මුරලි - වෝන් ටෙස්ට් ජයග්‍රහණයක් සොයා යන පරාජිතයෝ | Page 2 | සිළුමිණ

මුරලි - වෝන් ටෙස්ට් ජයග්‍රහණයක් සොයා යන පරාජිතයෝ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නව වසර ඇරඹුවේ නවසීලන්තය හෙවත් කිවි දේශයේ දීය. ඒ මෙම වසරේ ඔවුන් තරග කිරීමට නියමිත අභියෝගාත්මක තරග සංචාරයන් ත්‍රිත්වයෙන් පළමුවැන්නට සහභාගි වෙමිනි. එම සංචාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නිමා කළේ කිසිදු ජයග්‍රහණයක් අත්කර ගැනීමට නොහැකිවයි. මේ වන විට ඔවුන් නවසීලන්තයේ අසල්වැසි ඔස්ට්‍රේලියාව හෙවත් කැන්ගරු දේශයට ගොස් සිටිති. ඒ දෙවන අභියෝගාත්මක තරග සංචාරය සඳහාය. මීට අයත් වන්නේ ටෙස්ට් තරග දෙකක් පමණකි.

ඒ අනුව පළමු තරගය ජනවාරි 24 - 28 දක්වා බ්‍රිස්බේන් ක්‍රිකට් හෙවත් ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එය දිවා රාත්‍රී ටෙස්ට් තරගයකි. දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි 01 - 05 දක්වා ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නුවර පිහිටි මානුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම මානුකා ඕවල් ක්‍රීඩාංගණයේ දී ප්‍රථම වරට එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වූයේ 1992 වසරේදීය. එසේ වුවත් තවමත් මෙහි ටෙස්ට් තරගයක් පවත්වා නැත. ඒ අනුව මෙහි මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව තරග කරනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගමාලා පැවැත්වෙන්නේ මුරලි - වෝන් කුසලානය වෙනුවෙනි. එහි වත්මන් හිමිකරුවෝ වන්නේ ශ්‍රී ලංකාවයි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභි පන්දු යවන්නන් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඔස‍්ට්‍රේලියාවේ ෂේන් වෝන්ය. ඔවුනට උපහාරයක් වශයෙන් දෙරට අතර ටෙස්ට් තරග සඳහා පිරිනමන කුසලානය මුරලි - වෝන් ලෙසට නම් කර තිබේ. 34 හැවිරිදි ටිම් පේන් සහ 29 හැවිරිදි දිනේෂ් චන්දිමාල් මෙවර තරගමාලාවේ දෙරටේ නායකයෝ වෙති. ඔවුන් මෙම තරගමාලාවට සහභාගි වන්නේ අවසන් වරට තරග කළ ටෙස්ට් තරගමාලා පරාජය වීමෙනි.

සමස්තයක් ලෙස ගත් විට මෙම දෙරට ම ඔවුන් සහභාගි වූ අවසන් ටෙස්ට් තරගමාලා දෙක ම පරාජයට පත් වී තිබේ. ඔස්ට්‍රේලියාව ගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගමාලාවකට සහභාගි වූයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදීය. තරග දෙකකින් සමන්විත එහි ජයග්‍රහණය 1 - 0 ක් ලෙසට පාකිස්තානයටයි. විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති තරගමාලාව 3 - 1 ක් ලෙසින් ඔස්ට්‍රේලියාව පරාජය විය. එය ඉතිහාසගත පරාජයකි. එනම් ආසියානු කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ දී ටෙස්ට් තරගමාලාවක් ජය ගත් ප්‍රථම වතාව එය වන බැවිනි.

ශ්‍රී ලංකාව නවසීලන්ත සංචාරයට පෙර ටෙස්ට් තරග මාලාවකට සහභාගි වූයේ එංගලන්තයට එරෙහිවයි. සිය ‍රටේදීම පැවැතියත් තරග 3 - 0 ක් ලෙස සම්පූර්ණයෙන් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු වූයේය.

එවැනි වාතාවරණයක් තුළදී මෙවර ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගමාලාව පැවැත්වේ. එහි ජයග්‍රහණය දෙරටට ම වැදගත් වන්නේත් ඒ නිසාමයි.

