
මිනිසාට ජීවිතය වරදින්නේ කවදා කොතැනදිදැයි කිව නොහැකිය. යමෙකුට ජීවිතය වැරදුණොත් වැරදුණාමය. යමෙක් නම් වැරදුණ ජීවිතය කෙසේ හෝ ගොඩනගා ගන්නේය. මේ එවන් මිනිසෙකුගේ කතාවකි.
ඔහු ජගත් කොඩිතුවක්කුය. කලක් ඔහු වෘත්තිය මාධ්‍යවේදියෙකි. ඔහුගේ මාධ්‍ය දිවිය ඇරඹෙන්නේ විදුසර පුවත්පතිනි.
“අනුර සිරිවර්ධන තමයි මගේ පුවත්පත් කලාවේ මුල්ම ගුරුවරයා. ඔහු එවකට විදුසර කතුවරයා. විදුසරේදි මම හැම දෙයක්ම කළා. ඡායාරූප ශිල්පියෙක් විදිහට චිත්‍ර ශිල්පියෙක් විදිහට ලේඛකයෙක් හැටියට වැඩකළා. ඒ වෙනකොට මම පරිගණක ශිල්පය ඉගෙන ගෙන තිබුණා. ඒ දැනුමත් යෙදෙව්වේ විදුසර වෙනුවෙන්. විද්‍යා ලිපි ආදියත් ලිව්වා. පර්යේෂණ මට්ටමෙන් වගේම රට වටේ ඇවිදලා විවිධ ලිපි ලිව්වා. කුරුල්ලන් ගැන, පරිසරය ගැන විශේෂ ඇල්මක් තිබුණ නිසා මට බොහෝ පර්යේෂණවලට සහභාගි වීමට පුළුවන් වුණා. ධම්මිත්‍ර සමරසිංහ කියන්නේ මගෙ මිත්‍රයෙක්. මට කෙසේ හෝ ගොළුබෙලි පර්යේෂණයට සහභාගි වීමටත් අවස්ථාව ලැබුණා. පසු කාලිනව මට වත්මන සඟරාවටත් ඉන්පසුව දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතට පුරාවිද්‍යා හා පරිසර ලේඛකයකු ලෙස සම්බන්ධ වි කටයුතු කිරීමට ලැබුණා.”
කතාව කියමින් යන අතර ඔහු මොහොතකට නිහඬ විය. ඒ ඔහුගේ ජීවිතයේ කඩා වැටීමයි. ආදරය බිද වැටීමත් සමඟ ඔහු වෙනමම ජීවිතයකට හුරු වන්නේය. ඒ පුරුද්දේ අවසන් ප්‍රථිපලය වන්නේ කලක් ඔහු මානසික ප්‍රතිකාර ලබාගැනීමට යාමත් සමඟය. පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුර එහි වෛද්‍යවරු ජගත්ගේ හැකියාවන් හඳුනාගන්නාහ.
“මම ප්‍රතිකාර ලැබුවේ පේරාදෙණිය රෝහලේ. වෛද්‍ය රනිල් අබේසිංහ යටතෙ වගේම වෛද්‍ය ගුණවර්ධන යටතේත් ප්‍රථිකාර ලැබුවා. මාස ගණනාවකට පස්සේ වෛද්‍යවරු මට කිව්වා ජගත් දැන් ඔබට සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න පුළුවන් කියලා. ඉන්පසුව ඔක්තෝබර් මාසයට යෙදෙන මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් මාව අංගොඩ රෝහලට මාරුකර එව්වා. මාව එව්වේ මානසික සෞඛ්‍ය ඒකකයේ වැඩ කරන්න. එහිදි මට වෘත්තිය චිකිත්සකයින් වන උත්පලා, රාජිකා ප්‍රියදර්ශනි, අශෝක සංජීව හමුවෙනවා. මගේ හැකියාවන් හඳුනාගත්ත අශෝක මහතා මට වෘත්තිය චිකිත්සක අංශයේ කටයුතු කිරීමට අවස්ථාව ලබලා දෙනවා. එහිදී මම රෝගීන්ට අත්කම් නිර්මාණ ආදිය කියලා දුන්නා. කෙසේ හෝ මෙහි පැවැත්වුණ ප්‍රදර්ශනවලදි මගේ නිර්මාණ ඇගයීමට ලක්ෙවකවා. නරඹන්නට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මගේ චිත්‍ර මිලට ගන්නවා. මෙහි සේවයට එංගලන්තයෙන් පැමිණි ස්වෙච්ඡා සේවිකාවක් මට චිත්‍ර ශිල්පය ගැන වැඩිදුරටත් හැදෑරීමට අවස්ථාව ලබාදෙනවා. මගේ චිත්‍ර බොහෝ විට නිර්මාණය වුණේ මානසික රෝගයක් සැදෙන්නේ කොහොම ද කියලා. මේ චිත්‍ර හැමගේම අවධානයට ලක්වුණා. ඉන්දියාවෙන් ආව නියෝජිතවරු මගේ සිතුවම් අගය කළා. දෙදහස් දාහත වසරේ පැවැති උත්සවයකදී මම ඇදපු චිත්‍රයක් තමයි සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්නුවේ.”
