කෙරවලපිටිය අධිවේගී මාර්ගය මේ වසරේ ජනතා අයිතියට | Page 4 | සිළුමිණ

කෙරවලපිටිය අධිවේගී මාර්ගය මේ වසරේ ජනතා අයිතියට

දකුණු සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්හි , කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය, කඩවත අන්තර් හුවමාරුවේදී සම්බන්ධවන ස්ථානය සහ කෙරවලපිටිය දක්වා වන මාර්ගය, ඉදිකිරීමේ කටයුතු 2019 වසරේ ජූනි මසදී අවසන් කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
 
මෙහිදී මාතර සිට කටුනායක සහ කොළඹ දක්වා ගමන් ගැනීම සඳහා අධිවේගී මාර්ගය කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් සම්බන්ධ වීම සිදු කෙරේ.
 
මෙහි කඩවත අන්තර් හුවමාරුවෙහි සිට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9ක දුරකින් මාර්ගය තැනවෙන අතර කඩවතින් මධ්‍යම අධිවේගී මාර්ගය ගම්පහ දෙසට මීටර් 500ක දුරක කොටසක් පමණක් දැනට ඉදිකෙරෙමින් පවතී.
 
මෙහිදී කඩවත අන්තර් හුවමාරුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගය දෙසට තැනවීමේදී ආරම්භය මීටර් 23ක් උසැති කුළුණු මතින් තැනවෙන බවත් කඩවත අන්තර් හුවමාරුවෙහි මීටර් 6.4ක උසින්ද , මීටර් 10ක උසින් සහ මීටර් 14.6ක උසින් යුක්තව කුළුණු මතින් මාර්ග එකිනෙක සම්බන්ධ කෙරෙමින් තැනවෙන ආකාරය පිළිබඳ කඩවත ව්‍යාපෘති ඉංජිනේරු කේ.රවීන්ද්‍රලිංගම් සහ ව්‍යාපෘති ඉදිකිරීම් ඉංජිනේරු ජයන්ත රාජමන්ති යන මහත්වරුන් ඉදිකිරීමේ කටයුතු පැහැදිළි කරමින් පැවසූහ.
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ කඩවත අන්තර් හුවමාරුවේ සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු දැනට ස්ථාන කිහිපයකින් අරඹා ඇති අතර මෙම කොටස කිලෝ මීටර් 36.5 ක දුරකින් සමන්විතය.
 
මෙම කොටසෙහි ගම්පහ,වේයන්ගොඩ සහ මීරිගම යන නගරයන් ආශ්‍රිතව පිවිසුම් 03ක් වන අතර මෙම කොටසෙහි ඉදිකිරීම්වල දී ජල ගැලීම් හා ජල බස්නා පහසුව සඳහා කිලෝ මීටර් 12ක දුර ප්‍රමාණය කුළුණු මතින් ඉදිකෙරෙන බවත්, මෙහි රත්මලවිට සිට දාරළුව දක්වා කිලෝ මීටර් 4ක දුරක් ඝෘජුවම කුලුණු මතින් තැනවෙන බවත් කඩවත සිට මීරිගම දක්වා වන කොටස භාර ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සජීවනී සේනානායක මහත්මිය සඳහන් කළාය.
 
මධ්‍යම අධිවේගී මාර්ගයෙහි කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීම සඳහා චීන රජයේ ණයක් මඟින් වැය කෙරෙන මුදල රුපියල් බිලියන 158කි.
 
මෙම ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්‍ෂණය මත මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම මඟින් සිදු කරනු ලබන අතර කෙටි කාලයක් තුළ දී අවසන් කිරීමට සැලැසුම් කොට ඇත.

Comments