බංග්ලාදේශය බියකරු අනාගතයක් අබියස | සිළුමිණ

බංග්ලාදේශය බියකරු අනාගතයක් අබියස

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වෙන මැතිවරණයකින් ජය ලැබීමට කෙතරම් අපහසුදැයි දේශපාලන නායකයන් හොඳින් දන්නවා ඇත. එහෙත් වඩා අපහසු වන්නේ එලෙස ජය ලැබීම නොව දීර්ඝ කාලීනව බලයේ රැඳී සිටීමය. මන්දයත් ඒ සඳහා බොහෝ අකටයුතුකම් කිරිමට සිදු වන බැවිනි.

බංග්ලාදේශයේ දීර්ඝ කාලීන නායිකාව වන ශෙයික් හසීනා පසුගිය දෙසැම්බර් 30 වැනි දා පැවති මැතිවරණයෙන් අපූරු ජයක් වාර්තා කළාය. සැබවින්ම එය තනිපුද්ගල හෝ තනි පක්ෂ තරගවැදීමක් ලෙස සැලකිය හැකි අන්දමේ ජයකි. ඒ අනුව බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 300න් 288ක් දිනාගැනීමට ඇයගේ අවාමි ලීගයට හැකියාව ලැබී තිබිණි. විපක්ෂය නාය ගොස් තිබිණි.

ඒ අනුව බංග්ලාදේශයට සවිමත් රජයක් යටතේ ස්ථිර අනාගතයක් සඳහා අඩිතාලම දමාගත හැකි වනු ඇතැයි ඇතැමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් සැබෑ වන්නේ බංග්ලාදේශය ඉතා අවදානම් අනාගතයක් අබියස සිටීමය.

2009 වසරේ දී බලයට පැමිණි ශෙයික් හසීනා යනු බංග්ලදේශ තට්ටු මාරු දේශපාලනයේ හිසේ අමාරුවට මාරු කරන කොට්ට දෙකින් එකකි. මේ වන විට අනෙක් කොට්ටය හිරේය. ඇය කලීඩා ශියාය. වැන්දඹු හෝ දූ දරු දේශපාලනය සුලබ වන දකුණු ආසියාවේ එය මහ ඉහළින් පවත්වාගෙන යන බංග්ලාදේශයට මේ දෙදෙනා හැර වෙනත් නායකයකු හෝ දේශපාලන පක්ෂයක් සහිත අනාගතයක් අවශ්‍ය නැතිවා මෙන්ය.

මීට පෙර 1996 සිට 2001 දක්වා එරට පාලනය කළ ශෙයික් හසීනා බලයෙන් පහ කරණු ලැබුයේ කලීඩා ශියාගේ විපක්ෂය ශක්තිමත් ලෙස මැතිවරණය ජයග්‍රහණය කළ හෙයිනි. එහෙත් 2009 දී යළි බලයට පැමිණි හසීනා පෙර වැරැදි හදාගනිමින් කලීඩා ශියාව සිරගත කළාය. එයින් පසු ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) නායකයා වූයේ 82 හැවිදිරි කමල් හොසේන්ය. ඔහුට බලයේ සිටිමින් බලය වෙනුවෙන් තරග වදින හසීනා සමඟ හැරෙන්නට හෝ හැකියාවක් ලැබුණේ නැත.

ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඔහු මේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන බව මාධ්‍යට පවසා සිටියේය. එපමණක් ද නොව මැතිවරණ දිනයේ දී රට පුරා සිදු වූ පුද්ගල ඝාතන 17 ද ඇතුළුව සියලු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ හෙළා දකින බව බටහිර බලවතුන් ප්‍රකාශ කර තිබිණි. ඒ අතරට අමෙරිකාව සහ යුරෝපා සංගමයේ සියලුම රටවල් ද අයත් විය. එහෙත් මේ හෙළාදැකීම් හසීනාට ගැටලුවක් වූ බවක් පෙනෙනන්ට නැත.

බලය අන්තනොමතික වීම රටකට සිදු විය හැකි විශාලතම හානිය වේ. පාලකයන් දීර්ඝකාලීනව බලය ග්‍රහණය කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම එම පාලකයන්ට රටේ ජනතාවට සිදු කළ හැකි විශාලතම හානිය වේ. මෙය බංග්ලාදේශයට ද පොදු කරුණක් වී ඇති බව දැන් පැහැදිලිය.

මේ වන විට බංග්ලාදේශය ඇඟලුම් අපනයනයෙන් විශාල ප්‍රගතියක් අත් කරගෙන සිටී. එහි ඇඟලුම් අපනයනය විශාලත්වයෙන් දෙවැනි වන්නේ චීනයට පමණි. ඇතැම් විට මෙය හසීනාගේ ජයග්‍රහණයක් ද විය හැකිය. එහෙත් එසේ වූ පමණින් ලෙයින් සහ වංචාවෙන් දිනා ගන්නා මැතිවරණ ජයග්‍රහණයකින් පසු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු බිහි වූවා යැයි උදම් අනන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය. එසේ නැතහොත් මැතිවරණ පැවත්වීම අවංලගු කර ප්‍රසිද්ධ ඒකාධිපති පාලනයකට යා යුතුය. මැතිවරණ කැඳවා එහි දී විරුද්ධව නැඟෙන මත අවියෙන් නිහඬ කර ජයග්‍රහණය ප්‍රකාශ කිරීම අනවශ්‍යය.

දැන් දශකයකට ආසන්න කාලයක් බංග්ලාදේශය පාලනය කළ හසීනාට දැවැන්ත බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් ද තිබේ. දැන් ඇයට සැබවින්ම ඇවැසි දේ ක්‍රියාත්මක කළ හැකිය. බංග්ලාදේශය සැබෑම භයානක අනාගතයක් අබියස සිටිනවා යැයි පැවසුවේ එබැවිනි. එහි භයංකාරීත්වය කෙසේදැයි අනාගතයේ දී බලාගත හැකි වනු ඇත.

Comments