
ක්‍රීඩා ලොව කවදත් කාර්යබහුලය. එය 2018 වසරේදීත් වෙනස් වූයේ නැත. සුපුරුදු පරිදි ගිය වසරේදීත් පැරණි සහ නවක තරුවල දස්කම්වලින් ක්‍රීඩා ලොව ආලෝකවත් වුහ. නව වසරක් උදා වී තිබියදී ඉකුත් වසරේ අන්තර්ජාතික ක්‍රීඩා ලොව දෙසට අවධානය යොමු කිරීම කාලෝචිතයි.
2018 වසරේදී ප්‍රධානතම ක්‍රීඩා උලෙළවල් ත්‍රිත්වයක් පැවැත්වීය. ඒ ශීත සෘතු ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩල සහ ආසියානු ක්‍රීඩා උලෙළවල්ය. 23 වැනි ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වුයේ දකුණු කොරියාවේ පියොන්ග්වෑන්ග් නුවරදීය. එහිදී රන් 14 - රිදී 14 - ලෝකඩ 11 ක් සමඟ මුළු පදකම් 39 ක් හිමිකර ගත් නෝර්වේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. දෙවන - ජර්මනිය, තෙවන - කැනඩාව, සිවුවන - ඇමෙරිකාව සහ පස්වන - නෙදර්ලන්තයට හිමිය.
21 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ මෙවර පැවැත්වූයේ ඕස්ට්‍රේලියාවේදීය. එහිදී ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව මුල් ස්ථාන ත්‍රිත්වය හිමි කර ගත්තේය. ශ්‍රී ලංකාවට 31 වැනි ස්ථානයයි. ඔවුන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05 ක් සමග හිමි කර ගත් මුළු පදක්කම් ගණන 06 කි. ආසියානු ක්‍රීඩා උලෙළ මෙවර පැවැත්වුයේ 18 වැනි වතාවටයි. මෙවර සාත්කාරක රට වුයේ ඉන්දුනීසියාවයි. ආසියාවේ ක්‍රීඩා බලවතුන් ලෙස චීනය, ජපානය සහ දකුණු කොරියාව සතු ආධිපත්‍යය ඔවුන් යළිත් තහවුරු කළේ මුල් ස්ථාන හිමි කර ගනිමිනි.
ආසියානු පැරා ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව රන් 04, රිදී 06 සහ ලෝකඩ 04ක් හිමි කර ගත්හ. එහෙත් ආසියානු උලෙළේදී කිසිඳු පදක්කමක් නැත.
ක්‍රිකට්
මෙම වසරේ පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප්‍රධානතම තරගාවලියකි. ඒ කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියයි. මෙවර එය පැවැත්වුයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදීය. අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 08 කින් එංගලන්තය පරාජය කළේය. ඕස්ට්‍රේලියාව ලෝක ශූරියන් වුයේ සිවු වැනි වතාවටයි. ඒ 2010,12,14 සහ 18 වසරවලදීය.
මෙම වසරේදී තවත් ලෝක කුසලාන තරගාවලි සතරක් පැවැත්විණි. ඒ දෘශ්‍යාබාධිත, 19 න් පහළ, ශ්‍රව්‍යාබාධිත සහ පුද්ගලික විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලියන්ය. මෙහිදී ශ්‍රව්‍යාබාධිත සහ විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලි පන්දු ඕවර 20 තරගාවලියන්ය. එහිදී ශ්‍රී ලංකාව ලෝක ශූරයෝ වුහ. අනුශුරතාව ඉන්දියාවටයි. පන්දු ඕවර 40 ක් වූ දෘශ්‍යාබාධිත ලෝක ශුරයන් වූයේ ඉන්දියාවයි. එහි අනුශූරතාව පාකිස්තානයටයි. මේ අතර නවසීලන්තයේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ශූරතාවත් ඉන්දියාවටයි. අනුශූරයෝ ඕස්ට්‍රේලියාවයි.
