
“ඔයා නං වෙන වෙන ක්‍රමවලටත් ඇතුළු වෙනවා කියලා මං දන්නවා. ජනේලයෙන් විතරක් නෙමේ වහලෙනුත් ඔයා බැස්සොත් මං පුදුම වෙන්නෙත් නෑ. හැබැයි ශිෂ්ට සම්පන්න මිනිස්සු කාමරේකට ඇතුළු වෙන්න කලින් දොරට තට්ටු කරනවා.
ඔහොම කඩාගෙන බිඳගෙන එන්නෙ නෑ.. ඒක හරි කැතයි, අසෝබනයි.”
සාමාන්‍යයෙන් දියණියගේ මුඛරිකම පිටු දකින සුනන්දා අන් කිසි දිනෙකටවත් වඩා මේ මොහොතේදී ඇගේ මුවින් වදනක් බලාපොරොත්තු වෙයි.
“ඉන්න හැටි ගොළුවා වගේ...” යි කොඳුරමින් සුනන්දා කුස්සියට ගියාය.
“අයියා උදේට කෑවෙත් නෑ.. දවල් බත් එකත් සීතල වෙලා.. අනේ ඇත්තට ම තාත්තා කෙනෙකුට දුවෙක් කියන කතාවක්ද ඒ කීවේ? අපේ අයියා මොකදට තමුන්ගෙ ගෑනිව මරන්නෙ...? ඒ වගේ ගුණ යහපත් ගෑනියෙක් මරා ගන්නවද මේ ලෝකෙ මනුස්සයෙක්...?”
ඇය ඇගේ සිත දවන දුක කියා පෑවේ හැළිවලං එක්කය.
“මොකද ආයෙ හෙව්වෙ නෑ කියලද... රෑ දවල් නැතිව හෙව්වා නේද... ගඟේ ගිලිච්චි කෝච්චියේ හැප්පිච්චි කෙනෙක් හිටියොත් මේ රටේ කොතනට වුණත් ගියේ නැද්ද අපේ අයියා... සාත්තරකාරයො පස්සෙ වැටීගෙන මොන තරම් සල්ලියක් නැති නාස්ති කරගත්තද... කිසිම ආරංචියක් නෑනෙ අවුරුදු දෙකක් ගිහිල්ලත්... ඒකට ඉතිං අපේ අයියා මොකද කරන්නෙ... ඒක අක්කගෙ කරුමෙ... මෙච්චර හොඳ මිනිහෙක් එක්ක ඉන්න එයාට වාසනාව නැතිව ගියා... මොකක් හරි ගිය ආත්මෙ කරපු පාපයක්... පව් පල දෙනවනෙ කියන්නෙ ආත්ම හතක් ගියත්...”
වැඩක් පලක් කරන්නට බැරි තරමට වියවුල්ව හුන් සුනන්දා නැවතත් විසිත්ත කාමරයට ගියාය. මේ හිතුවක්කාර කෙල්ලගේ කටින් වචනයක් පිටතට ගන්නාතුරු ඇයට ඉවසිල්ලක් නැත. එහෙත් සෝපාව හිස්ව තිබිණ. ඒ මත අමාලිගේ පියකරු සිරුර දක්නට නොලැබීමෙන් තිගැස්සුණාය.
“අමා...”
කඩිමුඩියේ හැඳ පැලඳගන්නා අමාලි ඒ උච්ච ස්වරයෙන් නොකැලඹුණාය. ඇය අත් බෑගයද උරහිසක එල්ලාගෙන කාමරයෙන් පිට වූයේ නැන්දණිය මුහුණට මුහුණ සම්මුඛ වන බව දැන දැනමය.
“කොහෙ යන්නද මේ?”
ලිහිල් බ්ලවුසයකින් සහ දිගු කලිසමකින් සැරසුණු දියණියගේ රුවින් ප්‍රීති වනවා වෙනුවට සුනන්දා කෝපයට පත්වූවාය.
“තාත්තව හොයන්න...”
“මොනවා?”
නැන්දණියගේ විමතිය නොතැකූ අමාලි යුහුසුළුව නික්ම ගියාය.
