සා.පෙළ අසමත් වුණත් උසස් පෙළට දොර අරින අලුත් අධ්‍යාපන සැලසුම | Page 2 | සිළුමිණ

සා.පෙළ අසමත් වුණත් උසස් පෙළට දොර අරින අලුත් අධ්‍යාපන සැලසුම

2018 වසරේ අ.පො.ස.(සා.පෙළ.) විභාගයට පෙනී සිටි පාසල් අයැදුම්කරුවන් සංඛ්‍යාව 297008කි. ඒ අතරින් අ.පො.ස.( උ. පෙළ) හැදෑරීම සඳහා අපේක්ෂකයන් 216815 සුදුසුකම් ලැබීය. සෙසු පිරිස වන 80193 දෙනෙක් පමණ රැකියාවක් අපේක්ෂාවෙන් තවත් වසර කීපයක් නිවසට වී කාලය කා දමති. තවත් සුළුතරයක් වෘත්තීය පාඨමාලාවකට යොමු වෙති. ජීවිතයේ සුන්දර තාරුණ්‍යයේ ලස්සනම දවස් තමාට හෝ සමාජයට පලක් නැති ලෙස කා දැමීම කෙතරම් අපරාධයක්ද? වෘත්තීය මාර්ගෝපදේශයක් ලැබීමටත්, සමාජයේ ජීවත්වීම සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට සුදුසුම කාලය එලෙස නිරපරාදේ ගෙවා දැමීම තුළ රටට අහිමිව යන්නේ සාර්ථක මිනිස්සුය.

අධ්‍යාපනයෙන් මෙතෙක් සිදු කර ඇත්තේ විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය 20 % ක 30% ක පමණ පිරිස බිහි කිරීමට පදනම දැමීමකි. අ.පො.ස. (සා. පෙළ.) අසමත්ව සමාජයට එක් වන ශිෂ්‍ය ගහනය පිළිබඳ මෙතෙක් අවධානය යොමු කර නැත. ශ්‍රී ලාංකීය රැකියා වෙළඳපොළෙහි විශාල පුරප්පාඩු රැසක් පවතිද්දී සැලකිය යුතු පිරිසක් රැකියා වියුක්තියකින් පෙළීම අභාග්‍යසම්පන්න කරුණකි. සති අන්ත පුවත්පතක් ගෙන බැලූ විට රැකියා පුරප්පාඩු කෙතරම් ප්‍රමාණයක් පවතීදැයි නිරීක්ෂණය කළ හැකිය.

එම පුරප්පාඩු සති කීපයක් තුළ නැවත නැවත පළ වීමෙන් පෙනී යන්නේ රැකියා ඉල්ලුම සඳහා ප්‍රමාණවත් මානව සම්පත් සැපයුමක් නැති බවයි. බොහෝ දරුවන් පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු අපේක්ෂා කරන්නේ සම්ප්‍රදායික රැකියාවන්ය. එහෙත් 21 වන සියවසේ පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ගෙවා දමා ඇති අප, නව රැකියා වෙළඳපොළ පිළිබඳ අවධානයක් යොමු කර ඇත්දැයි අප අපගෙන්ම විමසිය යුතු කාලය එළැඹ ඇත.

වෛද්‍ය, ඉංජිනේරු, ගුරු හෙද, ලිපිකරු වැනි සම්ප්‍රදායික රැකියා වලට ඇතුළු වීමට සුවිශාල තරගකාරිත්වයක් පවතිද්දී, පුහුණු ශ්‍රමිකයන් අඩු නව ක්ෂේත්‍රයන්හි රැකියා වෙළඳපොළක් විවෘතව පවතින බව සමාජයේ බොහෝ මවුපියන් සහ තරුණ පිරිස තේරුම් ගෙන නොතිබීම අවාසනාවකි.

උසස් පෙළ විෂයය ධාරාවන්ට මෙතෙක් අයත්ව තිබූ, ජීව විද්‍යාව, ගණිත, කලා, වාණිජ, ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව හා ඉංජිනේරු තාක්ෂණවේදය යන ඒවාට අමතරව නව විෂයය ධාරාවක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. එම විෂය ධාරාව ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ මෙන්ම රැකියා ක්ෂේත්‍රයේද විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත. එම විප්ලවීය තීන්දුව නම්, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනයි. මේ යටතේ 12, 13, ශ්‍රේණි සඳහා වෘත්තීය විෂයය ධාරාව හඳුන්වා දෙනු ලබන්නේ සෑම පාසල් දරුවෙකුටම පළමු ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සහතික කළ පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණිනි. එහිදී අ.පො.ස.(සා.පෙළ.) විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට සමත් අසමත් බව නොසලකා අ.පො.ස. (උ.පෙළ.) පන්තිවල වෘත්තීය ප්‍රවේශය සහිත අධ්‍යාපනයට යොමු වීමට වරම් හිමිවේ.

එම නව විෂයය ධාරාව යටතේ වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දීමට තීරණය කර ඇත. එසේම එම විෂය ධාරාව, ප්‍රධාන සංරචක තුනකින් යුක්ත වේ. එනම්

1.පොදු විෂය ක්ෂේත්‍රය

2.ව්‍යවහාරික විෂය ක්ෂේත්‍රය

3.ආයතනික වෘත්තීය පුහුණුව ලෙසිනි.

