
මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් එහි තිරය පිටුපස සිට කෝටි ගණනින් මුදල් උපයන ප්‍රභූ පිරිසක් පිළිබඳව මත්ද්‍රව්‍ය වැටලීම්හි නිරත බුද්ධි අංශ සූක්ෂ්ම මෙහෙයුමක නිරතව සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් හෙළි වේ.
මේ පුද්ගලයන් විදේශයන්ගෙන් හෙරොයින් මත්කුඩු කිලෝවක් රුපියල් ලක්ෂ විසිපහකට, තිහකට මිලදී ගෙන මෙරට තුළ රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට, පනස්ලක්ෂයකට පමණ විකුණමින් කෝටි ගණනින් ලාභ උපයන බවත්, එම මුදල් සියල්ල විදේශ ගිණුම්වලම තැන්පත්කොට සියලු වත්කම්ද විදේශවලින්ම මිල දී ගන්නා බවත් අනාවරණය වී ඇත. ඔවුන් වෙනත් පුද්ගලයන් යොදවා ජාවාරම කරන අතර කිසිදු ලෙසකින් ඊට සම්බන්ධ නොවන බවටද වාර්තා වේ.
ප්‍රභූවරුන් ලෙස හැසිරෙමින් ආගමික ස්ථාන ඇතුළු බොහෝ ප්‍රභූන් ළඟින් ඇසුරු කරන මේ පිරිස් පිරිසුදු චරිත සේ සමාජයේ වැජඹෙමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වලට ද එක්වන බවට හෙළිව ඇත.
පසුගිය දිනවල මත්ද්‍රව්‍ය තොග පිටින් අත්අඩංගුවට ගෙන පුද්ගලයන් රැසක්ම කොටුකරගත්ත ද එම පුද්ගලයන් මේ ජාවාරමේ 'පොඩි' චරිත බවත්, ඔවුන් පසුපස සිටින්නේ මේ ප්‍රභූ පුද්ගලයන් බවත් ඔවුන් ඇතැම් අපරාධකරුවන්ගේ නම්ගම්වලට මුවාවෙන් මේ ජාවාරමේ නිරත වන බවටද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.