හඳේ අලුත් අයිතිකාරයෝ | සිළුමිණ

හඳේ අලුත් අයිතිකාරයෝ

සීතල යුද සමයේදී අමෙරිකාවත්, රුසියාවත් ලෝක බලවතා තමන් බව ඔප්පු කර පෙන්වීමට නොයෙක් දහංගැට දැමීය. ඒ අතරින් ප්‍රබලතම ව්‍යාපෘතියක් වූයේ හඳ තමාගේ කරගෙන පෙන්වීමය. රුසියාව මුල් වරට ජීවියෙක්- සුනඛයෙක් හඳ මතට යවා පෙන්වූ අතර අමෙරිකාව ප්‍රථම වරට හඳ මතට මිනිසුන් ගොඩ බස්වා පෙන්වීය.

කෙසේ වුවද රුසියාව බිඳ වැටෙන තෙක් හඳ අයිති කරගැනීමේ සටන අවසන් වූයේ නැත. රුසියාව බිඳ වැටුණු පසු අමෙරිකාව පාළු ගෙදර වළං බින්ද අතර හඳ අමතක කර දමා ඒ වෙනුවට රටරටවල යුද්ධ ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

දැන් හඳ අයිති කරගැනීමේ සටන මේ වන විට වෙනස් මුහුණුවරකින් කරළියට පැමිණ තිබේ. මෙවර අමෙරිකාවේ ප්‍රතිවාදියා සිතන තරම් ලේසි පහසු අයෙක් නොවේ. මේ ප්‍රතිවාදියා චීනයයි. අමෙරිකාවට හඳ අමතක වන තෙක් සිටි චීනය එක්වරම හඳ කෙරෙහි දැවැන්ත උනන්දුවක් දක්වා තිබේ. පසුගිය ජනතාවරි 2 වැනිදා නමෝ විත්තියෙන් හඳට ගිය චීන යානය මේ වන විට හඳේ කපු ඇට පැළ කර පෙන්වා ලොවම මවිත කර අවසන්ය.

චීනය ලෝක බලවතාට තරගයක් එල්ල කරන්නේ නව සහශ්‍රකයේ ආරම්භයත් සමඟය. මේ වන විට චීනය සමස්ත ලෝකයෙන් බාගයක් පුරා පැතිරෙන වෙළෙඳ ව්‍යාපෘතියක් සමඟ ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක ආධිපත්‍ය පතුරා අවසන් වන අතර දැන් හඳ මතුපිටද තම ව්‍යාපෘති අරඹමින් හඳටද අයිතිවාසිකම් කියන තැනකට පැමිණ තිබේ.

පසුගිය ජනවාරි 2 වැනිදා හඳේ අඳුරු පැත්තේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ ඇති විශාලතම ආවාටය ආසන්නට ගොඩබසිනු ලැබූ චීන යානය ‘යූටූ 2‘ නම් විය.

එහි චීන අර්ථය ‘ජේඩ් රොබෝ‘ යනුවෙනි. මේ යානය ගොඩබැස්වීමේදී තමන්ට ප්‍රධාන අරමුණු තුනක් පවතින බව චීන අභ්‍යවකාශ බලධාරීහු ප්‍රකාශ කර සිටියහ. එනම් හඳ මතුපිට ප්‍රථම අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග විකාශය කිරීම, හඳේ ධ්‍රැවාසන්නයේ ජලය ඇතිදැයි සොයා බැලීම සහ අඩු ගුරුත්වයක් මත ශාක පැළ කිරීමට හැකිදැයි සොයා බැලීමයි.

යානය හඳ මතුපිටට පැමිණ සතියක් ඉක්ම යෑමට ප්‍රථම තමන්ට ඉන් තුන් වැනි අරමුණ හෙවත් අඩු ගුරුත්වයක් මත ශාක පැළ කර පෙන්වීමට හැකි වූ බව චීනය මේ වන විට තහවුරු කර අවසන්ය.

චීනය මේ කපු ඇට පැළ කර ඇත්තේ යානය තුළ ඇති සුවිශේෂ කුටියක් තුළදීය. මීට පෙරද අභ්‍යවකාශයේ ශාක පැළ කර තිබුණද, මින් පෙර හඳ මතුපිටද ශාක පැළ කිරීමට මිනිසා කටයුතු කර තිබුණේ නැත. චීන යානය තුළ වූ මේ කපු ඇටවලට ස්වයංක්‍රීයව ජලය වක් කෙරුණු අතර දින කිහිපයක් ඇවෑමෙන් සිහින් පැළ මතුව එන අන්දම මනාව දිස් වන ඡායාරූපද මේ වන විට ලෝකයට මුදා හැර අවසන්ය.

