
මවුපියන්ගේ අඩිපාරේ යමින් ඔවුන්ගේ වෘත්තිය ම තෝරා ගන්නා දරුවන් කොතෙකුත් දැකිය හැකිය. එය සෑම ක්ෂේත්‍රයකම දැකිය හැකි පොදු ලක්ෂණයක් වන අතර කලා ක්ෂේත්‍රයේ බහුලව දැකිය හැකි ලක්ෂණයකි. කලාවේ නියැළෙන තම මව හෝ පියාගේ අඩිපාරේ යමින් කලාව තම වෘත්තීය කරගත් එවැනි කලාකරුවන් ගෙන් බොහොමයක් දෙනා දෙමවුපියන් හා උරෙන් උර ගැටි නිර්මාණකරණයෙහි නියැළෙයි. එවැනි තරුණ අධ්‍යක්ෂවරයකු ලෙස නිපුන මහර්ෂි වල්පිටගමගේ හැදින්විය හැකියි.
ඔහු ගුවන් විදුලි, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ, තිර රචක ලක්ෂ්මන් පුෂ්පකුමාර වල්පිටගම කලාකරුවාගේ ආදරණීය පුතණුවන්ය . තම පියාගේ අඩිපාරේ යමින් මනා වු දැක්මකින් කලාවේ දිගු ගමනක් යන්නට නිවැරදි උත්සාහයක යෙදෙන කලාකරුවෙකු ලෙසත් නිපුන හැඳින්විය හැකියි. මේ නිපුන සමග කළ කතා බහයි.
පළමුව ඔබව හඳුන්වා දුන්නොත්..
මම නිපුන මහර්ෂ වල්පිටගමගේ. මගේ පියා අසූව දශකයේදි වේදිකාවෙන් සහ ගුවන්විදුලියෙන් කලාවට අවතීර්ණ වු ලක්ෂ්මන් පුෂ්පකුමාර වල්පිටගම. අම්මා විශාරද නන්දා මාලනියගේ මිණිපිරියක වන ලසන්ති නාලිකා. ඇය විශාරද දක්වා සංගීතය හදාරා තිබෙනවා. හඬ කැවීම් ශිල්පිනියක ලෙසත් නිර්මාණ කිහිපයකට සම්බන්ධව වැඩ කළා. නංගි සෙනලි ගයාරා. මල්ලී සෙනිත් සත්විරු නාලන්දා විදුහලේ ඉගෙන ගන්නවා. ඔහු පසුගිය කාලයේ තිරගත වු ‘හෝ ගාන පොකුණ‘ සිනමා පටයේ ළමයින් දාහතර දෙනා අතර හිටියා. ඔහු ජනාධිපති සම්මානය දිනා ගෙන තිබෙනවා. බාලම නංගී නිසුනි සඳකිනි. ඇයත් පාසල් යනවා.
නිපුන කලාවට සම්බන්ධවන්නෙ කොහොමද?
මම පාසල් ගියේ කොළඹ අශෝක විදුහලට. පාසල් යන කාලයේ සිටම කලාවට සම්බන්ධ වී සිටියා. කොහොමත් අපේ ගෙදර අපි පුංචි කාලෙ සිටම දැක්කෙ කලාවට සම්බන්ධ සිදුවීම්. තාත්තා හමුවන්න නිතරම කලාකරුවන් එනවා යනවා. ඔවුන් අප සමග කතා කරනවා. චිත්‍රපට බැලීමට සිනමා ශාලාවට යනවා. ඒ වගේම තාත්තාගේ ලොකේෂන්වලට අපිව එක්කගෙන යනවා. ඔය වගේ සිදුවීම් නිසා කලාව අපට අමුතු දෙයක් වුණේ නෑ. මම 98 වසරේ සිට 2011 වනතුරු ගුවන්විදුලියේ ළමා පිටියට සම්බන්ධවී සිටියා. මහින්ද අල්ගම මහතා යටතේ හසිතා ගුණවර්ධන නැන්දා තමයි එවකට ළමා අංශය භාරව කටයුතු කළේ. ඔය කාලයේදි නාට්‍ය 2ක් රචනා කළා. ඒවා ගුවන්විදුලියේ විකාශය කෙරුණා. 2011 වසරේ උසස් පෙළ කරන තුරුම ළමා පිටියට සම්බන්ධව සිටියා. මහින්ද මාමා නැති වුණාට පසුව ගුවන් විදුලියෙන් අයින් වුණා. ඉන් පසුව තාත්තාගෙ නාට්‍යවල දෙවැනි සහාය අධ්‍යක්ෂවරයක් ලෙස වැඩ කළා.
ඒ වුණාට ඔබේ ආසාව වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමයි..
ඔව්. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමට ලොකු ආසාවක් තිබුණා. නමුත් මගේ පියා කැමැති වුණේ නැහැ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට. ඔහුගේ කැමැත්ත තිබුණේ මම කලාවට සම්බන්ධ වී ඔහු යන පාරේ ගමන් කරනවා දකින්නයි. අවසානයේ පියාගේ කැමැත්තට ඉඩ දී කලාවට සම්බන්ධ වුණා.
තාත්තා නිර්මාණකරුවෙක් වු පමණින්ම පුතාට එම වෘත්තිය කළ හැකි යැයි ඔබ සිතනවාද?
