
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොංග්-අන් අතර දෙවැනි හමුව සඳහා වියට්නාමය තෝරාගැනීම පිළිබඳ තරමක කතාබහක් ඇති විය. නමුත් කලාපීය රටවලින්, ඇතැම් විට මොන්ගෝලියාව හැරුණ විට, මේ සමුළුව පැවැත්වීමට සුදුසුම රට වියට්නාමය බව පැහැදිලි ය. ඒ සඳහා හේතු ලෙස කරුණු කිහිපයක්ම ඉදිරිපත් කළ හැකි ය.
මේ සමුළුවට සත්කාරක රාජ්‍යයක් තෝරා ගැනීමේදී ඇමරිකාව සහ උතුරු කොරියාව එම සත්කාරක රාජ්‍යය සමඟ ඇති සබඳතාව, එම රටෙහි ආරක්ෂාව පිළිබඳව දිය හැකි සහතිකය මෙන්ම විශේෂයෙන්ම කිම් ජොංග්-අන්ගේ ගමන් පහසුව සලසාගැනීම යනාදී කරුණු වැදගත් ය.
උතුරු කොරියාව, වියට්නාමය කෙරෙහි ධනාත්මක නැඹුරුවක් පෙන්වයි. කොමියුනිස්ට් වියට්නාමය සමග උතුරු කොරියාව 1950 සිට සබඳතා පවත්වයි. ඇතැම් අවස්ථාවන් හි යම් යම් මතභේද මතු වුවද, ඉතිහාසය පුරාවට දෙරට අතර සබඳතාව බිඳී නොගියේ ය. තවද, වියට්නාමය සහ උතුරු කොරියාව අතර ගමනාගමනය ද අපහසු නැත. පෞද්ගලික ගුවන් යානයකින් පැය කිහිපයකින් උතුරු කොරියාවේ සිට ගුවන් මගින් වියට්නාමය කරා පැමිණිය හැකිය. ගුවන් ගමන් එතරම් නුහුරු කිම් ජොංග්-අන්ට මෙය ඉතා වැදගත් පහසුවකි.
පසුගිය වසරේ දෙදෙනා අතර ඓතිහාසික පළමු හමුව පැවති සිංගප්පූරුව, ඇමෙරිකාව සහ උතුරු කොරියාව යන දෙරට සමඟම තානාපති සබඳතා පවත්වන රාජ්‍යයකි. වියට්නාමය ද එවැනිම රාජ්‍යයකි.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ මිත්‍රත්වය වර්ධනය කරගැනීම පිළිබඳ උද්‍යෝගයක් දක්වන හෙයින් උතුරු කොරියාවට වියට්නාමය වැදගත් නිදසුනක් ලෙස ද ගත හැකිය. වියට්නාමයේ දශක තුනක සන්නද්ධ ගැටුම් නිමා වූයේ 1975 දී ය. එයින් ද දශකයකට වඩා, ඇමෙරිකා හමුදා එහි රැඳී සිටියේය. 1975 දී ඇමෙරිකාවේ ආධාර ලද දකුණු වියට්නාමය පරාජය කර කොමියුනිස්ට් උතුරු වියට්නාමය විසින් සම්පූර්ණ රටේම පාලන බලය අල්ලාගත් නමුත් ඔවුනට උරුම වූයේ විනාශ වූ රටකි. එමෙන්ම සෝවියට් කඳවුරේ රටවල් සමඟ විනා, අනෙකුත් රටවල් සමග වියට්නාමයේ සමීප සබඳතාවක් ද නොවී ය. එමෙන්ම වියට්නාමයේ සංවර්ධන ක්‍රමවේදය පිළිබඳ කිම් ජොංග්-අන් විශේෂ උනන්දුවක් දක්වන්නේ යයි වාර්තා වේ. මේ වන විට ද උතුරු කොරියා සිසුහු පිරිසක් වියට්නාමයේ සංවර්ධන මොඩලය හැදෑරීම සඳහා එරටට පැමිණ සිටිති. මේ අතර, පසුගිය නොවැම්බරයේදී උතුරු කොරියා විදේශ අමාත්‍යවරයා වියට්නාමයේ සංචාරය කළේය. එහිදී වියට්නාම උප අගමැති සහ විදේශ ඇමති වන ෆාන් බින් මින්, කොරියා අර්ධද්වීපයේ සිදු වෙමින් පවතින පරිවර්තනය පිළිබඳ තම සතුට පළ කළ බව, වියට්නාම මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.
මෑත කාලීනව වියට්නාමය විශාල වශයෙන් විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමට සමත්ව සිටින අතර දළ දේශීය නිෂ්පාදිතයද ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරයි. පසුගිය වසරේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට හතකින් පමණ ඉහළ ගියේ ය. පැසිෆික් කලාපයේ රටවල් කිහිපයක් සමඟ මෙන්ම යුරෝපා සංගමය සමග ද වියට්නාමය නිදහස් වෙළෙඳ ගිවිසුම් කරා එළඹ තිබේ.