ඒ අනුව මේ වන විට චීනය හඳ මතුපිටදී අමෙරිකාවට වඩා පියවරක් ඉදිරියෙනි.

එසේ වුවද මේ වසර ගෙවී යන විට හඳේ තත්ත්වය කෙසේ වේ දැයි විමසිල්ලෙන් බලා සිටිය යුතු වන්නේ ඇතැම් විට මේ වසරේ කාර්ය බහුලම ස්ථානය හඳ මතුපිට විය හැකි බැවිනි. එසේ වන්නේ හඳට අයිතිවාසිකම් කීමේ ජාතීන් අතර තරගය ඉක්මවා තම ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමේ ආකර්ෂණීය අවස්ථාවක් ලෙස හඳ යොදා ගැනීමට සූදානම් ව්‍යාපාරිකයක් රොත්තක් බිහිව තිබීම හේතුවෙනි.

තම ව්‍යාපාර වැඩි දියුණු කරගැනීම හඳ මාර්කට් කිරීමෙන් කරගත හැකි බව ප්‍රථමයෙන්ම වැටහී තිබුණේ වැඩි ප්‍රසිද්ධියක් නැති අමෙරිකානු සමගමකටය. 2017 වසරේදී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මිනිසාගේ හඳ ගමනින් වසර 50ක් සපිරෙන අවස්ථාවේදී තමන් යානයක් හඳ මතුපිටට යැවීමට කටයුතු කරන බවයි. ඉන්පසු ඊශ්‍රායෙල් සමාගමක් වන SpaceIL සමාගම පවසා සිටියේ තමන් 2019 පෙබරවාරි මාසයේදී යානයක් හඳට යවන බවයි. 2018 ජූලි මාසයේදී ලොව ප්‍රමුඛ ව්‍යාපාරික ජෙෆ් බේසස් ද තම සමාගම වන Blue Origin මගින් 2023 වන විට හඳ මතට යානා යවන බව ප්‍රසිද්ධ කර සිටියේය. තවත් ජපන් සමාගමක් ද හඳට යානා යවන බව ප්‍රකාශ කර තිබේ. 2020 දී හඳේ කක්ෂයට යානයක් යවන බවත් 2021දී හඳට ගොඩබසින බවත් ඔවුන් පවසා තිබේ. ව්‍යපාරික රිචඩ් බ්‍රැන්සන් පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වන්නේ අභ්‍යවකාශයට මිනිසුන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවල නිරත වීමට බවයි.

හොඳින් බලන විට පෙනී යන්නේ ඇපලෝ යුගයේ නැතහොත් සීතල යුද සමයේ පැවති අභ්‍යවකාශ අරමුණුවලට වඩා මේ අරමුණුවල කැපී පෙනෙන වෙනසක් පවතින බවයි. මෙහිදී ජාතිකත්වය වෙනුවට ව්‍යාපාරික අරමුණු පෙරට විත් තිබේ. අමෙරිකාවේ නාසා ආයතනය දැන් තමන් යළිත් හඳ වෙත අවධානය යොමු කරන බවක් පෙන්වා තිබේ. ඔවුන් යළිත් හඳ මතට යානයක් යැවීමට කටයුතු ආරම්භ කර ඇතැයි පැවසේ. තමන් හඳ ඉක්මවා අඟහරු කරා ගොස් සිටින බව අමෙරිකාව පෙන්වූවද චීනය තම ප්‍රගතිය ක්‍රියාවෙන් ඔප්පු කරන දිනය වැඩි ඈතක නොවේ.

එමෙන්ම දැනට හඳ මිල කිරීමට සැරැසෙන ව්‍යාපාරිකයන් රොත්ත මේ අන්දමින් තරග වදින්නේ එමඟින් තම ව්‍යාපාර සඳහා ආයෝජකයන්, පාරිභෝගිකයන් සහ රාජ්‍ය සහාය ලබාගැනීමේ අරමුණු පෙරදැරි කරගනිමින් බව යටි පෙළ අරමුණු අතර හොඳින් දිස් වේ.

මේ සියල්ල ක්‍රියාවට නැඟුණු දිනයක් නුදුරේදී නොඅනුමානව එළඹෙන බැවින් ඉදිරියේදී හඳේ මායිම් වැටවල් ඉදිවුවද එයද පුදුමයට කරුණක් නොවනු ඇත.

 

 

ටිරෝනි වෑවලගේ

Comments