කාන්තා පන්දු ඕවර 20 ආසියානු කුසලාන තරගාවලිය මැලේසියාවේදී පැවැත්වීය. එහිදී විශාල පෙරළියක් කරමින් බංග්ලාදේශය කඩුලු 03 කින් ඉන්දියාව පරාජය කරමින් ශූරියෝ වූහ. පිරිමි පන්දු ඕවර 50 ආසියානු කුසලාන ශූරතාව ඉන්දියාවටයි. අනුශූරතාව බංග්ලාදේශයටයි.
පාපන්දු
ලොව ජනප්‍රියතම ක්‍රීඩාවේ ප්‍රධානතම තරගාවලිය රුසියාවේදී පැවැත්වීය. ඒ ලෝක කුසලාන තරගාවලියයි. එහිදී ප්‍රංසය ගෝල 4-2 ක ජයක් ලැබුවේ ක්‍රොයේෂියාව හමුවේදීය. ප්‍රංසය ලෝක ශූරයන් වූයේ දෙවැනි වරටයි. ප්‍රථම වතාව 1998 වසරේදීය. මෙවර තෙවැනි ස්ථානය බෙල්ජියමටයි. ඒ ඔවුන් ගෝල 2-0 කින් එංගලන්තය පරාජය කළ බැවිනි.
බොක්සිං
හෙවිවේට් බර පංතියෙන් ප්‍රධානතම තරග තුනක් පැවැත්විණි. ලෝක බොක්සිං සංවිධාන (ඩබ්.බී.ඕ.) තරගයෙන් ජය බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවාටය. අඩි 6 අඟල් 6 ක් උසැති ඇන්තනි (උපත 1989 ඔක්තෝබර් 15) සිය අපරාජිත බව තවදුරටත් රැක ගත්තේ රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් (උපත 1979 සැප්තැම්බර් 02) පරාජය කරමිනි.
ලෝක බොක්සිං සංගමයේ (ඩබ්.බී.ඒ.) ශූරතාව තවදුරටත් රැක ගැනීමට ඇමෙරිකාවේ ට්‍රෙවර් බ්‍රයන් සමත් වූයේය. බ්‍රයන් ද අපරාජිතයෙකි. බ්‍රයන් (උපත 1989 අගෝස්තු 23) වෙතින් පරාජය වුයේ එරටේම බෙන්ජමින් ෆ්ලොරෙස් (උපත 1979 ජනවාරි 29 )ය. ලෝක බොක්සිං සභාවේ (ඩබ්.බී.සී.)තරගයේදී අපරාජිත ශූරයන් වන ඇමෙරිකාවේ ඩියොන්ටේ වයිල්ඩර් සහ බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි තරග කළහ. එය ජය පරාජයකින් තොරව නිමා විය.
කැරම්
05 වැනි ලෝක කුසලාන තරගාවලිය දකුණු කොරියාවේ චුන්චියොන් නුවරදී පැවැත්වීය. එහිදී පිරිමි ලෝක ශූරයෝ වුයේ ශ්‍රී ලංකාවයි. කාන්තා ලෝක අනුශූරතාවයත් ශ්‍රී ලංකාවට යි. මේ ද්විත්ව අවස්ථාවලදී ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කර දෙනු ලැබු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේය. පිරිමි - චමිල් කුරේ (නායක), නිශාන්ත ප්‍රනාන්දු, ෂහීඩ් හිල්මි, උදේශ් චන්දිම. කාන්තා -යෂිකා රාහු බද්ධ (නායිකාව), ජෝශෙප් රොෂිටා, චලනි ලක්මාලි, මධුකා දිල්ශානි.
රග්බි
මෙවරත් නවසීලන්ත ‘ඕල් බ්ලැක්ස්’ ට අභියෝග කිරීමට අනෙකුත් රටවලට හැකි වුයේ නැත. සුපුරුදු පරිදි රග්බි ශූරතාව ඔවුන්ටය. එහිදී දෙවන - දකුණු අප්‍රිකාව, තෙවන - ඔස්ට්‍රේලියාව සහ සිවුවැනි - ආර්ජන්ටිනාවටයි. ජාතින් 06 ශූරයන් වූයේ අයර්ලන්තයයි. වේල්සය සහ ස්කොට්ලන්තයට දෙවන සහ තෙවැනි ස්ථානයන්ය.
