
යුගයේ අවශ්‍යතාව අනුව අදාළ ව්‍යුහයන් යාවත්කාලීන වීම දියුණු වන රටවල ස්වභාවයයි. එය සමාජ, ආර්ථික හා දේශපාලනික ලෙස හඳුනා ගත්ත ද සෘජුව බලපෑම් කරනු ලබන්නේ එරට පාලන තන්ත්‍රයටයි. එසේ නම් වෙනස් විය යුතු හෝ වැඩි දියුණු විය යුතු ක්ෂේත්‍රයන් හඳුනාගැනීමේ මූලික වගකීම පාලන තන්ත්‍රය සතුය. යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදවලට නව විෂය පථයන් හඳුන්වා දීමෙන් දියුණු යැයි සම්මත බොහෝ රටවල සමාජ පදනම ශක්තිමත් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ය.
එතැනදී ස්වීඩනය සිටින්නේ යුරෝපයේ අනෙකුත් රටවලට ඉදිරියෙනි. නිරන්තරයෙන් අධ්‍යාපන ක්‍රමවේද යාවත්කාලීන කිරීම ස්වීඩනයේ ප්‍රමුඛතම ක්‍රියාමාර්ගයකි. ඒ අනුව විෂය නිර්දේශයට නව අංග ඇතුළත් කිරීමටත්, ප්‍රායෝගික නොවේ යැයි තීරණය කළ හැකි අංග ඉවත් කිරීමටත් බලධරයෝ පසුබට නොවෙති.
#MeToo movement ස්වීඩනයේ විෂය නිර්දේශයට එලෙස එක් වූ නවතම පාඩම් මාලාවයි. ඒ අනුව ස්වීඩනයේ පාසල් තුළ වයස අවුරුදු 15 සපුරන සිසුන් සඳහා ලිංගික අතවරයන්ට එරෙහි ගෝලීය ව්‍යාපාරය පිළිබඳව පැය දෙකක පාඩමක් ඇතුළත් කර තිබේ.
එය සැබැවින්ම නූතන ලෝකය තුළ ලිංගික අධ්‍යාපනය ලබාදීම තව දුරටත් පුළුල් කිරීමකි. මෙම පාඩම් මාලාව සකස් කිරීමේ යෙදුණ ෆෝකන්බර්ග් හි ටල්බ්‍රොස්කොලන් පාසලේ ගුරුවරුන් පවසන්නේ ඒ වන විටත් පාසැල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කර තිබීම නව පාඩම් මාලාව ඇතුළත් කිරීමේ දී වාසියක් වූ බවයි. එසේම බොහෝ සිසුන් #MeToo movement පිළිබඳව යම් ප්‍රමාණයක දැනුවත් වීමක් සහිතව සිටින බව අවබෝධ වූ බව ද ඔවුන් පවසයි.
කෙසේ වුවත් #MeToo movement පාඩමේ දී ගැහැනු හා පිරිමි ලෙස දරුවන් වෙන් කිරීම සුදුසුම ක්‍රමවේදයදැයි ඔවුහු සැක කරති. එහිදී පිරිමි දරුවන්ට පිරිමි ගුරුවරුන් ද ගැහැනු දරුවන්ට ගැහැනු ගුරුවරුන් ද යෙදීමට කටයුතු යොදා ඇත. ස්ත්‍රී පුර්ෂ සමානාත්මතාව ඉහළින් අගය කරන සමාජයක මෙසේ බෙදීමක් ඇති කිරීම පිළිබඳව ඔවුන් අදහස් දක්වන්නේ " විවෘතව අදහස් හුවමාරු කරගැනීමේ පියවරක්" ලෙසිනි. එසේම විශේෂයෙන් ලිංගික අතවරයන් හිදී බොහෝ විට චෝදනාවන්ට ලක් වන්නේ පුර්ෂ පාර්ශ්වය බැවින් ඔවුන් වෙන් කර කතා කිරීම ප්‍රායෝගික බව ඔවුන්ගේ අදහසයි.
පාඩම් මාලාවට සම්බන්ධ වන සිසුන්ගෙන් ලැබෙන්නේ සැබැවින්ම ධනාත්මක ප්‍රතිචාරයන්ය. " ලිංගික අතවර" යන්න මෙතරම් විශාල දෙයක් බව නොදැන සිටි බව ඔවුහු පවසති. එසේම එයින් කොතරම් පිරිසක් පීඩාවට පත් වනවාදැයි ඔවුන් මෙතෙක් දැන නොසිටි බව ද මෙහිදී අනාවරණය විය.