සිය ටෙස්ට් තරග ඉතිහාසය තුළදී ශ්‍රී ලංකාවට තවමත් ටෙස්ට් තරගයක් ජය ගැනීමට නොහැකි වී තිබෙන්නේ දෙරටකදී පමණකි. ඒ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාවේදීය. ටෙස්ට් පවුලේ නවතම සාමාජිකයන් වන අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රීඩා කර නැත.

ඔස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට ටෙස්ට් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක් උදා වී තිබේ. ඒ ඔස්ට්‍රේලියාව පසුගිය කාලයේදී පරාජයන් රැසකට ලක් වූ බැවිනි. ඒ සඳහා ඔවුන්ගේ දුර්වල පිතිහරඹය විශාල ලෙස බලපෑවේය. පිතිහරඹ අංශය දුර්වල වූයේ ඔවුනගේ සුපිරිතම පිතිකරුවන් යුගලය වන හිටපු නායක ස්ටීව් ස්මිත් සහ හිටපු උපනායක ඩේවිඩ් වෝනර්ට වසරක අන්තර්ජාතික තරග තහනමක් පනවා තිබෙන බැවිනි.

ස්මිත් (උපත 1989 ජුනි 02) සහ වෝනර් (උපත 1986 ඔක්තෝබර් 27) එසේ තහනමකට ලක් වූයේ ගිය වසරේ මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගයකදීය. ඒ පන්දුව කඩතොළු කිරීමට සම්බන්ධ වූ නිසාය.

මේ නිසාම නව නායකයෙක් පත් කිරීමට ඔස්ට්‍රේලියාවට සිදු විය. ඒ අනුව එරටේ 46 වැනි ටෙස්ට් නායකයා ලෙසට ටිම් පේන් තෝරා ගත්තේය. ඔහුට එක්දින නායකත්වයත් ලැබුණි. එහෙත් එංගලන්තය හමුවේ සම්පූර්ණ තරගමාලාවක් 5 - 0 ක් වශයෙන් පරාජයට පත් වූ විට පේන්ට එක්දින නායකත්වය අහිමි විය. එරොන් ෆින්ච් (උපත 1986 නොවැම්බර් 17) හට එහි වගකීම පැවරිණි.

තිමොති ‘ටිම්’ ඩේවිඩ් පේන් මේ වන විට ටෙස්ට් තරග 07 කදී ඔස්ට්‍රේලියාව මෙහෙයවන ලදි. එහිදී ජයග්‍රහණයකි. පරාජයන් හතරකි. ජය පැරදුමක් නැති තරග දෙකකි. දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග 15 කදී ශ්‍රී ලංකාවේ නායකයාය. ජයග්‍රහණ හතරකි. පරාජයන් හයකි. ජය පැරදු‍මක් නැති තරග පහකි.

දෙරට අතර ටෙස්ට් තරග 1983 සිට 2016 දක්වා පවත්වා තිබේ. ඒ අනුව සමස්ත තරග 29 කි. ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණ 17 කි. ශ්‍රී ලංකාව ජය 04 කි. ජය පැරදුමක් නැති තරග 08 කි.

ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග මාලාවකට සහභාගි වූයේ 2012 - 13 තරග වාරයේදීය. එහිදී සම්පූර්ණ තරගමාලා ජය ඔස්ට්‍රේලියාවටයි. ඒ 3 - 0 කින්ය. දෙරට අවසන් වරට ටෙස්ට් තරගමාලාවකට 2016 දී සහභාගි වූයේ ශ්‍රී ලංකාවේදීය. එහිදීත් තරග 03 ක් පැවැත්විණි. ශ්‍රී ලංකාවට සම්පූර්ණ තරගමාලා ජයග්‍රහණයකි.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය

ටිම් පේන් (නායක), ජොෂ් හේපල්වුඩ් (උපනායක), ජෝ බර්න්ස්, ෂැට් කමින්ස්, මාර්කස් හැරිස්, ට්‍රාවිස් හෙඩ්, උස්මන් කවාජා, මාර්නුස් ලබුෂා‍න්, නේතන් ලයන්, විල් පුකොව්ස්කි, මැට් රෙන්ෂෝ, පීටර් සිඩල්, මිචෙල් ස්ටාර්ක්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), දුෂ්මන්ත චමීර, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න.

Comments