1986 දී වියට්නාමය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවී ය. දශකයක් පමණ ගත වන විට ඔවුහු ඇමෙරිකාව සමඟ ද මිත්‍රත්වය යළි ගොඩ නංවන තැනට පැමිණෙමින් සිටියහ. වර්තමානය වන විට දෙරටෙහි සබඳතා ඉතා සමීප බවක් පෙන්නුම් කරයි. ජනාධිපති ඔබාමා සමග මෙන්ම ජනාධිපති ට්‍රම්ප් සමග ද වියට්නාමය කිට්ටු සබඳතා ගොඩ නඟාගත්තේ ය. 2017 මැයි මාසයෙදී වියට්නාම් අගමැතිවරයා ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමු විය. එම වසරේදීම ට්‍රම්ප් ද වියට්නාමයේ සංචාරය කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද වියට්නාමය වැදගත් මිතුරෙකි. විශේෂයෙන්ම චීනය සහ ඇමරිකාව අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වී ඇති අවස්ථාවක එම වැදගත්කම තවත් ඉහළ යයි. වියට්නාමය කලක පටන් දකුණු චීන මුහුදෙහි සමුද්‍ර මායිම් පිළිබඳ චීනය සමඟ ගැටුමකට මැදිව සිටියි. තවත් ආසියා කලාපයේ රටවල් කිහිපයක් ද මේ කරුණ මතම චීනය සමඟ නොහොඳින් පසු වෙයි. මේ අතර වියට්නාමය සහ ඇමරිකාව අතරද වියට්නාමය සහ කලාපීය රටවල් අතරද මිත්‍රත්වය වර්ධනය වී ඇත.
මේ අතර, වියට්නාමය මේ සියලු ආර්ථික වර්ධනයන් පෙන්නුම් කරන්නේ එරට දේශපාලන ක්‍රමය ලිබරල්කරණය කිරීමකින් තොරව ය. එරට තවමත් කොමියුනිස්ට් පාලනයක් පවතියි. එමෙන්ම කොමියුනිස්ට් පාලනයේ දේශපාලනික ප්‍රජාතන්ත්‍රීකරණයක් බලාපොරොත්තු විය නොහැකිය. ස්වකීය දේශපාලන බලය රැක ගන්නා ගමන් රට නවීකරණය කිරීමට බලාපොරොත්තු වන උතුරු කොරියා නායකයාට වියට්නාමය පිළිබඳ උනන්දුවක් ඇති වීම පුදුමයට කරුණක් නොවන්නේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අයුරින්, ට්‍රම්ප් සමඟ වන හමුව සංවිධානය වීමට පෙර සිටම කිම්, වියට්නාමයේ සංචාරය කිරීම සඳහා සූදානමකින් පසු වූයේ ය.
තමන් සහ කිම් ජොංග්-අන් අතර හොඳ සබඳතාවක් ඇති බව පවසන ට්‍රම්ප් කියා සිටින්නේ වෙනත් අයකු ඇමරිකාවේ ජනාධිපති වී නම් මේ වන විට ඇමෙරිකාව සහ උතුරු කොරියාව යුද වැදී සිටිනු ඇති බවය.
ආරක්ෂාව පිළිබඳව සැලකූ විටද වියට්නාමය ඉතා හොඳ තෝරාගැනීමකි. එහි සාමාන්‍ය දිනවල පවා ආරක්ෂක අංශ විමසිලිමත්ය.
උතුරු කොරියාව සහ චීනය අතර වන සමීපතාව පිළිබඳ නොසතුටින් සිටින ට්‍රම්ප්, වියට්නාමය උතුරු කොරියා සාම ක්‍රියාවලිය සඳහා ක්‍රියාකාරීව දායක කරගැනීමට අපේක්ෂා කරනු ඇත. විශේෂයෙන්ම අනාගත උතුරු කොරියා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් චීන ක්‍රමයට නොව වියට්නාම ක්‍රමයට සිදු කිරීම කෙරෙහි කිම් පොලඹවා ගැනීම ට්‍රම්ප්ගේ බලාපොරොත්තුව වනු ඇත. ඇතැම් වාර්තා සඳහන් කරන අයුරින්, කිම් ජොංග්-අන් චීන මොඩලයට වඩා වියට්නාම් මොඩලය කෙරෙහි කැමැත්තක් දක්වයි. ඔහු ඒ බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් සමඟ පවසා ඇති බව දකුණු කොරියා මාධ්‍ය සඳහන් කර තිබිණි.