“ඊට පස්සෙ මට යන්න වෙයි ඔයාව හොයන්න. අනේ මේ විකාර නැතුව මෙන්න මෙහෙ ඉන්න අමා...”
සුනන්දා ඇය හඹා යමින් කෑගැසුවාය.
“ගෙදරට වෙලා උඩ බලාගෙන ඉඳලා හරියන්නෑනේ... ටිකක් හොයලා බලන්න ඕනනේ.. ඔයා එක්ක රණ්ඩු කර කර ඉන්නද ඔයා මට කියන්නේ...”
“බස් එකේ ගිහිල්ලද හොයන්නෙ..? තව ටිකකින් රෑ වෙනවා.. නිකං මෝඩ වැඩ කරන්න එපා අමා..”
අමාලි බසයේ ගමන් නොකරන බවට සාක්ෂ්‍ය දරන්නාක් මෙන් යතුරුපැදිය මත හිඳගෙන හුන් තරුණයා හිස් ආවරණය ගලවා මුහුණ කට පෑවේය. දන්නා හඳුනන මුහුණක් වුවද සුනන්දාගේ කෝපය ද නොඉවසිල්ල ද තුනී වූයේ නැත.
“බ්‍රයන්..?” “බ්‍රයන්.”
ඇය තමා හඳුනා ගැනීම පිළිබඳ සතුටු වන්නාක් මෙන් බ්‍රයන් සිනාසුණේය.
“ඔයා කොයි වෙලාවෙද ආවෙ?”
ඇය මහත් කුහුලින් ප්‍රශ්න කළාය. බ්‍රයන් හා අමාලි අතර මිත්‍රත්වය ඇය කිසිසේත් රුස්සන්නේ නැත. හිස වර්ණ ගැන්වූ කන් පෙත්තක කරාබුවක් පැලඳි මේ සංකර තරුණයා සමඟ ඇසුර අමාලිට හානි කර බව ඇය නිතර සිතයි.
“දැනටමත් හැමෝම කියනවා ඇති අමා මේ කොල්ලා එක්ක යාළුයි කියලා.” යි ඇය සිතන්නේ මහත් ළතැවුලිනි.
‘ඒ ලංසි කොල්ලා එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද?” සිරිමාන්නද වරක් විමසා සිටියේය.
“එයා මගේ යාළුවෙක්...”
අමාලි නොපැකිළ උත්තර දුන්නාය.
“කෙල්ලෙකුට යාළුවෙක් වෙන්නෙ කෙල්ලෙක් නේද?”
යුවතිය දෙබැම ඉහළ නංවා ඒ ආකර්ෂණීය විස්මය පළ කළාය.
“ඇයි කෙල්ලෙකුට කොලු යාළුවෙක් ඉන්න බැරිද? කොල්ලෙකුට කෙලි යාළුවෙක් ඉන්න බැරිද?”
“අමා... මේක ඇමරිකාව එංගලන්තෙ නෙමේ. ලංකාව... කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ඇවිදින කොට අනිත් මිනිස්සු හිතන්නෙ නෑ ඒක නිකම් යාළුකමක් කියලා...”
සිරිමාන්න පැහැදිලි කළේ කෝපය යටපත් කර ගනිමිනි.
“ඇයි? ලංකාවෙ තහනම්ද කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි යාළුවෝ වෙන්න...”
“තහනම් කතාවක් නෙමේ මං කියන්නේ... මේ සමාජෙ... මේ සංස්කෘතිය එහෙම යාළුකම් පිළිගන්නෙ නෑ...”
ඇය දෙවුර හකුලා අප්‍රසාදය පළ කළාය.
“ඒකට අපි මොනවා කරන්නද? ඒක රටේ වැරැද්ද... ඇයි අපි අනිත් අයට ඕන විදියට ඉන්නෙ? අපිට ඕන විදියටනෙ අපි ඉන්න ඕන...”
කිසිවක් පිළිනොගන්නා දියණියට පහර දෙන්නට ඔහුට උවමනා වෙතත් සුනන්දා කඩාපාත් වෙයි. ඇය බැල්ලක සිය පැටවා රැක ගන්නවාක් මෙන් ඔහුගේ අතුල් පහරින් අමාලි රැක ගනියි. කොතනක සිටියද හරියටම වෙලාවට ප්‍රාදූර්භූත වීමට ඇය දක්වන්නේ මහත් දක්ෂතාවකි.