එසේම පාසලේ දී පවා සිදු වූ යම් සිදුවීම් ලිංගික අතවර බව ඔවුන් හඳුනා ගෙන නැති බව මෙම පාඩම් මාලාවෙන් අවබෝධ කරගත් දේ අතර වේ. තවත් අවස්ථාවක ඊට මුහුණ දීම, ප්‍රතිචාර දැක්වීම කෙසේ විය යුතු දැයි නොදැන නිහඬ වීම ඊට අනුබල දීමක් බව සිසුන් වටහා ගන්නේ එමඟිනි.
මෙය පාසලට පමණක් සීමා නොවිය යුතු බව ගුරු- සිසු දෙපාර්ශ්වයේම ඒකමතික අදහසයි. ඒ අනුව #MeToo movement සමාජගත කිරීමට දිගු කාලයක් ගත නොවනු ඇති බව ඔවුන් විශ්වාස කරයි. නමුත් නිවැරැදි ලෙස දැනුම හුවමාරු කරගැනීමට ප්‍රවේසම් විය යුතු අතර වගකීමෙන් එය බෙදා හදා ගත යුතු බව ඔවුහු විශ්වාස කරති. එසේ නොවන්නට සමාජය තුළ බොහෝ ගැටුම් හා වැරැදි අවබෝධ ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇත.
ලොව හතර අත වෙසෙන කාන්තාවන් ලිංගික හිංසනයට ලක් වන්නේ තැනක් නොතැනක්, තරාතිරමක් නැතිවය. එය සේවා ස්ථානයේ දී, මහමග දී, පොදු ප්‍රවාහන සේවාවල දී මෙන්ම ඇතැම් විට සිය නිවසේදී ද විය හැකිය.
අප හිතන්නේ මේ තත්ත්වය වැඩියෙන්ම පවතින්නේ නොදියුණු රටවල් කියාය. අඩු ආදායම් ලබන සුළු රැකියාවල නියුතු වූවන් අතර කියාය. නමුත් මේ වන විට එය සාවද්‍ය මතයක් බවට පත් කරමින් සංවර්ධිත රටවල ප්‍රසිද්ධ හා ඉහළ තනතුරු දරන කාන්තාවෝ සිය හඬ අවදි කළහ. #MeToo movement ප්‍රචලිත වන්නේ එතැනනි. ඒ හඬ එක් අයකුගේ හෝ දෙදෙනකු ගේ නොව, ලිංගික හිංසනයට ලක් වන ලොව පුරා කාන්තා පරපුරේම ය. සත්‍ය වෙනුවට එතැන පවතින්නේ නිශ්ශබ්දතාව නම් නිහඬතාව බොරුවක් බව රුසියානු ලේඛක ( Yevgeny Yevtushenco) යෙව්ජෙනි යෙව්ටෂෙන්කො පැවසුවේ අපට යැයි සිතූ ඔවුන් නිහඬතාව බිඳ දැමීය.
ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන මාලාවක් සම්බන්ධයෙන් හොලිවුඩයේ බලගතු නිෂ්පාදක හාවි වයින්ස්ටීන්ට බරපතළ චෝදනා එල්ල වන්නේ ඒ හඬ අවදි වීමත් සමඟය. ඒ හඬින් සන්නද්ධ වූ ලක්ෂ ගණන් කාන්තාවෝ තමන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික අතවර හෙළිදරව් කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබීය. ඒ #MeToo හෑෂ් ටෑගය යටතේය. මෙහි අසන්නට ලැබෙන ඔවුන්ගේ කටුක අත්දැකීම් සැබැවින්ම ශෝචනීය විය.
තරාතිරමක් නැතිව ලිංගික හිංසනයට ලක් වූ ඔවුන් ලද අවස්ථාවේ දී තම තරාතිරම නොබලාම සිය අමිහිරි මතකය සිහිපත් කරයි. හාවි වයින්ස්ටීන් සම්බන්ධ හොලිවුඩ් පුරවරයේ ලිංගික හිංසන ආන්දෝලනයත් සමඟම බලගතු පුරුෂයන්ගේ අධිපතිවාදී හැසිරීම ගැන මෙන්ම පිළිගත හැකි සහ පිළිගත නොහැකි හැසිරීම් කවරක් දැයි යන්න පිළිබඳව පුළුල් සංවාදයක් මතු වී තිබෙන බවත් ඇය පෙන්වා දෙයි.
