අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ජනතා අයිතියට | Page 3 | සිළුමිණ

අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ජනතා අයිතියට

අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ඊයේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් ජනතා අයිතියට පත් විය.
 
යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ සිසුන්ගේ ගමන් පහසුව උදෙසා මෙම නව උප දුම්රිය ස්ථානය ඉදි කර තිබේ. ඊයේ (27) දින ධාවනයට එක් වූ උත්තර දේවී දුම්රිය වෙනුවෙන් ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය  මිල දී ගත් එස්.13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලය මේ අනුව එහි ධාවනයට එක්වනු ඇත.
 
ලබන මාර්තු මාසයේ සිට අනුරාධපුරයට හා දකුණටත් සුඛෝපබෝගී දුම්රිය සේවාවක් අරඹන බව මේ අවස්ථාවට එක් වූ  ඇමති අර්ජුන රණතුංග මහත ප්‍රකාශ කළ අතර ඉදිරියේ දී උසස් තත්ත්වයේ සුඛෝපභෝගී දුම්රිය සේවාවක් හඳුන්වා දීමට යන බවත් ඉන්දියාවෙන් ඇණවුම් කළ බලවේග දුම්රිය කට්ටල හා මැදිරි මෙරටට ගෙන්වූ පසු මාර්තු මාසයේ සිට අනුරාධපුරයට සහ දකුණට නව දුම්රිය සේවාවන් ආරම්භ කරන බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 
 
මීට සමගාමීව යාපනයේ සිසුන්හට  දකුණේ ජනතාවගේ පරිත්‍යාග මඟින් එකතු වූ පාසල් පොත් හා උපකරණ ප්‍රදානය කිරීමක් ද ඇමැතිවරයා අතින් සිදුවිය.
 
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ,උතුරේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන්  රාඝවන්,ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාන්ශයේ ලේකම් එල්.පී. ජයම්පති, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත  ප්‍රනාන්දු මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
 
 

Comments