තාත්තා ටෙලි නාට්‍ය , චිත්‍රපට, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා, තිර පිටපත් ලිව්වා කියා දරුවන්ට ඒ විදිහටම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හොඳ අධ්‍යයනයක්කර හැදෑරීමක් කළොත් තාත්තාටත් එහා ගිය දෙයක් පුතාට කළ හැකියි කියා මා විශ්වාස කරනවා. මම දැනටත් කලාව ගැන අලුත් දේවල් හදාරනවා. ජාත්‍යන්තර සිනමාවේ නව නිර්මාණ රසවිඳිනවා. මේ වන විට හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට තුන්දහසක් පමණ නරඹා තිබෙනවා. ඊට අමතරව චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපටකරණය පිළිබඳව ඩිප්ලෝමාවක් කළා . ඊට අමතරව ග්‍රැෆික් ඉගෙන ගන්නවා. මේ වනවිට විනාඩි දහයක ෂෝර්ට් ෆිල්ම් එකක් කර තිබෙනවා. ඉදිරියේදි තවත් අලුත් ෂෝර්ට් පිලිම් එකක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
තාත්තාගේ කලා නිර්මාණ ගැනත් සිහිපත් කරමු නේද
තාත්තා අසුව දශකයේදි කලාවට පිවිස ‘ප්‍රසිද්ධ පාරක් නොවෙයි‘ ‘වට රවුම‘ ආදී වේදිකා නාට්‍ය කිහිපයක් කළා. ගුවන් විදුලි නාට්‍යකරුවෙක් ලෙසින් ‘මංකඩ වැල්ල‘ ‘වසන්ත චාරිකා‘ නාට්‍ය කළා. ඉන් පසුව තාත්තා ධීවර අමාත්‍යංශයේ සේවයෙන් ඉවත් වී දෙදහස වසරේ සිට පූර්ණ කාලීනව තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ කළා. මේ වන විට ‘හිම වරුසා‘ ‘සුදු හාමිනේ‘ ‘ නිසල ගින්දර‘ ‘ පිනි මුතු වැස්සේ‘ ‘හිරු සොයා‘ ‘ඉතින් ඊට පස්සේ‘ ආදී ටෙලි නාට්‍ය තිහක් පමණ තිරපිටපත් රචනාකර අධ්‍යක්ෂණයකර තිබෙනවා. වරක් තිර රචනයට ජනප්‍රියම සම්මානය ලබා ගත්තා. හොඳම අධ්‍යක්ෂණයට නිර්දේශ වී තිබෙනවා.
මොනවද මේ දවස්වල ඔබ කරන කලා නිර්මාණ...
‘ආදරය ගීතය‘ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා. එය ඉදිරියේදි විකාශය වීමට නියමිතයි. සියත නාළිකාවෙ විකාශය කෙරෙන ‘සඳ එළිය‘ ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය කෙරෙනවා. එය මේ වනවිටත් රූප ගත කෙරෙනවා.
ඔබ වැනි තරුණ අධ්‍යක්ෂවරයෙක්ට ප්‍රවීණ කලාකරුවන්ගෙන් ලැබෙන සහාය කෙබඳුද?
කියන්න සතුටුයි බොහෝ ප්‍රවීණයන් මා සමග වැඩ කරන්නේ ඉතාම සතුටෙන්. ඔවුන් පළමුව මම ගැන පොඩි චකිතයකින් හෝ පැමිණියත් අවසානයේ ඔවුන් මගේ නිර්මාණය අවසන්කර යන්නේ මම ගැන ඉතා පැහැදීමෙන් වගේම නැවතත් මගේ නිර්මාණයකට සම්බන්ධ වන ආසාවෙන්.
කවුද ඔබට මෙතරම් දුර එන්න අත දුන්නේ..
පළමුව මගේ දෙමවුපියන් වගේම මගේ පාසල් ගුරුවරු සහ ඥාතීන්. ඒ වගේම නිෂ්පාදකයකු සහ රංගන ශිල්පියෙක් වන ගාමිණි සෝමරත්න මහතා සිහිපත් කළ යුතුයි. එතුමා තමයි මගේ පියාට කිව්වේ බය නැතිව නිපුන දාලා ටෙලිනාට්‍යය කරවන්න. ඔයා තිර පිටපත ලියන්න කියලා. එතුමා නැත්නම් තවමත් මම තාත්තගෙ ඇසිස්ටන් ප්‍රොඩියුසර්. ඒ වගේම සඳ එළිය නිෂ්පාදක සුදත් ජයනාත් මහතාව සිහිපත් කරනවා. තව මට සහය දක්වන මිතුරන් පිරිසක් ඉන්නවා ඒ අයවත් ආදරයෙන් සිහිපත් කරනවා.
මොනවද නිපුනගෙ අනාගත බලාපොරොත්තු..
සිනමා කරුවකුට ජීවිතයේ ලබන්න තියෙන ඉහළම සම්මානය වන ඔස්කා සම්මානයක් දක්වා ලංකාවේ චිත්‍රපටයක් ගෙන යෑම. ඒ වගේම ඡායාරූප ශිල්පියෙක් ලෙස studio 10 පවත්වාගෙන යමින් හොඳ ඡායාරූප ශිල්පියෙක් ලෙස ඡායාරූපකරණයේ නිරතවීම.