ලිංගික හිංසනයක් කළ බව සැලකෙන්නේ ඔහු ඔබේ ශරීරය ස්පර්ශ කළේ නම් පමණක් ද? ඒ පුද්ගලයා ඔබේ මිතුරෙකු නම් එවිට මතු වෙන තත්ත්වය කුමක්ද? එවිට එහි අවසානය කවරක්ද? - බොහෝ දෙනාට පැනනඟින ප්‍රශ්නයි.
තවත් අයුරකින් තමන් ලිංගික හිංසනයට ලක් වන බව නොදැන, එහෙත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ලක් වන බව වත්මන් කාන්තාව නොදනී. ඒ අන්තර්ජාලය ඔස්සේය. සයිබර් බුලින් වත්මන් කාන්තාව මුහුණ දෙන බරපතළම ලිංගික හිංසනයයි. එසේම පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක් වීම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව පසුගියදා අනාවරණය විය.
මහමඟ දී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන සහ අත්දැකීම් වාර්තාකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පිනී එලීසා හැච් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් හඬ අවදි කරන්නීය. එවන් අත්දැකීම් සහිත කාන්තාවන් ඇයගේ කැමරා කාචයට හසු කර ගනිමින් ඇය "චියර් අප් ලව්" ඡායාරූප මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රබල ව්‍යාපෘතිය දියත් කරන්නීය.
මේ අතර විරාලි මෝදි ලිංගික අතවරවලට ලක් වන ආබාධිත කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම ඔවුන් සඳහා වන පහසුකම් වෙනුවෙන් ද සිය හඬ අවදි කරයි. ඉන්දියාවේ දුම්රියකට ඇතුළු වීම සඳහා දුම්රිය සේවකයන්ගේ සහාය පැතූ ඇය ලිංගික හිංසනයට ලක් වූවාය.
"මුම්බායි නගරයේ දුම්රිය ස්ථානයක දී මාව හිංසනයට ලක්වුණා. අවස්ථා තුනක දී දුම්රිය සේවකයන් මා අයුතු ලෙස ස්පර්ශ කළා.
දුම්රියට මාව උස්සා තබන්න සේවකයන් දෙදෙනෙකුගේ සහාය ලබා ගන්න මට සිදු වුණා. ඒ වෙලාවේ එක් සේවකයෙක් මගේ පසුපසින් අල්ලලා මගේ පපුව වටේ අත දාලා පහස ලබන්න උත්සාහ කළා" යැයි විරාලි සිය අසහනකාරී අත්දැකීම හෙළිදරව් කරන්නීය.
තමන් වැනි ආබාධිත කාන්තාවන් සහ තම ප්‍රජාව වෙනුවෙන් ඇති පහසුකම් ඉහළ නැංවීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ඇය පෙලඹෙන්නේ එම සිදුවීමෙන් ලද අමිහිරි අත්දැකීමෙන් ලද පන්නරයෙනි.
"මට වටිනාකමක් නැහැ කියලා ඒ වෙලාවේ දැනුණා. මට විතරක් නෙවෙයි, ඉන්දියාවේ වෙසෙන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් හඬක්, වටිනාකමක් නැහැ කියලා මට දැනුණා"
විරාලි මෝදි 2014 වසරේ ඉන්දියාවේ පැවති ආබාධිත රූ රැජන තරගයේ දෙවන ස්ථානය දිනා ගත් තැනැත්තියයි.
බ්‍රිතාන්‍ය ප්‍රවාහන සේවාවන් හිදී ලිංගික අතවරවලට ලක් වන කාන්තාවන් සංඛ්‍යාව 2016- 2017 අතර කාලය තුළ පමණක් 1448 ක් බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ සංඛ්‍යා ලේඛනවල දැක්වේ. සාදයක් අවසානයේ යළි සිය නිවෙස වෙත යෑම පිණිස දුම්රියට නැඟුණු තරුණියකට එම දුම්රියේදී තරුණයන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කළ අවස්ථාවක් පිළිබඳව මෑතදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
ඇමෙරිකාවට, බ්‍රිතාන්‍යට, ඉන්දියාවට පමණක් නොව මෙය අද ලොව පුරා පොදු ලක්ෂණය වී ඇති බව එක්සත් ජාතීන් ද අවධාරණය කරයි.
මේ සියල්ල අතර ශ්‍රී ලංකාවේ අපි "ලිංගික අධ්‍යාපනය" පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා තවමත් කල් යල් බලමින් සිටිමු