
මත්ද්‍රව්‍ය යනු මේ ගෙවී යන මොහොත වන විට ලෝකය පාලනය කරන අවිය ලෙස හැඳින්වීම වරදක් නැත. ඒ මන්ද යත් මේ මත්ද්‍රව්‍ය මුදල් ඉපයීම සඳහාත්, තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහාත්, ජන සමාජ පිටින් විනාශ කිරීම සඳහාත් නොයෙක් අන්දමින් භාවිත කරමින් පවතින බැවිනි.
කලක් මේ ස්ථානය ගිනි අවි විසින් හිමි කරගෙන තිබූ අතර එය මේ මොහොත වන විට මත්ද්‍රව්‍යවලට විතැන් වී තිබේ. දැන් ඇත්තේ ගල උඩ සටනක් නොව හැංගී කරන සටනකි. මත්ද්‍රව්‍ය ප්‍රධාන භූමිකාව හොබවන්නේ මේ සටනේය.
එලෙස මත්ද්‍රව්‍ය ලෝකය පාලනය කිරීමට දායක වන විට එය මෙලොවින් තුරන් කර දැමීමට උත්සාහ දරන පිරිස්ද සිටින බව සිහිපත් කළ යුතුමය. ඇතැම් දෙනා අවංකවම ඒ සඳහා වෙහෙසෙන අතර ඇතැම් දෙනා මත්ද්‍රව්‍ය ප්‍රචලිත කර ඉන්පසු කිඹුල් කඳුළු හෙළති.
ඒ කෙසේ වුවද මේ ගත වන දින කිහිපය ලොව පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට නම් යහපත් නොවූ බව කිව යුතුය. අපේ රටේද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කිහිපදෙනෙකුම නීතියේ රැහැනට කොටු වූ අතර ඔවුන් මොන සොක්කන්දැයි සිතෙන තරමේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රජෙකු සිරගෙට යැවීමට අමෙරිකානු අධිකරණය කටයුතු කළේය.
ඔහු නම කී පමණින් ලොවම දන්නා ‘එල් චාපෝ‘ ය. මේ මෙක්සිකානු කුඩු රජා ගැන ඕනෑ තරම් ලියැවී ඇත. වයස 61ක් වන ඔහුගේ ළමා කාලය, වැරදි මාවතට පිවිසුණු අන්දම මේ කතා ඕනෑ නම් අදද ලිවිය හැකිය. එහෙත් මේ වන විට අපරාධකරුවන්ගේ ජීවිත කතා ශ්‍රී ලාංකික පාඨකයන්ට එපා වී ඇතුවාට සැක නැත. එබැවින් එල් චාපෝ අපේ රටේ කුඩු රජවරුන්ගෙන් වෙනස් වන අන්දම ගැන ලිවීම ප්‍රමාණවත්ය.
එල් චාපෝ ලෝකයේම කුඩු රජා ලෙස හඳුන්වන්නේ නිකම් නොවේය. ඒ විරුදාවලිය ලබාගැනීමට ප්‍රමාණවත් වැඩ කොටසක් ඔහු අතින් ඉටු වී තිබේ. එහෙත් රසවත් කතාව ඇත්තේ ඊට පසුපසිනි. ඒ වැරදි සඳහා ඔහු අත්අඩංගුවට පත් වූ පසු ඔහු අධි අාරක්ෂිත රැඳවීම් කුටි පවා බිඳ දමා පළා යන්නේය. ඔහු අපේ රටේ කුඩු රජවරුන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ඒ අන්දමිනි.
එල් චාපෝ කළ අපරාධ ගැන ලිවීමට සම්පූර්ණ පුවත් පත් පිටුවක් වුවද ප්‍රමාණවත් නොවනු ඇත. ඒ වෙනුවට ඔහු 90 දශකයේ සිට මෙක්සිකෝවේ දුටු තැන අත්අඩංගුවට ගත යුතු පුද්ගලයකු ලෙසත් 2001 සිට අමෙරිකානු වරෙන්තු ලැයිස්තුගත පුද්ගලයකු ලෙසත් සඳහන්ය. තමන්ගේ සිරුරේ මිටි බව නිසා ‘එල් චාපෝ‘ යන නම් ලැබූ ජෝකුයින් ගුස්මාන් තම මවු රට වන මෙක්සිකෝවේදී ප්‍රථමවරට අත්අඩංගුවට පත් වන්නේ 1993 ජූනි 9 වැනිදාය. එහිදී සිරගතව දඬුවම් විඳි ඔහු පසුව සිරෙන් නිදහස් වෙයි. එහෙත් ඔහුගේ අපරාධවලට නිදහසක් නම් නොලැබේ .
එබැවින් යළිත් 2014 පෙබරවාරි 22 වැනි දා ඔහු අල්ලා සිරගත කිරීමට මෙක්සිකානු බලධාරීහු කටයුතු කරති. මෙහිදී මෙක්සිකෝවේ ඇති උපරිම ආරක්ෂාව යටතේ ඔහු සිර ගත කොට තැබීමට මෙක්සිකානු බලධාරීන් කටයුතු කරන්නේ චාපෝගේ අතීත විස්තර හොඳින්ම දන්නා බැවිනි. මේ යටතේ පැය විසිහතරම ඔහුගේ සිර කුටිය ආරක්ෂක කැමරා මඟින් ආවරණය කළ අතර මේ කැමරා පද්ධති ආවේක්ෂණය කිරීමට වෙනම නිලධාරීන්ද යොදවා තිබිණි.