ජගත් තම හැකියාවන්වලට නැවතීමේ තිත තබා නැත. චිත්‍ර ඇඳීමට පෙනීම යහපත් නොවීම නිසා ඔහු ඉවත දමන ද්‍රව්‍ය වලින් විවිධ කලා නිර්මාණ කිරීමට අත්හදා බැලීම් කෙරුවේය. ඔහුගේ අත්හදා බැලීම් සියල්ල සාර්ථක වී ඇත. ඉවත දමන ප්ලාස්ටික් කෝප්ප, යෝගට් කෝප්ප ආදිය මෙන්ම පත්තර, කාඩ් බෝඩ්, විවිධ සෙල්ලම් බඩු නිර්මාණය කිරිමට ඔහු දැන් දක්ෂය. ඔහුගේ නිර්මාණවලට දැන් හොද වෙළෙඳ පලක් ද ඇත.
“ අද වෙනකොට යෝගට් කෝප්ප, පත්තර, කාඩ්බෝඩ් ආදිය මිනිස්සුන්ට මහත් කරදයක්. මේවා දාන්න තැනක් නැහැ. නමුත් මම මේ කරන දෙයින් එයට යම් විසඳුමක් ලැබෙනවා. මම මේ දේවල් ඉගෙන ගත්තේ අත්හදා බැලීමෙන්මයි. මම ඒ ලබා ගත්ත දැනුම ඕනෑම කෙනෙකුට දෙන්නට සුදානම්. අද මම උතුරු ප්‍රදේශයේ වඩුක්කුඩෙයි, කිරංචි ආදි පාසල්වල ස්වෙච්ඡාවෙන් මේ දැනුම දරුවන්ට ලබා දෙනවා. මීට අමතරව මම චිත්‍ර වැඩමුළු තියනවා. අද මට මං ගැන අභිමානයක් තියෙනවා. පුංචි කාලේ ඉදලාම මම කලේ චිත්‍ර අදින එක. සමහරු මට කිව්වේ මට පිස්සු කියලා. පිස්සු කියලා හඳුන්වපු අය තමයි මේ ලෝකෙ වෙනස් කළේ. දැන් කවුරු හරි මට පිස්සා කියනවා නම් මං ආසයි. කාලයක් මං ඒ වචනයටත් බය වුණා.
මට මගේ ජිවිතේ සුන්දර මිනිස්සු හමු වුණේ මානසික රෝහලට ආවට පස්සේ. ජීවිතේ දැන් මට මහා සැනසිල්ලක් දැනෙනවා. මං දන්න ශිල්පය තවත් කෙනෙකුට ලබා දීමෙන් මං ලබන්නේ සතුටක්.”ජගත් පවසන්නේය.
අතීතයේ දිනෙක ඔහුට ජීවිතයේ අනාගතය ගැන අරමුණක් තිබිණි. නමුදු ඒ අරමුණු බිඳ වැටෙන්නේ ඔහුගේ මුළු ජිවිතයම කඩා වැටීමෙනි. ඔහු කෙමෙන් නැඟිටින්නේය. ජීවිතය යළි ගොඩනගා ගන්නේය. දැන් තමන් ගොඩනගා ගත් ලෝකයේදී ලද ශිල්පය දරුවන්ට බෙදා දෙමින් ඔහු තෘප්තියක් ලබන්නේය.