
- මොරගහකන්ද ව්‍යාපෘතියේ තවත් මෙහෙවරක්
- පවුල් 3,000ක පුද්ගලයන් 10,000කට සියලු නවීන යටිතල පහසුකම්
- සම්පූර්ණ වියදම ලක්ෂ 45,000යි
- රජයේ ගොඩනැඟිලි 345යි
- අලුත් රෝහලට පමණක් වියදම ලක්ෂ 3,000යි
දැනට වසර 30කට පෙර මෙරට ඉදි වූ මෙරට විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූයේ යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. එයට ප්‍රධාන ලෙසම වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදි වූ අතර ඒ සමගාමීව උතුරු මැද හා උතුරු නැඟෙනහිර ප්‍රදේශවල අලුත් මහවැලි නගර හා ගම්මාන රැසක් ඉදි විණි. එදා තිබුණු මට්ටමේ පොදු පහසුකම් සියල්ල සමඟ වාරි ජලයද මේ ගම්මානවල ජනතාවට ලැබුණු අතර දැන් ඒ ගම්මානවල ජනතාව බතින්-බුලතින් ස්වයංපෝෂිත ඉඩම් හිමියන් බවටද ධනවතුන් බවටද පත්ව සිටිති.
එදා ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් ගාමිණී දිසානායක ඇමැතිතුමාත් ඒ මහවැලිය මහ ඉහළින් ඉදි කළ ගමන් මග ඔස්සේ යමින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ තවත් යෝධ මෙහෙවරක් ලෙස මොරගහකන්ද-කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කර ජනතා අයිතියට පත් කරමින් ඇත. එහි අතුරු-ඵලයක් ලෙස මහවැලි අධිකාරිය මඟින් මධ්‍යම පළාතට දැන් සියලු නවීන පහසුකම්වලින් යුත් නවීන නගරයක් ලබාදී ඇත. ඒ නව ලග්ගල මහ නගරයයි.
මහවැලි අධිකාරිය මඟින් වසර 30කට පසු ඉදි කළ අංගසම්පූර්ණ හරිත නගරයක් ලෙස මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියට අයත් නව ලග්ගල නගරය හැඳින්විය හැකිය. පැරණි ලග්ගල නගරයට කිලෝ මීටර් 6ක් දුරින් ඉදි වී ඇති මේ නගරයට රුපියල් ලක්ෂ 45,000ක් රජය වෙන් කර ඇත.
අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පවුල් 3,000ක සියලු පහසුකම් ඇති අක්කර 1.90ක් පුරා ඉදි කර ඇති මේ හරිත නගරය 8 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතා අයිතියට පැවරේ.
මොරගහකන්ද-කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් යට වන නව ලග්ගල නගරයේ අවට කළුගඟ ජලාශය නිසා අවතැන් වූ අය හා මොරගහකන්ද ජලාශය නිසා අවතැන්වූ පවුල් 3,000ක පුද්ගලයන් 10,000ක් පමණ පදිංචි කර තිබේ.
පවුල් 3,000කට සියලු නවීන පොදු පහසුකම් ඉදි කර ඇති මේ නව ලග්ගල නගරය කළුගඟ ජලාශය අසලට ඉදි කර ඇති අතර, ඒ සඳහා දැනට වියදම් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 2,043කි.
නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණ නව ලග්ගල නගරය ජනතාවට මේ නගරය හිමි වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් සැබෑ කරමින් දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද-කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු-පලයක් ලෙසිනි.
මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතිය පහළ නිම්න සංවර්ධන කටයුතු බාර නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද අමරසූරිය මහතා පැවසුවේ මේ නගරය සඳහා රජය පොදු පහසුකම් පිණිස රාජ්‍ය ගොඩනැගිලි 345ක් ඉදි කර අවසන් බවයි. මේ අතරින් ඉදි වූ විශාලතම ගොඩනැගිල්ල ලග්ගල නව මහ රෝහලයි. මේ සඳහා රජය වියදම් කළ සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 3,000කි. මෙහි නව රෝහල් ගොඩනැගිලි 6කි. අලුත් පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක්, සමුපකාර ගොඩනැගිලි සංකීර්ණයක්, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක්, අලුත් මහා විද්‍යාල 3ක්, කනිටු විද්‍යාල 2ක්, නව රෝහල් සංකීර්ණයක්, නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පොදු ක්‍රීඩාංගණයක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයක්, මහජන පොළක් හා පොදු වෙළෙඳ සංකීර්ණයක්, බස් නැවතුම් පොළක් හා නව තැපැල් කාර්යාලයක් සහ නව බැංකු හා මූල්‍ය ආයතන රැසක් ඇතුළු රාජ්‍ය ආයතන 26ක් නව ලග්ගල නගරයට අයත් ය. මේ රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගිලි 112ක් ඉදි කර තිබෙන අතර, ඒ වෙනුවෙන් පමණක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,043කි.
