හතුරු වෙනුවෙන් කළ මිතුරු සටන | සිළුමිණ

හතුරු වෙනුවෙන් කළ මිතුරු සටන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය - නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව හමුවේ ටෙස්ට් තරග හතක් අඛණ්ඩව පරාජය වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාවට එරෙහිව නව නායකයකු යටතේ ඩ‍ර්බන් නුවරට පැමිණියේ මේ පරාජයන් වැළට තිත තැබීමේ අරමුණ ඇතිව විය යුතුය. නමුත් එකී සෙල්ලම ලෙහෙසි පහසු නොවන බවට සාධක ඇවැසි නැත. ලොව අංක එකේ පන්දු යැවීමේ බල ඇණියක් සතු දකුණු අප්‍රිකාව මේ තරගයට පිවිසියේ ඩේල් ස්ටේන්, රබාඩා සහ ‍ෆිලැන්ඩර් ප්‍රමුඛ කරගෙනය. විශේෂයෙන් දකුණු අප්‍රිකාව අවසන් වරට මෙරට කළ සංචාරය අවසානයේ ප්‍රකාශ ක‍ෙළ් අපි අපේ රටේ දී බලා ගමු යන්නයි. ඒ නිසා ම මෙකී සංචාරය දකුණු අප්‍රිකානු තණ තීරුවල ක්‍රීඩා කිරීම ද ලෙහෙසි පහසු නැත. ඒ බව නිමා වූ පළමු ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේදී ම තහවුරු වූයේ පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිතිකරු බල ඇනිය ලකුණු 250කට අඩුවෙන් සීමා කිරීමට සමත් වුවද පිතිකරු බලඇනියට ලකුණු 200ක්වත් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට නොහැකි වීමෙන් ඒ බව පැහැදිලි විය. පන්දු යවන්නන් නැවත ක්‍රියාත්මක වෙමින් දකුණු අප්‍රිකාව සීමාසහිත ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම තුළ ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට එල්ල වූ ඉලක්කය ලකුණු 304 කි.

එක් අන්තයකින් නිහඬව සටන අරඹා ගිනිකෙළියකින් සටන අවසන් කළ කුසල් ජනිත් පෙරේරා වාර්තා පිට වාර්තා පිහිටුවමින් ඓතිහාසික ජයක් ශ්‍රී ලංකාවට හිමිකර දීමෙන් අනතුරුව පැවැසුවේ එකී ඉනිම කණ්ඩායමේ පුහුණුකරුවා වෙනුවෙන් දියත් කළ බවයි. ඩර්බන් තරගය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල අතර සැරිසරද්දී මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කර තිබේ. එකී විඩි‍යෝව තුළින් මතුවන කරුණු අනුව වඩාත් ප්‍රකට වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය කාලය පුරාම කාගේ හෝ රූකඩයක් බවට පත්ව තිබූ බවය. එහි එක් තැනක හිටපු නායක සුරංග ලක්මාල් අවධාරණය කරන්නේ ඉදිරියේ එන තරගවලදීත් පුහුණුකරුවා වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බවත්, දස්කම් දැක්වුවත් නැතත්, කණ්ඩායමක් වශයෙන් එකට සිටිය යුතු බවය. මෙහිදී මතු කෙරුණු අතර වඩාත් වැදගත් වන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා වෙනුවට පුහුණුකරුවා වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බව පැවසීමත්, දස්කම් අතර හිටියත් නැතත් කණ්ඩායමක් වශයෙන් සිටිය යුතු බව පැවසීමය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගැටලු තිබෙන බව සැබෑ නමුත් ඒවා විසඳීමට තබා ඇහුම්කන් දීමටවත් එකදු බලධාරියකු හෝ පසුගිය කාලය පුරාම නොසිටි බව රහසක් නොවේ. ක්‍රීඩකයන්ගේ ගැටලු බිරින්දෑවරු විසඳීමට මහමඟට බැස්සේ එහි ප්‍රතිඵලයක් ලෙසය. බොහෝ දෙනකුට ඇවැසි වූයේ පරාජයේ මළකුණු බුදිමින් හෝ තම මඩිය තරකර ගැනීම පමණි. කුසල් ජනිත් පෙරේරා එකී වීඩියෝවේ අවධාරණය කරන්නේ තවත් ගැටලු පවතින බවත්, කණ්ඩායම් කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේවා පවසා විසඳුම් ලබා දෙනු ඇති බවයි. ඔය පණිවුඩය මෙතැනට නෙවෙයි අතෙන්ට යැයි පැවැසීම තුළින් ම පැහැදිලි වන්නේ මේ පා පහර එල්ල කරන්නේ කාටද යන්නයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක කලබල වී ඇති ප්‍රමාණය අනුව මෙහි බරපතළකම ගැන යම් අදහසක් ලබා ගත හැකිය.