ඒ 2015 ජූලි 11 වැනිදාය. සිර කුටියේ දිය නෑමට වෙන් කර ඇති ස්ථානය අසල එල් චාපෝ සිටිනු කැමරාවේ දිස් විය. අවේක්ෂණය කරමින් සිටි නිලධාරියා දිගින් දිගටම එදෙස බලා සිටියේය. එහෙත් විනාඩි විසි පහක් ගෙවී ගියද කැමරාවේ චාපෝගේ දර්ශනයක් සටහන් වූයේ නැත. එබැවින් වහාම චාපෝ ගැන සොයා බැලීමට ආරක්ෂක නිලධාරීන් කුටිය තුළට යැවිණි. පුදුමයකි. සියවසේ සිරගෙය බිඳ පලා යෑම වාර්තා කරමින් චාපෝ සිරෙන් මිදී පලා ගොස් තිබිණි. පසුව ආරක්ෂක නිලධාරීන්ට හමු වූයේ සිර කුටියේ දිය නෑම සඳහා ඇති ප්‍රදේශයෙන් මතු වන සේ හාරා ඇති දැවැන්ත උමඟකි.
ඒ උමඟ කිලෝමීටර් එකහමාරක් දිගු වූ අතර සිරගෙය ආසන්නයේ පැවති වැඩබිමක උමං කට පිහිටා තිබිණි. ඒ උමඟ විදුලි ආලෝකකරණය කර තිබූ අතර උමඟට වායුව සැපයීමටද විශේෂිත ක්‍රම යොදා තිබිණි. උමඟ මීටර් 1.7ක් උස් වූ අතර සෙන්ටිමීටර 75ක් පළල විය. මේ අන් කිසිවක් නොව ලොව පුරා මත්ද්‍රව්‍ය බෙදා හැරීමෙන් උපයා ගත් මුදල්ය. අති නවීන තාක්ෂණික උපකරණ මඟින් උමං කැණෙද්දි චාපෝ සුවපහසුවට සිරකුටියේ සිටියේය. ඔහුගේ පරපුර කළ යුතු පිළිවෙළටම සියල්ල කළේය. මත්ද්‍රව්‍ය වෙළෙඳාම එතරම් සංවිධානාත්මකය. සූක්ෂ්මය. බලවත්ය.
මෙතරම් සූක්ෂ්ම සහ සැප පහසු ලෙස සිරෙන් පැන්නද සදාකල් නිදහසේ සිටීමට චාපෝට ඉඩහසර ලැබුණේ නැත. යළිත් 2016 ජනවාරි 8 වැනි දින ඔහු අල්ලා ගැනීමට මෙක්සිකානු පොලීසිය සමත් විය. මෙවර වඩා යහපත් තීරණයක් ගනිමින් මෙක්සිකානු බලධාරීන් කරන්නේ අල්ලාගෙන දින දෙකකින් චාපෝ අමෙරිකාවට බාර දීමය. අමෙරිකාවේදී සිරෙන් පැනීමට චාපෝට හැකි වන්නේ නැත. ඒ වෙනුවට අමෙරිකාවේ චිකාගෝ, සැන් දියේගෝ, නිව්යෝර්ක්, නිව් හැම්ප්ෂයර්, ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත ගණනාවකදී සිදු කරන ලද අපරාධවලට අදාළව චාපෝට නඩු පැවරෙයි. ඒ ඇසූ නඩුවල අවසන් තීන්දුව ලැබුණේ පසුගිය පෙබරවාරි 12 වැනිදාය.
එහිදී ආපරාධ 10ක් සම්බන්ධයෙන් චාපෝ වැරදිකරු බව තීන්දු වෙයි. දැන් ඔහු ඉතා දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ අමෙරිකානු සිරගෙයක රඳවා තිබේ. ඔහුට දඬුවම් නියම කිරීම ලබන ජූනි මස 25 වැනි දිනට නියම කොට ඇත. නීති විශාරදයන් කියන්නේ මෙහිදී ඔහුට මරණ දඬුවම නොලැබෙනු ඇති බවය. ඊට හේතුව මෙක්සිකෝවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන බැවිනි. එහෙත් ජීවිතාන්තය දක්වා සිරගතව සිටීමට නම් චාපෝ සිදු වනු ඇත.
එහෙත් ඒ කිනම් කාලයකටදැයි චාපෝගේ ගෝලයන් දැනටම සැලසුම් සකස් කරමින් සිටිනවා නොඅනුමානය. මත්ද්‍රව්‍යවලින් උපයා ගන්නා අති මහත් ධනස්කන්ධය කළ නොහැකි දෙයක් නැති තරම්ය. චාපෝ අත්අඩංගුවට ගත් සෑම අවස්ථාවකම ඔහු තමන් අවට සිටි පොලිස් නිලධාරීන්ට මුදල්, රත්තරන් සහ රැකියා අල්ලස් ලෙස දීමට උත්සාහ දැරුවේය. ඉදිරියටත් එය එසේම වනු ඇත.
තවත් සිනමාපට දර්ශනයක් වැනි සැලැස්මක් ක්‍රියාත්මක වන තුරු චාපෝ සිරගතව සිටිනු ඇත. ඒ අතර තවත් කුඩු රජවරුන් බිහි වනු ඇත. තවත් කුඩු රජවරුන් අත්අඩංගුවට ගනු ඇත. එහෙත් රජවරුන් පමණක් නොව කුඩු සහ කුඩු ව්‍යාප්තියට අනුබල දෙන බලලෝභියෝද මෙලොවින් තුරන් කර දමන තෙක් මේ මහා ව්‍යසනය නොනවතින බවද ලියා තැබිය යුතුය.