ප්‍රදේශයේ සමාජ, ආර්ථික යටිතල පහසුකම් සැපයීම, පවතින ග්‍රාමීය මාර්ග පුළුල් කිරීම සහ ප්‍රදේශයේ පවතින සංවර්ධන හැකියාවන් හඳුනාගෙන නගරය සැලසුම් කිරීමද විශේෂත්වයකි. තව ද කැළිකසළ සහ අපද්‍රව්‍ය බැහැර කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව සකස් කළ නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු වෙයි.
ලග්ගල නව නගරය දඹුල්ල, මාතලේ, නාවුල, මොරගහකන්ද, පල්ලේගම, වස්ගමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාඳුරුකෝට්ටේ, මහියංගණය ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන අතර, දඹුල්ල නගරයට ඍජුව සම්බන්ධ වන ප්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන මේ ප්‍රදේශයට ළඟා වීම සිදු වෙයි. එසේම පැවති මාර්ග දුෂ්කරතා හේතුවෙන් මාතලේ නගරයේ සිට ලග්ගල නගරය දක්වා ගමන් කිරීමට මෙතෙක් ගත වූ කාලය පැය හතර හමාරක් වන අතර, නව නගරයට සමගාමීව ඉදි වූ නව මාර්ග පද්ධතිය හේතුවෙන් එම කාලය පැය එක හමාර දක්වා අඩු කරගැනීමට හැකියාව ලැබී තිබේ.
නගරය ඉදි කිරීම සඳහා තෝරාගනු ලැබූ භුමිය ප්‍රදේශයේ ජනතාව විසින්ම තෝරාගනු ලැබීම විශේෂත්වයක් වන අතර, නව නගරය සැලැසුම් කිරීමේදී ස්වාභාවික සම්පත් උපරිමව ප්‍රයෝජනයට ගැනීම, ජනගහනය කේන්ද්‍රගත වීම වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබෙන අතර, ස්වාභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති පරිසරයක් වීම ද වැදගත් කරුණකි.
මීට අමතරව සමෘද්ධි බැංකුවක් සමෘද්ධි කාර්යාලයක්, මධ්‍යම ආයුර්වේද රෝහලක්, පොදු මහජන පොළක්, මහජන ක්‍රීඩාංගණයක්, ටෙලිකොම් මධ්‍යස්ථානයක්, ජල සම්පාදන හා ජලාප්‍රවාහන ප්‍රාදේශීය කාර්යාලයක් වන ජීවී කාර්යාලයක්, ගොවිජන සේවා මධ්‍යස්ථානයක්, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයක් හා නව ගුරුපුහුණු මධ්‍යස්ථානයක් නව ලග්ගල නගරයේ ඉදි වී තිබේ.
මේ යටතේ නව ලග්ගල නගරයත්, ගුරුවෙල කොට්ඨාස කළමනාකරණ ඒකකයේ නව නගර 3ක් හා වැල්ලේවෙල කොට්ඨාස කළමනාකරණ ඒකකයේ අලුත් ගම්මාන ඒකක 3ක්ද සංවර්ධනය කෙරෙමින් පවතී. මේ අනුව දැනට නව ලග්ගල නගරයේ ගොඩනැඟිලි 105ක් ඉදි කර ඇත. මේ සියලු නගරවල නව ගොඩනැඟිලි 241ක් ඉදි කර ජනතාවට පොදු පහසුකම් සලසා දී ඇත.
නව ලග්ගල නගරය මාර්ග කිලෝමීටර් 10ක් කාපට් අතුරා සකස් කර ඇති අතර, ඒ මාර්ගවල සම්පූර්ණ පළල මීටර් 8කි. ඒ සඳහා රුපියල් දසලක්ෂ 486ක් වැය කර ඇති බවත්, මේ වන විට ලග්ගල නගරයේ සංවර්ධන කටයුතු අවසන් බවත් මහින්ද අමරසූරිය මහතා පැවසීය. නව ලග්ගලට අමතරව වැල්ලේවෙල හා ගුරුවෙල ප්‍රදේශවලද දැන් නව උපනගර ඉදි වෙමින් පවතී. ඒවාටද පොදු පහසුකම් රැසක් ලැබී තිබේ. මේ නව ලග්ගල, වැල්ලේවෙල හා ගුරුවෙල ප්‍රදේශවල නව නගර ඉදි වීමත් සමඟ ඒ ප්‍රදේශවල පදිංචි කළ ජනතාවගේ කෘෂිකාර්මික පහසුකම් සඳහා නව වැව් 15ක්ද ඉදිකර තිබේ. මේ ප්‍රදේශවල පදිංචි වන ජනතාවට කෘෂි උපදෙස්, පැළ, බිත්තර වී හා කෘෂි උපකරණ නොමිලේ සපයා ඇත.
මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ ජනතාවට මෙරට වැඩිම වන්දි මුදල ලබාදී තිබේ. ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පෞද්ගලිකව අවධානය යොමු කොට තිබේ. ඒ අනුව ලැබී ඇති මුදල රුපියල් කෝටි 1,100කට අධිකය. ඔවුන්ගේ දේපොළ සඳහා වර්තමාන වෙළෙඳපොළ වටිනාකම මත හා ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් සඳහා ප්‍රතිෂ්ඨාපන වියදම් මත පදනම්ව ද ගණනය සිදු කෙරේ. එමෙන්ම එලෙස වන්දි ගෙවා අත්පත් කරගනු ලැබූ දේපළවල ඇති ගස් සහ නිවාසවල ඉවත් කරගත හැකි සියලු දෑ කිසිදු අය කරගැනීමකින් තොරව නැවත ඉඩම් හිමියා වෙත දෙනු ලැබේ. එම ද්‍රව්‍ය නැවත පදිංචි කිරීම ප්‍රදේශවලට ප්‍රවාහනයටද මේ ව්‍යාපෘතිය මඟින් නොමිලේ පහසුකම් සලසන ලදි.
මෑතකදී මේ රටේ අලුතින් ඉදි වූ ගම්මානවල හා නගරවල පවා නැති නවීන පහසුකම්වලින් සමන්විත නව ලග්ගල නගරයේ පහසුකම් පැරණි ලග්ගල නගරයට වඩා සියයට 500කින් ඉහළ බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. එමෙන්ම වසරකට එක් කන්නයක් පමණක් වගා කළ තමන්ට කළුගඟ ජලාශය ඉදිවීමත් සමඟ කිසිදු අපහසුතාවකින් තොරව වසර පුරා කන්න 3ක් වගා කිරීමට හැකියාව ලැබී තිබෙන අතර, තම ජීවිතය මේ අලුත් පදිංචි කිරීමත් සමඟ අලුත් වෙනසකට ලක් වූ බවත්, එදා බෙහෙත් ටිකක් ගැනීමට රෝහලක් නොතිබූ තමන්ට අද ප්‍රධාන නගරවල ඇති ඉලෙක්ට්‍රොනික බැංකු පහසුකම් පවා ලැබී ඇති බවත් ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති.
මේ නව ලග්ගල නගරය හා ඊට ආසන්න ප්‍රදේශවල ඉදි වී ඇති ගොඩනැගිලි සඳහා දැනටමත් රුපියල් ලක්ෂ 40,000ක් පමණ වැය වී තිබේ. ඒ අතරින් දාස්ගිරිය රෝහලට රුපියල් ලක්ෂ 742කි. ලග්ගල පොලීසියට රුපියල් ලක්ෂ 1,231ක් වැය කර තිබෙන අතර, ලග්ගල නගරය අවට ඉදි කළ මහාමාර්ග සඳහා රුපියල් ලක්ෂ 21,981ක් වැය කර ඇතැයි මහවැලි අධිකාරිය පවසයි. අලුත් පාසල් ගොඩනැඟිලි සඳහා රුපියල් ලක්ෂ 2,183ක් වැය කර ඇති අතර, විදුලි සැපයුමට වැය කළ මුදල ලක්ෂ 1,672කි.
මේ අනුව අප රටේ රජය මඟින් ඉදි කළ ලබන 8 වැනිදා ජනතා අයිතියට පත් කරන මේ අලුත්ම නගරය මගින් නව ලග්ගල ජනතාවට මෙන්ම ඒ අවට ඉදි කළ නව ගම්මානයක් වන තෝරපිටිය, ගුරුවෙල හා වැල්ලේවෙල යන නගරවල ජනතාවට මෙතෙක් නොලැබුණු නවීන යටිතල පහසුකම් රැසක් ලැබෙනු ඇත. මේ සියල්ල මෙරට මෑතකදී ඉදි වූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වන මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතියේ තවත් අතුරු-පල රැසක් ලෙස හැඳින්විය හැකිය.