ටෙනිස්
සුපුරුදු පරිදි ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල (තනි) පිරිමි ශූරතා සතරම මෙවරත් ජය ගත්තේ සුපිරිතම තරු ත්‍රිත්වය විසිනි. ඒ ඔස්ට්‍රේලියානු විවෘත - ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් (උපත 1981 අගෝස්තු 08), ප්‍රංස විවෘත - ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් (උපත 1986 ජුනි 03), විම්බල්ඩන් (එංගලන්තය) සහ ඇමෙරිකානු විවෘත - සර්බියාවේ නොවැක් ජොකොවිච් (උපත 1987 මැයි 22) විසිනි.
කාන්තා ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා සතර ශූරියන් තිදෙනෙකු අතරේ බෙදී ගියේය. ඒ ඔස්ට්‍රේලියානු විවෘත - ඩෙන්මාර්කයේ කැරොලයින් වොෂ්නියැකි (උපත 1990 ජුලි 11), ප්‍රංස විවෘත - රුමේනියාවේ සිමෝනා හැලෙප් (උපත 1991 සැප්තැම්බර් 27), විම්බල්ඩන් - ජර්මනියේ ඇන්ජෙලික් කර්බර් (උපත 1988 ජනවාරි 18) සහ ඇමෙරිකානු විවෘත ජපානයේ නයෝමි ඔසාකා (උපත 1997 ඔක්තෝබර් 16) ආකාරයටයි.
මලල ක්‍රීඩා
වාර්ෂික ඩයමන්ඩ් ලීග් තරගාවලිය මෙවරත් ප්‍රධාන නගර කිහිපයකදීම පැවැත්විණි. එහිදී ලොව සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දස්කම් දැක්වුහ. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ තරගවලදී නව ලෝක වාර්තා බිහි වුයේ ත්‍රිත්වයක් පමණකි. පිරිමි ගෘහස්ත මීටර් 4 x 400 සහාය තරගයකදී පෝලන්තයට ලෝක වාර්තාවකි. ඔවුනගේ කාලය විනාඩි 3 තත්පර 01.77 කි. කාන්තා එළිමහන් මීටර් 3000 බාධක තරගයකදී කෙන්යාවේ බියට්‍රිස් චෙප්කොයෙච්ට තවත් ලෝක වාර්තාවකි. එහි කාලය විනාඩි 8 තත්පර 44 .32 කි.
අනෙක් ලෝක වාර්තාව පිරිමි මැරතන් තරගයටයි. කෙන්යාවේ ඊලියුඩ් කිප්චෝගේ බර්ලින් මැරතන් තරගය ජය ගත්තේ පැය 2 විනාඩි 01 තත්පර 39 ක ලෝක වාර්තාගත කාලයක් වාර්තා කරමිනි.
වොලිබෝල්
කාන්තා සහ පිරිමි ලෝක ශූරතාවලියන් මෙම වසරේ පැවැති ප්‍රධානතම තරගාවලියන්ය. පිරිමි ලෝක ශූරතාවලිය පැවැත්වූයේ 19 වැනි වතාවටයි. එහිදී පෝලන්තය තෙවැනි වතාවටත් ලෝක ශූරයෝ වුහ. බ්‍රසීලයට අනුශූරතාවයි. තෙවැනි ඇමෙරිකාව සහ සිවුවැනි සර්බියාවටයි. කාන්තා ලෝක ශූරියන් වුයේ සර්බියාවයි. ඒ ප්‍රථම වතාවටයි. ඉතාලියට අනුශූරතාවයයි. චීනය තෙවැනි සහ නෙදර්ලන්තයට සිවුවැනි ස්ථානයන්ය.
පාපැදි
මෙවර ප්‍රධානතම සවාරි ත්‍රිත්වයම ජය ගත්තේ බ්‍රිතාන්‍ය ශූරයන්ය. ඒ ඉතාලි - ක්‍රිස් ෆෲම් (උපත1985 මැයි 20), ප්‍රංස - ගරෙයින්ට් තෝමස් (උපත 1986 මැයි 25) සහ ස්පාඤ්ඤ - සයිමන් යේට්ස් (උපත 1992 අගෝස්තු 07) විසිනි.