මෙකී වීඩියෝව තුළ තවත් වැදගත්ම චරිතයක් වන්නේ හිටපු නායක සුරංග ලක්මාල්ය. ලක්මාල් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පැටිකිරිය දිග හරින්නේ 2007 සිටය. 2007 සංචාරයකදි තමන් ඇතුළු පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අපතයෝ රැලක් එක එක දේවල් පැවැසූ බවත්, නමුත් ඒ සියල්ල අතර තමන්ට තිබූ එකම වුවමනාව තරග ජයග්‍රහණය පමණක් බවද පවසයි. මේ අතර ලක්මාල් අවධානය යොමු කරන්නේ හතුරු පුහුණුකරුවකු ලෙස ක්‍රීඩකයන් වෙනුවෙන් සියයට දෙසියක් ම පෙනී සිටින බැවින් බොහෝ ගැටලු ක්‍රීඩකයන්ට පැමිණීමටත් පෙර ම හතුරු විසින් වළකාගත් බවයි. ලක්මාල් එහිදිත් වැඩි දුරටත් අවධාරණය කරන්නේ අපි තරග කළ යුත්තේ ජය ගත යුත්තේ පුහුණුකරුවා වෙනුවෙන් බවයි.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබු අඛණ්ඩ පරාජයන් වැල පිළිබඳ දැඩි කතාබහක් ඇති වී තිබූ අතර, එහිදී හතුරු වෙනුවෙන් ගෙවනු ලබන වැටුප පිළිබඳව ද වැඩි අවධානයක් යොමුවිය. මේ මාධ්‍ය සාකච්ඡාව ඩ‍ර්බන් ටෙස්ට් තරගය අතරතුරදීම කැඳවා තිබීම ද විශේෂත්වයකි. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ කරුණු අතර වඩාත් වැදගත් දේ වූයේ හතුරුට ප්‍රශ්න තිබූ බව ක්‍රීඩා අමාත්‍යවරයා ද පිළිගැනීමයි. එතුමාගේ කකුලෙන් ඇද්දා, එතුමාට ඕනෑ විදියට කරන්න දුන්නේ නෑ. එහෙම නියත ප්‍රශ්නයකුත් තිබෙන බව ක්‍රීඩා අමාත්‍යවරයාම ප්‍රකාශ කරන විට ඒ ගැන වචනයක්වත් කතා නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ඩර්බන් වීඩි‍යෝව ගැන පරීක්ෂණයක් කරන බව පැවැසීම විහිළුවක් මිස වෙනකක් නොවේ.

මේ අතර මෙකී වීඩියෝව පිළිබඳ දැනටමත් බොහෝ දෙනා විවිධාකාර මති මතාන්තර සමාජගත කරමින් සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයේ වළපල්ලට ඇද දැමූ පළමු වතාවේදී ම ක්‍රීඩකයන් තම ආවේගයන් මේ ආකාරයට හෝ එළියට දැමුවේ නම් අද මෙවැනි කතා අසන්නට හෝ විවිධ මත ඉදිරිපත් කිරීමට ද කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත. මන්දයත් පාලකයන්ට තවදුරටත් ඇස්කන් පියගෙන සිටීමට නොහැකි වන බැවිනි. අපි මඳක් අතීතය දෙසට හැරෙන්නේ නම් නික් පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායම අතහැර යාමට මත්තෙන් කරන සුප් එකට කුක්ලා වැඩියි යැයි කියන ප්‍රකාශය ම අද වෙනස් විදියකට කරළියට පැමිණ තිබේ. පුහුණුකරුවන්ට පුහුණු කටයුතු බාර දී, ක්‍රීඩකයන්ට ක්‍රීඩා කටයුතු බාර දී පාලකයන් පරිපාලනය කළා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ජයග්‍රාහි මාවතේ ම අතීතයේ සිටම පැමිණීමට තිබුණි. නමුත් එය එසේ නොවූයේ ක්‍රීඩකයන්ගේ අදක්ෂතා නිසා නොවන බව පැහැදිලිය. ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව විකුණගෙන කෑම සිය බඩවියත කර ගත්තෝ ජයග්‍රහණය වෙනුවට පරාජය වැලඳ ගන්නා තැනට ක්‍රිකට් යොමු කළ විට පුහුණුකරුවන්ට ක්‍රීඩකයන්ට කළ හැකි දෙයක් නොමැති බව, සිම්බාබ්වේ - ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයන් සාක්ෂි දරයි. කළ යුතුව ඇත්තේ ක්‍රීඩකයන්ට මෙකී වීඩියෝව තුල බහා දඬුවම් කිරීම නොව, ක්‍රීඩකයන් මතු කරන කරුණු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමය.

Comments