවට
මම අර්ධ ශතකය රැස් කරලා සංඥා කළේ කැමරාවට මිසක් වෙන කාටවත් නෙවෙයි. ගිය අවුරුද්දෙත් ලංකාවේ වැඩිම ටෙස්ට් ලකුණු ගත්තේ මම. ලෝකයේ මම දෙවැනි වුණේ විරාත් කෝලිට විතරයි.
මම ඉදිරියෙන්
ඔවුන්ට වඩා මම ඉදිරියෙන් ඉන්න නිසා තමයි රට වෙනුවෙන් යමක් කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මම රට වෙනුවෙන් එක ලකුණක් හරි අරගෙන තියෙනවා. ඒ අය රට වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ. ඒ අය දන්නේ අනුන්ට බැන බැන ඉන්න විතරයි. ඊට වඩා දෙයක් ඒ අයට කරන්න බෑ. මේ ඒ අයගේ රැකියාව වෙන්න පුළුවන්.
ඉදිරියට එන අයට මේ දේවල් කරන්න එපා. ඔවුන් ඉක්මනට ම වැටෙන්න පුළුවන්. අතීතයේ මේ දේවල් තිබුණේ නෑ. දැන් සමාජ මාධ්‍ය ජාලා වැඩියි. ඒ නිසා ඔවුන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මම ලකුණු අතර හිටිය වෙලාවල් වගේ නැති වෙලාවලත් මා වටා ඔය මාධ්‍ය ජාලා හිටියේ නෑ. දැන් මං දන්නවා මට ඉන්නේ කවුද කියලා. ක්‍රිකට් ගැන දන්න අය විතරයි අපි එක්ක හිටියේ. ඒ ගැන සතුටුයි.
කුසල් මෙන්ඩිස් දෙවැනි ටෙස්ට් තරගය අවසානයේ වැඩිදුරටත් පැවැසීය.