“අමා ඉන්න... මම යන්නම් බ්‍රයන් එක්ක...” යි සුනන්දා පැවසුවේ බ්‍රයන් හා අමාලි යතුරුපැදියේ ගමන් කරන අයුරු බලා ඉන්නට අකැමැත්තෙනි. දැනට ඔවුන් අතර ඇත්තේ හුදු මිත්‍රත්වයක් වුවද කාලයාගේ ඇවෑමෙන් එය ප්‍රේමයකට පරිවර්තනය නොවන බවක් කිව හැකිදැයි ඇයට සිතිණ.
ජේත්තුකාර ලංසි කොල්ලෙකු බෑණා වශයෙන් බාර ගන්නට සිය සොහොයුරා කිසිසේත් කැමති නොවන බව ඇය දනියි.
“නෑ නෑ... මම යන්නට ඕන. මං හින්දනේ තාත්තා ගෙදරින් යන්න ගියේ. ඉතිං මංම තමා අඬ ගහගෙන එන්න ඕන.” යි කියමින් අමාලි යතුරුපැදියට නැංගාය.
“අනේ මංදා... මේ ළමයා කියන දෙයක් අහන්නෙම නෑනේ...”
සුනන්දා කනස්සල්ලෙන් හිස කැසුවාය.
“තාත්තා ආවොත් මට කෝල් එකක් දෙන්න පොඩි නැන්දේ...”
යතුරුපැදියේ කර්කශ හඬ ළතැවුලින් හේබා ගිය ගැහැනිය ඒ වදන් ගිල ගත්තේය.
“ඕන දෙයක් කර ගත්තදෙං කියන දෙයක් නම් අහන්නෙම නෑනෙ මේ ළමයා...” යි කොඳුරමින් ඇය ගෙට වැදුණේ යළිත් වරක් සොහොයුරා අමතන අදහසිනි.
සිය පියා පාසලට යන්නට ඇතැයි අමාලි අනුමාන නොකළාය. එහෙත් බ්‍රයන් තරයේ කියා සිටියේ පාසලට ගොස් සොයා බැලිය යුතු බවය. ඒ කුඩා පාසලේ විදුහල්පතිවරයා ලෙස සිරිමාන්න මහත් වෙහෙසක් දරන බව ඇයද දැන සිටියාය. ඔහු නගරයේ පාසලකට යෑමට ඉඩ ප්‍රස්තාව සැලසී තිබුණද ගමේ පාසල අතහැර නොගියේය.
“තව වැඩ ටිකක් තියෙනවා...” යි ඔහු නිතර කීවේය. බිරියගේ හදිසි අතුරුදන් වීමෙන් පසුව ඔහු පාසල වෙනුවෙන් ම ඇප කැප විය. නිතර ඇමිණෙන්නට මාන බලන දියණියද ඔහු පාසල වෙතටම තල්ලු කරන්නට නොමසුරුව දායක වූවාය.
අතුරු පාරේ ගමන් ගන්නා විට පවා අමාලි කල්පනා කළේ මෙය නිෂ්ඵල ගමනක් බවය. අම්මා සොයන්නට ද ඇය බොහෝ විට ගියේ බ්‍රයන් සමඟිනි.
“උඹ හිංදා මට කෙල්ලෙක් දාගන්න බෑ බං...” වරෙක ඔහු මැසිවිලි නගයි.
“ඒ මොකද?” යි අමාලි අසන්නේ පුදුමයෙනි. ඇය ඇමතුමක් ලබා දුන් සැණින් පෙනී සිටින ඔහු කෙරෙහි මිත්‍රත්වයක් මිසක ඇය තුළ අන් කිසිඳු හැඟීමක් පහළ නොවෙයි.
“ඇයි බං... උඹත් එක්ක නිතරම රවුම් ගහද්දි ඕන කෙනෙක් හිතන්නෙ උඹ මගේ කෙල්ල කියලනේ...”
“ආ... ඇයි අනේ අයියලා නංගිලා ගමන් බිමන් යන්නෙ නැද්ද? යාළුවෙක් කියන එක අවුල් නම් අයියා කියන එකනෙ ඇත්තෙ... ඔයා අයියා... මම නංගි...”