හොකී
කාන්තා ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වීය. නෙදර්ලන්තය 08 වැනි වරටත් ලෝක ශූරියෝ වුහ. අවසන් තරගයේදී ඔවුන් ගෝල 6-0 කින් අයර්ලන්තය පරාජය කළහ. පිරිමි ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුයේ ඉන්දියාවේදීය. එහිදී බෙල්ජියම ප්‍රථම වරට ලෝක ශූරයෝ වුහ. ඒ අවසන් තරගයේදී දඬුවම් පහර අනුව නෙදර්ලන්තය පරාජය කරමින්ය.
ස්නූකර්
කාන්තා ලෝක ශූරතාවලිය මෝල්ටා රාජ්‍යයේදී පැවැත්විණි. එහිදී හොංකොං රාජ්‍යයේ න්ග් ඔන් යී (උපත 1990 නොවැම්බර් 17) ශූරතාව හිමිකර ගත්තාය. ඒ අනුව ඇයට 2015, 17 සහ 18 ලෝක ශූරතා ත්‍රිත්වයකි. මෙවරත් අනුශූරිය වුයේ එංගලන්තයේ මරියා කැටාලානෝය. ඇයට (උපත 1982 පෙබරවාරි 27) අනුශූරතාම 05කි. ඒ 2009,10,12,13 සහ මෙම වසරේදීය. පිරිමි ලෝක ශූරතාවලිය එංගලන්තයේදී පවත්වනු ලැබීය. එහි අවසන් තරගයේදී වේල්සයේ මාර්ක් විලියම්ස් විසින් ස්කොට්ලන්තයේ ජෝන් හිගින්ස්ව පරාජය කළේය. මාර්ක්ට (උපත 1975 මාර්තු 21 ) ලෝක ශූරතා 03 කි. ඒ 2000,03 සහ 18 වසරවලදීය. ජෝන් (උපත 1975 මැයි 18) ලෝක ශූරතා සතරක හිමිකරුවෙකි. ඒ 1998,2007,09 සහ 11 වසරවලදීය.
මේසපන්දු
කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියට එංගලන්තයේ ලන්ඩන් නුවර සත්කාරකත්වය දැරීය. එහිදී චීනයට අභියෝග කිරීමට කිසිවකුත් සිටියේ නැත. කාන්තා - (1) චීනය (2) ජපානය (3) හොංෙකාං /උතුරු කොරියාව
පිරිමි - (1) චීනය (2) ජපානය (3) එංගලන්තය / දකුණු කොරියාව
ස්කොෂ්
ලොව විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ ලෝක තරගමාලාවේ අවසන් තරග එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නුවරදී පැවැත්වීය. එහිදී කාන්තා සහ පිරිමි ශූරතා මෙන්ම අනුශූරතා ද ඊජිප්තුව සතු විය. කාන්තා ශූරිය නුර් එල් ශර්බිනි (උපත1995 නොවැම්බර් 01) සහ අනුශූරිය රානීම් එල් වෙලෙයිලි (උපත 1989 ජනවාරි 01) වුහ. පිරිමි ශූරයා වුයේ මොහොමඩ් එල් ෂොර්බගි (උපත 1991 ජනවාරි 12) සහ අනුශූරයා අලි ෆාරාග් (උපත 1992 අප්‍රේල් 22) වෙති.
පිහිනුම්
වාර්ෂික ලෝක කුසලාන තරගාවලිය මෙවරත් පැවැත්විණි. ඊට අදියර කිහිපයක් අයත්ය. එහිදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිකර ගනු ලබන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට සමස්ත ශූරතා හිමි වේ. ඒ අනුව මෙවර සමස්ත ශූරිය වුයේ ස්වීඩනයේ සේරා සියොස්ට්‍රොම්ය. ඇයට (උපත1993 අගෝස්තු 17) ලකුණු 339 කි. රුසියාවේ ව්ලැදිමිර් මොරොෂොව් (උපත 1992 ජුනි 16 ) සමස්ත ශූරයා විය. ඔහුට ලකුණු 402 කි.
