තවත් ඖෂධ වර්ග රැසක මිල පහළට | Page 4 | සිළුමිණ

තවත් ඖෂධ වර්ග රැසක මිල පහළට


මේ වන විට ඖෂධ වර්ග 73ක මිල අඩු කර තිබෙනබවත් තවත් ඖෂධ වර්ග 27ක මිල අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

රාජිත සේනාරත්න පදනමේ පාණදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ රාජිත සේනාරත්න පදනමේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාණදුර නගර ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් බලාපොරොත්තු විරහිතව ජීවත් වෙනවා. නමුත් එවැනි තරුණ තරුණියන්ට සෞඛ්‍ය සේවයට අවතීර්ණ වීමේ දොර මම විවෘත කර තිබෙනවා. සාමාන්‍ය ජනතාවට නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුළින් ජනතා සේවාවක් ඉටු කර තිබෙනවා. මැරෙන්න සිටින සෑම පුරවැසියෙකුටම ජීවිතය ලබාදෙනවා. මිනිස් ජීවිතවල වටිනාකම මනුෂ්‍යකමින් බැලිය යුතුයි. නමුත් සමහරු හිතනවා ඇති නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමත් පසුගිය රජයේ ව්‍යාපෘතියක් කියලා. නමුත් අපේ රජයේ ප්‍රචාරය මදි. මාධ්‍යයත් හොයන්නේ වැරදි විතරයි. ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ සැත්කමක් රජයේ රෝහල්වල ආරම්භ කර තිබෙනවා. විදේශීය රටක එවැනි සැත්කමක් සිදු කිරීමට වැයවන මුදල රුපියල් ලක්ෂ 36 ක්. මේ වනවිට දරුවන් 100 කට වැඩි පිරිසක් එම සැත්කමට ලක් කර තිබෙනවා.

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ මට ආත්ම ශක්තියක් ඇති වූයේ දරුවන්ගේ ඉල්ලීමකටයි. තැලසීමියා රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නතර වූ බව ඔවුන් මට දැනුම් දුන්නා. නමුත් මම එම දරුවන්ට ප්‍රකාශ කළා තැලසීමියා වාට්ටු සංකීර්ණය ඉදිකර අප්‍රේල් මාසයේ දී විවෘත කරන බව. මම යළි රජය ලබාගැනීමේ සටන ආරම්භ කිරීමට ආත්ම ශක්තිය ලැබුනේ එම දරුවන්ගේ ඉල්ලීම මතයි. එදින සිට අරලියගහ මන්දිරය සටන් මධ්‍යස්ථානය කර ගනිමින් රජය යළි ලබාගැනීමේ අරගලය ආරම්භ කළා.

පාණදුර ප්‍රදේශයේ දෙවන ජාතික රෝහල ඉදිකිරීමට මම පියවර ගන්නවා. රුපියල් මිලියන 22000ක් ඒ සඳහා වැය කරනවා. පාණදුර කේතුමතී රෝහල සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 14000ක් වැය කරනවා. රෝහල් ගණනාවක් දිවයින පුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. දින 53ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් මතු වුණා. එම ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා 03ක දී ගුවන් මඟින් ලංකාවට ගෙනවිත් තිබෙනවා. මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි. පසුගිය වසර 03 තුළ මම කිසිදු ඖෂධයක් හිඟයකින් තොරව ලබාදුන්නා. ඕනෑම දෙයක් වනසන්න ගත වන්නේ කෙටි කාලයයි. නමුත් එය යළි සැකසීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් මේ වන විට ඖෂධ වර්ග 73ක මිල අඩු කර තිබෙනවා. තවත් ඖෂධ වර්ග 27ක මිල අඩු කිරීමට පියවර ගන්නවා. එවිට ඖෂධ වර්ග 100 ක මිල අඩු කිරීම නිසා වෙළෙදනාමයෙන් යුත් ඖෂධ වර්ග 1000 ක මිල අඩු වෙනවා. පසුගිය වසර 03 තුළ නොමිලේ අක්ෂි කාච, ස්ටෙන්ස් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මුදලක් මම ලබාගත්තේ නැහැ. සෞඛ්‍ය සේවාව තුළ තිබූ දුෂණ වංචා නැති කරමින් තමයි මම මුදල් සොයා ගත්තේ. 2019 වසරේ එම සේවාවන් ඉටු කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් ඉල්ලා තිබෙනවා.”

මෙම අවස්ථාවට පාණදුර එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී විජිත් ප්‍රියන්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, පළාත් පාලන ආයතනවල නියෝජිතයින්, තරුණ තරුණයින් සහ දෙමාපියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Comments