සේනා නසන්න 50%ක කෘමිනාශක සහනාධාරයක් | Page 4 | සිළුමිණ

සේනා නසන්න 50%ක කෘමිනාශක සහනාධාරයක්

“සේනා” නැමැති දළඹු විශේෂය මේවනවිට බඩඉරිඟුවලට පමණක් නොව උක් ඇතුළු තවත් බෝග වර්ග කිහිපයකට හානි කරමින් ව්‍යාප්ත වන බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කළේය.
 
සේනා දළඹුවා විසින් බඩඉරිඟු වගාවන්ට සිදු කර ඇති හානිය සොයා බැලීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන්, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එම් .වීරකෝන් මහත්වරු ඇතුළු පිරිසක් පසුගිය සෙනසුරාදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චායාදූව අවට වගා බිම් රැසක් නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වූහ.
 
සේනා දළඹුවා ඉතාමත් බරපතළ ලෙස බඩඉරිඟු වගාවට හානිකර තිබූ අතර ගොවීන් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ කෙසේ හෝ සේනා දළඹුවා මර්දනය කර තම වගාවන් ආරක්ෂා කර දීමට පියවර ගන්නා ලෙසයි.
 
ගොවීන් ඇමතූ අමාත්‍යවරයා සේනා දළඹුවන් සහ කීටයින් විනාශ කිරීම සඳහා අස්වනු නෙලාගත් වහාම බඩඉරිඟු ගස් කපා ගිනි තබා විනාශ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.මෙම දළඹුවාගේ ව්‍යාප්තිය සිදුවන්නේ සලබ (Moth) අවස්ථාවේ වන බැවින් දළඹුවන් සලබ අවස්ථාවට පත්වීම වළක්වාලීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
මේ අතර අමාත්‍යාංශය විසින් සේනා දළඹුවා මර්දනය සඳහා කෘමිනාශක 04ක් හඳුන්වා දී ඇති බවත්, කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාර ලබා දීමට රු.මි 50ක මුදලක් වෙන්කර ඇතැයි ද , සේනා මර්දනයට විකල්ප වැඩපිළිවෙලක් වශයෙන් සලබයින් අල්ලා ගැනීම සඳහා විශේෂ ඇටවුමක් (උගුලක්) ද හඳුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘමිනාශක ඉසීම අත්හදා බැලූ අතර එය සාර්ථක වන ලකුණු පහළ වී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

Comments