බැඩ්මින්ටන්
පිරිමි කේවල ලෝක ශූරයා වුයේ ජපානයේ කෙන්ටෝ මොමෝටාය. හෙතෙම (උපත 1994 සැප්තැම්බර් 01) ලෝක ශූරයා වුයේ ප්‍රථම වරටයි. මෙවරත් කාන්තා කේවල ශූරිය වුයේ ස්පාඤ්ඤයේ කැරොලිනා මාරින්ය. ඇය (උපත1993 ජුනි 15) 2014, 15 සහ 18 ලෝක ශූරියයි.
චෙස්.
කාන්තා ලෝක ශූරතාවලිය චීනයේදී පැවැත්වීය. එහිදී ශූරතාව සඳහා තරග කළේ චීන ක්‍රීඩිකාවන්ය. ජු වෙන්ජුන් (උපත 1991 ජනවාරි 31) ලෝක ශූරිය වුවාය. අනුශූරිය වුයේ ටෑන් ෂොන්ග්යිය. ඇය (උපත 1991 මැයි 29 ) 2017 ලෝක ශූරියයි.
පිරිමි ලෝක ශූරතාවලිය පැවැත්වුයේ එංගලන්තයේ ලන්ඩන් නුවරදීය. නෝර්වේ රාජ්‍යයේ මැග්නස් කාර්ල්සන් (උපත 1990 නොවැම්බර් 30) ලෝක ශුරයා වුයේය. ඇමෙරිකාවේ ෆාබියානෝ කාරුවානා (උපත 1992 ජුලි 30) මෙවර අනුශූරයාය.
ජිම්නාස්ටික්
48 වැනි ලෝක ශූරතාවලිය කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වීය. එහිදී සමස්ත කේවල ශූරතා පිරිමි රුසියාවේ ආතර් ඩාලාලොයාන් සහ කාන්තා ඇමෙරිකාවේ සිමෝන් බයිල්ස්ටය. ආතර් (උපත 1996 අප්‍රේල් 26) වසර 1999 න් පසුව මෙම ශූරතාව රුසියාවට අත්කර දෙනු ලැබු ප්‍රථමයා බවට පත් වුයේය. සිමෝන් (උපත 1997 මාර්තු 14 ) මේ ශූරතාව හිමි කර ගත්තේ සිවුවැනි වතාවටයි.
මොටෝ ග්‍රෝන් ප්‍රී (මෝටර් සයිකල්)
මෙවර පැවැත්වුයේ වාර්ෂික 70 වැනි ලෝක ශූරතාවලියයි. විශිෂ්ට දස්කම් දක්වමින් 05 වැනි වරටත් ලෝක ශූරයා වුයේ ස්පාඤ්ඤයේ මාර්ක් මාර්කෙස්ය. හෙතෙම මෙවර ලැබුවේ හැට්ට්‍රික් ශූරතාවයයි. මාර්ක් (උපත 1993 පෙබරවාරි 17 ) මිට පෙර 2013, 14,16 සහ 17 වසරවලදී ද ලෝක ශුරතා හිමි කර ගෙන සිටියි.
ෆෝමියුලා 01 (මෝටර් රථ)
69 වැනි වාර්ෂික ලෝක ශුරතාවලිය මෙවර පැවැත්වීය. බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් පිට පිට දෙවන වරටත් ලෝක ශූරයා වුයේය. ඔහු (උපත 1985 ජනවාරි 07) මෙවර හිමිකර ගත්තේ සිය 05 වැනි ලෝක ශූරතාවයයි. 2008, 14,15 සහ 17 වසරවලදීත් හෙතෙම ලෝක ශුරයාය.
ගොල්ෆ්
සුපිරි ඇමෙරිකානු ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට මෙවරත් ප්‍රධාන ශූරතාවක් හිමිකර ගැනීමට හැකි වුයේ නැත. එහෙත් ඔහු (උපත 1975 දෙසැම්බර් 30) ඇමෙරිකානු පී.ජී.ඒ. (ඇමෙරිකානු වෘත්තීයමය ගොල්ෆ් සංගමය) ශූරතාවලියේ අනුශූරයා වුයේය. ටයිගර් සිය 14 වැනි සහ අවසන් ප්‍රධානතම ජයග්‍රහණය අත්කර ගත්තේ මීට දශකයකට පෙර එනම් 2008 වසරේදීය.










