බ්‍රෙක්සිට් අවුලෙන් අවුලට ? | සිළුමිණ

බ්‍රෙක්සිට් අවුලෙන් අවුලට ?

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම මාර්තු 29 වන දා සිදු වීමට නියමිත ය. නමුත් එය සිදු වන ආකාරය පිළිබඳ ගැටලුව තවමත් නිරාකරණය වී නැත. මෑතක දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වූ සිද්ධී එම ව්‍යාකූලතාව තවත් උග්‍ර බවට පත් කර තිබේ.

අගමැති තෙරේසා මේ සහ යුරෝපා සංගමය අතර බ්‍රෙක්සිට් සිදු වන ආකාරය පිළිබඳ ඇති කරගත් එකඟතාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ජනාවාරි 15 වන දා අන්ත පරාජයකට ලක් විය. ඒ සමඟම කම්කරු පක්ෂ නායක ජෙරමි කෝර්බින් විසින් රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සභාගත කරන ලදී. එය ජනවාරි 16 වන දා පරාජයට පත් විය.

තෙරේසා මේ ඉදිරිපත් කළ යෝජනාවලිය ඓතිහාසික ලෙස පරාජය වීමත්, ඇය විශ්වාසභංග යෝජනාව ජයගැනීමත් යන කරුණු බ්‍රෙක්සිට් යෝජනාවලිය සමඟ බ්‍රිතාන්‍යය තුළ මතුව ඇති ව්‍යාකූල තත්ත්වය පැහැදිලි කරයි.

මේ අතර තෙරේසා මේගේ යෝජනාවලිය සම්මත නොවීමත්, නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොවීමත් හේතුවෙන් එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යය යොමු වන තත්ත්වයක් මතුව ඇත.

එකඟතාවක් අවශ්‍ය ද?

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙහි සාමාජිකයකු ලෙස එකම ආර්ථික කලාපයකට අයත් විය. බ්‍රිතාන්‍යය යූරෝ මුදල් ඒකකය භාවිතා කරන රටවල් අතරට එක් නොවූව ද, අන් බොහෝ අංශයන් අතින් යුරෝපය සමග සබඳතා ගොඩ නැඟිණි. යුරෝපා සංගමයේ අන් රටවල වැසියන්ට බ්‍රිතාන්‍යය වෙත පැමිණිය හැකි විය. තීරු බදු රහිතව වෙළෙඳාම් කළ හැකි විය. යුරෝපා සංගමයෙහි කොටසක් ලෙස විවිධ ආර්ථික ගිවිසුම්වලට බ්‍රිතාන්‍යය ඇතුළු වූයේ ය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ නම් මේ කාරණාවලට එය බලපාන හෙයින් ඒ පිළිබඳ එකඟතාවක් ගොඩනඟා ගැනීම වැදගත් ය.

යම් හෙයකින් මේ පිළිබඳ එකඟතාවක් ඇති නොවුණහොත්, බ්‍රිතාන්‍යය ජාත්‍යන්තර වෙළෙඳාම කළ යුත්තේ ලෝක වෙළෙඳ සංවිධානයේ නීති අනුව ය. ඒ අනුව ඇතැම් භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමට සිදු වනු ඇත. තව ද යුරෝපා සංගමයේ රටවලට විශේෂයෙන් සැලකීමේ හැකියාවක් ද නැත.

මෙහිදී ප්‍රශ්නයක් පැන නඟී. එනම් අයර්ලන්ත දේශසීමාවේ ප්‍රශ්නය යි. බ්‍රෙක්සිට් සිදු වූ පසු අයර්ලන්තය සහ උතුරු අයර්ලන්තය අතර දේශ සීමාව, ගොඩබිම ඔස්සේ එක්සත් රාජධානිය සහ යුරෝපය අතර ගොඩබිමින් වන එකම දේශසීමාව වනු ඇත. මෙහි දේශසීමා 1990 දශකයේ අග භාගයේ දී උතුරු අයර්ලන්ත සාම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් පසු විවෘත කරන ලදී. යළිත් එම දේශසීමාවෙහි මුරපළවල් ස්ථාපිත කිරීමට තමන් සහය නොදක්වන බව අයර්ලන්තය පවසයි. මේ අනුව එහි විවෘත දේශසීමාව දිගටම පැවතිය යුතු යයි යෝජනාවක් වේ. නමුත් ලෝක වෙළෙඳ සංවිධාන නීති අනුව එක් රටකට විශේෂ වාසි සැලසිය නොහැකි බැවින්, අනෙකුත් රටවලට ද එවන් සහනයක් ලබාදීමට අවශ්‍ය තත්ත්වයක් නිල වශයෙන් හටගනී.

බ්‍රිතාන්‍යයට අවශ්‍ය නම් ලෝක වෙළෙඳ සංවිධානයේ නියම නොසලකා හැරීමට ඉඩ කඩ ඇත. නමුත් යම් රටක් ඊට විරෝධය පෑවහොත් ඒ පිළිබඳ විමර්ශනයක් කෙරෙනු ඇත. නමුත් එවැන්නක් සිදු වීමට යම් කාලයක් ගත වනු ඇත.