එවන් වාද විවාද හා බහින්බස්වීම් අතරේ ඔවුන්ගේ මිත්‍රත්වය දලුලා වැඩේ.
නිවාඩු කාලය බැවින් පාසල පුරා තැවරී තිබුණේ පාළු නිසංසල බවකි. එය කෙනෙකුගේ හද රිදවන තරමට දැඩි විය.
අමාලි එක එල්ලේ ගමන් කළේ ප්‍රධාන ගොඩනැඟිල්ල වෙතය. එහි කෙළවරේ කන්තෝරු කාමරය පිහිටියේය. දොර විවර තිබිණ. ඇය කාමරයට ඇතුළු වූයේ “තාත්තේ” යි හඬ ගාමිනි.
“තාත්තේ” එවර ඇගේ ස්වරයෙහි බියක් දැවටී තිබිණ.
ඇයට පමණක් නොව සිතට ද දැනෙන හැඟෙන පාළු සෝබර බව නොතකා සිටින්නට දරන ලද උත්සාහය මුළුමනින්ම සාර්ථක නොවීය. එහෙත් ඇය කන්තෝරු කාමරයට වැදුණේ සැහැල්ලු සේම දඟකාර අන්දමිනි. ඇගේ මාතලී තරුණයා යතුරු පැදියෙන් බසින්නට කැමති නොවීය.
“ඔය ප්‍රින්සිපල්ලා ඉන්නවා නේද...”
ඇගේ විමසිලිමත් බැල්ම ඔහුට සිනාවට කරුණකි.
“ඒ ගොල්ලන්ට මාව පේන්න බෑ.. මට ඒ ගොල්ලන්ව පේන්න බෑ...”
ඇය මුව කොන ඇද කළාය.
“ඇත්තට...?”
“යනවා යනවා... තමුන්ගෙ තාත්තා ළඟට යන්න තව කෙනෙක් ඕනද...?”
ඇය දිව ගියේ ඔහුගේ අතැඟිලි අතරේ සැලුණ යතුර ද උදුරා ගෙනය.
“ඒයි ඒයි...” යි ඔහු කෑගෑවේය.
“මාව දාලා ගියොත් එහෙම... අද කාලේ විශ්වාස කරන්න බෑනේ කිසිම කෙනෙක්ව... විශේෂයෙන් කොල්ලන්ව.” ඇය හඹා ගොස් යතුර උදුරා ගන්නට සිත් වුවද ඔහු නොරිස්සුම් සහගත හඬක් නැංවූවා පමණි. ඇයගේ විදුහල්පති පියා සමීපයෙහි සිටින නොසිටින බව තහවුරු කර නොගෙන ඇය සමඟ දබර කර ගන්නට ඔහු මැලි විය. කන්තෝරු කාමරයේ දොර විවරව තිබෙන අයුරු යාම්තම් දැක ගත් විගස අමාලි තුටුපහුටු වූයේ පියා එතුළ සිටින බව පසක් කර ගනිමිනි. එහෙත් සිය දියණිය චාරයක් නැතිව කඩා වැදීම පිළිබඳව සිරිමාන්න නොසතුටු විය.
“තමා මොකද මෙතන කරන්නෙ?”
ඇය හැරී බැලුවේ තවත් කිසිවෙකු දකින අටියෙනි. එය ඇගේ රංගනයක් බව ඔහු දනියි. මවා පෑමෙහිලා මේ යුවතිය අතිශයින් බුහුටිය.
“තමා? ඒ කවුද තාත්තෙ? අමුතු නමක් නේද..? හැබැයි ලස්සනයි. තමා... ෂෝට් ඇන්ඩ් ස්වීට්...”
මේසය පෙරළා දමන්නට පවා ඔහුට සිතිණ. ඇගේ මේ සෝපහාස ස්වරය ද බැල්මද ඔහුට ඉවසිය නොහැක.
“කාමරේකට ඇතුළු වෙන්න විදියක් තියෙනවා අමා...”
ඇය දෙබැම ඉහළ නංවා විමතිය පළ කළාය. එයද එයාට විමතියක් බව ඔහු දනියි.