නව විෂයය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් මුලික වශයෙන් පොදු විෂය ක්ෂේත්‍රය අනිවාර්යයෙන් හැදෑරිය යුතු වේ. එම පොදු විෂය ක්ෂේත්‍රයට විෂය නවයක් ඇතුළත් වේ. එනම්

1.පළමු බස ( සිංහල හෝ දෙමළ)

2.ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා

3.සෞන්දර්ය රසාස්වාදය

4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා

5. පුරවැසිභාවයට අදාළ කුසලතා

6. සමාජ යහ පැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා

7. ව්‍යවසායකත්ව කුසලතා

8. ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්

9. වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

එම පොදු විෂය ක්ෂේත්‍රයට අයත් විෂයයන් පිළිබඳ විමසීමේදී, ඒවායේ කාලීන වැදගත්කම මැනවින් කැපී පෙනේ. විෂයධාරාව හදාරන සියලුම සිසුන්ට එම විෂයයන් අනිවාර්යයෙන් ඉගෙනුමට අවස්ථාව සලසාදීම පැසසිය යුතු කරුණකි. මක් නිසාදයත්, සමාජයේ පුරවැසියෙකු ලෙස ජීවත් වීමට අවැසි කුසලතා රැසක් එමඟින් අත්පත් කරගත හැකි බැවිනි. එසේම සමාජ සාමාජිකයෙකු ලෙස එකිනෙකා අවබෝධ කරගැනීමටද එම විෂයයන් හැදෑරීම මහෝපකාරී වන බැවිනි. කණ්ඩායමක් ලෙස සමාජයේ ජීවත්වෙද්දී එකිනෙකා අවබෝධ කර නොගැනීම නිසා ඇති වන ගැටලු රැසකට පිළිතුරු එම පොදු විෂය ක්ෂේත්‍රය තුළ ඇතුළත්ව ඇත.

පොදු විෂය ක්ෂේත්‍රය හදාරා නිම වූ පසු ව්‍යවහාරික විෂයයන් හැදෑරිමේ අවස්ථාව සිසුන්ට හිමි වේ. එම ව්‍යවහාරික විෂයයන් තෝරාගෙන ඇත්තේ වර්තමාන හා අනාගත ශ්‍රී ලංකා රැකියා වෙළඳපොළ තුළ ඇති වෙතැයි අපේක්ෂා කරනු ලබන ඉල්ලුම සලකා බැලීමෙනි.

ව්‍යවහාරික විෂය ක්ෂේත්‍රයට අයත් 26

I. ළමා මනෝ විද්‍යා ආරක්ෂණය, II.සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, III.ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, IV.ප්‍රාසාංගික කලාව, V. කාර්ය සිද්ධි කළමනාකරණය, VIශිල්ප කලා, VII. අභ්‍යන්තර නිර්මාණකරණය, VIII. විලාසිතා නිර්මාණකරණය, IX.ග්‍රැෆික් නිර්මාණකරණය, X. කලාව හා පිරිසැලසුම්කරණය, XI. භූ දර්ශන නිර්මාණකරණය, XII.ව්‍යවහාරික විද්‍යා තාක්ෂණ අධ්‍යයනය, XIII. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, xivආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, xv ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය, xviවැවිලි භෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, xvii ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය, xviii මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය, xix විදුලිය හා ඉලෙක්ට්‍රොනි තාක්ෂණ අධ්‍යයනය, xx පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණ අධ්‍යයනය, xxi ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය, xxii ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය, xxiii මෘදුකාංග සංවර්ධනය, xxiv වෙබ් නිර්මාණකරණය, xxv සංචරණය හා ආගන්තුක සත්කාර, xxvi පාරිසරික අධ්‍යයනය.

මෙම විෂයය ධාරාව ඉගැන්වීමේදී, පාසලේ සම්ප්‍රදායික විනාඩි 40 කට සීමාවූ කාලච්ඡේද වෙනුවට , පාසලේ ඇති පහසුකම් හා ගුරුවරුන් යොදා ගනිමින් සම්පූර්ණ විෂය මාලාව හා නිර්ණය කර ඇති කාලසීමාව ආවරණය වන පරිදි නම්‍යශීලී කාලසටහනක් පාසල මඟින් සකසාගැනීමට හැකිවීම විශේෂ කරුණකි.

12 හා 13 ශ්‍රේණි සඳහා වෘත්තීය විෂය ධාරාව හඳුන්වාදීමේ වැඩසටහන මේ වන විට නියාමන මට්ටමින් පාසල් 196 ක ක්‍රියාත්මක වේ. 2019 - 2021 වසර තුළ එම නියාමන ව්‍යාපෘති පාසල් 661ක් දක්වා ව්‍යාප්ත කිරීම සැලසුමයි. මේ අතර නව විෂයය ධාරාව ඉගැන්වීම සඳහා මේ වන විට නවක ගුරුවරුන් 2100ක් අලුතින් අධ්‍යාපන පද්ධතියට එක් කරගෙන තිබේ. තවත් ගුරුවරුන් 5000කට ආසන්න පිරිසක් ඒ සදහා එක් කරගැනීමට ද කටයුතු යොදා ඇත. එසේම එම වෘත්තීය විෂයයන් 26 අතරින්, මුලිකව ප්‍රාදේශීය අවශ්‍යතාවන්ට උචිත ලෙස විෂයයන් හදුන්වා දී තිබේ.

ඒ අනුව එම වෘත්තීය විෂය ධාරාවේ විෂයයන් හදාරා 2020න් ඔබ්බට පාසලෙන් සමාජයට එක් වන සිසු සිසුවියන්ට වෘත්තීය ක්ෂේත්‍රයන්හි දොරටු විවර වනු ඇතැයි ද අපේක්ෂා කළ හැකිය.

එසේ නව මං විවර වනු ඇතැම් වෘත්තීන්හි මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 12, 13 ශ්‍රේණි සඳහා වෘත්තීය විෂයය ධාරාව හඳන්වාදීමේ වැඩසටහන, නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වාදීමට පමණක් දෙවැනි වන යෝධ අධ්‍යාපනික පිම්මක් ලෙස මුලින් සඳහන් කරනට යෙදුණේ එබැවිනි.

Comments