ඊට වඩා ආසන්න ගැටලුව වන්නේ බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර මෙතෙක් තීරුබදු රහිතව කරන ලද වෙළෙඳාම කවරාකාරයෙන් සිදු වන්නේ ද යන්න සහ යුරෝපා සංගාමය හා වෙනත් රටවල් අතර ඇති ආර්ථික ගිවිසුම්වලින් බ්‍රිතාන්‍යය ඉවත් වීම බ්‍රිතාන්‍යයට කෙසේ බලපානු ඇති ද යන්නයි. බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළෙඳාමෙන් අඩක් පමණ සිදු වන්නේ යුරෝපා සංගමයේ අනෙකුත් රටවල් සමග ය.

දෙවන ජනමත විචාරණයක්

තෙරේසා මේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පරාජය වීමත් සමග විකල්ප යෝජනාවලියක් ඉදිරිපත් කිරීම පිළිබඳ කරුණු ඉදිරිපත් වෙමින් පවතී. මේ සඳහා යෝජනා ඉදිරිපත් කළ ප්‍රධාන කණ්ඩායම වන්නේ කම්කරු පක්ෂය යි. ජෙරමි කෝර්බින් බලාපොරොත්තු වූයේ තෙරේසා මේගේ රජය විශ්වාසභංගයකින් පරාජය කර, මහ මැතිවරණයක් කැඳවන තත්ත්වයට පත් කර, එයින් කම්කරු පක්ෂ පාලනයක් පිහිටුවා, එම පාලනය යටතේ තම යෝජනාවලියකට අනුව බ්‍රෙක්සිට් සිදු කිරීම ය. නමුත් එම උත්සාහය විශ්වාසභංග යෝජනාවෙන් තෙරේසා මේ ජයගැනීමත් සමග අසාර්ථක විය.

මේ අනුව දේශපාලන වේදිකාවේ ඉතිරිව පවතින අනෙක් විකල්පය ජනමත විචාරණයකි. කම්කරු පක්ෂයේම පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ද, ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂය ද වෙනත් පක්ෂ කිහිපයක් ද එවැන්නක් සඳහා සහය දෙන තත්ත්වයක සිටිති. මේ පිරිසගේ බලාපොරොත්තුව දෙවන බ්‍රෙක්සිට් ජනමත විචාරණයක දී ජනතාව එම යෝජනාව පරාජය කරනු ඇති බවයි.

යුරෝපා අධිකරණය විසින් නොබෝදා ප්‍රකාශ කළේ බ්‍රෙක්සිට් සිදු වන්නේ ද නැද්ද යන්න බ්‍රිතාන්‍යයට තීරණය කළ හැකි බව ය. දෙවන ජනමත විචාරණයක් සඳහා ඉල්ලීම් කරන පිරිසගේ අදහස වන්නේ බ්‍රෙක්සිට් විවාදය හේතුවෙන් ඇතිව පවතින ව්‍යාකූල තත්ත්වය හමුවේ ජනතාව එයට විරුද්ධ වනු ඇතැයි යන්න ය. නමුත් මෙය නිශ්චිත කරුණක් නොවන අතර නැවත බ්‍රෙක්සිට් යෝජනාව ජනතාවසම්මත කිරීමේ ද ඉඩ ඇත. විශ්වාසභංග යෝජනාවෙන් ජයගැනීමත් සමග තෙරේසා මේ වඩා ශක්තිමත් තත්ත්වයක සිටියි. ඇයට අවශ්‍ය නම් නව මැතිවරණයක් කැඳවිය හැකිය.

නොහිතන පිම්මක්?

බ්‍රිතාන්‍ය නීතිය අනුව මහ මැතිවරණයක් පාර්ලිමේන්තුවේ ධුර කාලය ඉක්මවීමට පෙර කැඳවීමට තුනෙන් දෙකක මන්ත්‍රීන් ගේ අනුමැතිය අවශ්‍ය වේ. නමුත් මැතිවරණයක් කැඳවීමට කම්කරු පක්ෂය ද එරෙහි නොවන්නේ ය. මන්ද, කම්කරු පක්ෂය එය ජයග්‍රහණය කර තම අභිලාෂය අනුව බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බැවිනි. නමුත් තෙරේසා මේ, දැන් වඩා ශක්තිමත් ස්ථානයක සිටින බැවින් ඇයට ද මැතිවරණයක් ජය ගැනීමේ හැකියාව ඇත. නමුත් එවැන්නකින් වාසියක් ලැබීමට නම්, ඇගේ පක්ෂය තුළ ඇගේ බ්‍රෙක්සිට් යෝජනාවට විපක්ෂ මන්ත්‍රීන් දිනාගැනීමට ඇයට හැකියාව තිබිය යුතු ය.

නමුත් මැතිවරණයක් අවදානම් සහගත ක්‍රියාවකි. එයින් කම්කරු පක්ෂය ජයගැනීමට වුව ද ඉඩ ඇත. එහෙයින් තෙරේසා මේ, එවැන්නක් කරා යනු ඇතැයි සිතිය නොහැකිය. විශ්වාසභංගය ජයගත් පසු ද ඇය කියා සිටියේ සියලු මන්ත්‍රීන් එක්ව බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට කටයුතු කළ යුතු බව ය.

තෙරේසා මේ තම යෝජනාවලිය වෙනස් කිරීමට සූදානම් බවක් නොපෙනෙන හෙයින්, දැනට පවතින තත්ත්වය අනුව, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තවත් අවුලක් බවට පත්වේය යන්න පමණක් පැහැදිලි වේ.

 

Comments