“දොරෙන්... දොරෙන්නෙ ඇතුළු වෙන්නෙ. මං හරි නේද තාත්තා...?”
ඔහු උපැස් යුවළ ගලවා මේසය මත තැබුවේය.
“ඔයා නං වෙන වෙන ක්‍රමවලටත් ඇතුළු වෙනවා කියලා මං දන්නවා නෙවිණි. ජනේලයෙන් විතරක් නෙමේ වහලෙනුත් ඔයා බැස්සොත් මං පුදුම වෙන්නෙත් නෑ. හැබැයි ශිෂ්ට සම්පන්න මිනිස්සු කාමරේකට ඇතුළු වෙන්න කලින් දොරට තට්ටු කරනවා. ඔහොම කඩාගෙන බිඳගෙන එන්නෙ නෑ.. ඒක හරි කැතයි. අසෝබනයි.”
ඇය ළදැරියකගේ අවිහිංසකත්වය ආරූඪ කර ගත්තාය.
“දොර වහලා තිබ්බා නම් මං අනිවාර්යෙන් ම තට්ටු කරනවා තාත්තා. ඉතිං ඇරලනේ තිබ්බෙ...”
ඔහු ඇය දෙස එක එල්ලේ බැලුවේය. ඒ බැල්ම කොතෙක් තියුණු වී දැයි කිවහොත් ඇයට හැඟුණේ තමා දරුණු ආඥාදායකයෙකු අබියස සිටින බවක්ය.
“මැනර්ස් කියලා දෙයක් තියෙනවා කියන එක අමතක කරන්න එපා අමා..” යි ඔහු ගැඹුරු හඬින් අවධාරණය කළේය. සිය පියා වෙතින් පියෙකු මිස විදුහල්පතිවරයෙකු දකින්නට ප්‍රිය නොකළ යුවතිය “තියෙනවා තියෙනවා” යි හිස සැලුවේද සරදමට මෙනි.
“හරි ඒ ඔක්කොම පැත්තකින් තියමු. දැං මට කියනවද කා එක්කද ආවෙ කියලා..”
ඇය මුල්වරට පැමිණියෙකු පරිද්දෙන් කාමරය සිසාරා බැල්මක් හෙළුවාය. පදක්කම් කුසලාන අසුරා තිබෙන අල්මාරිය වෙත ගියාය.
“තාත්තගෙ ශිෂ්‍යයෝ හරි දක්ෂයි නේද?”
“මගේ එකම දරුවගෙ කියන්න තරම් දක්ෂමක් නැතත් මේ අහිංසක ළමයි හුඟක් දක්ෂයි තමා..”
ඇය හඬ නංවා හිනැහුණාය. එයින්ද ඔහු කිපෙන බව නොදැන නොවේ.
“අමාලි”
සිරිමාන්න තරවටු කළේ ඉවසුම් නොදෙන කෝපයෙනි.
“ආපෝ... හිනාවෙන්නත් බෑද...? ඇත්තට ම මේ ප්‍රින්සිපල්ලාට මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට හොඳ රොබෝලා.. මනුස්සයෝ නෙමේ.”
ඔහු නැඟී සිටියේ හඩ නැඟෙන සේ පුටුව පසෙකට ඇද දමමිනි. එය ම අන්තරාය හඟවන්නක් වුවද ඇය නොකැලඹුණාය.
“ඔන්න රොබෝලා නම් ඔන් කළාවගෙ වැඩ. හිනාවෙන්නෙ නෑ. අඬන්නෙ නෑ. කල්පනා කරන්නෙ නෑ. ඕගොල්ලන්ට තියෙන්නෙ ඔන් ඕෆ් කරන්න විතරයි. මිනිස්සු එක්ක එහෙම බෑනෙ තාත්තා...”
ඔහු මේසය මත ඉසිඹුලන වේවැල අතින් ගත්තේය.
“ළමයි එක්ක වගේම මිනිස්සු එක්කත් වැඩ කරන්න ඕන කොහොමද කියලා මම හොඳට දන්නවා අමා...”
ඇය වේවැල දෙස බලා සිටියේ කිසි දිනකත් එවැන්නක් නුදුටු විලාසයෙනි.
ලබන සතියට...