
- හිටපු තානාපතිට එරෙහිව චෝදනා පහක්
- ලංකා ආණ්ඩුවේ සල්ලි අපහරණය කළැයි ඇමෙරිකාවෙන් නඩු
- තානාපතිකමටත් තට්ටු වූ ඩොලර් ලක්ෂ තුනේ කතාව
ශ්‍රී ලංකාව විදේශීය රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනඟාගත්තේ අදක ඊයේක සිට නොවේ. ඒ සම්බන්ධතා බොහෝ විට නිර්මාණය වූයේ දෙරටක් අතර පවතින සියලු කටයුතු මුදු සුමුදු කොට මිත්‍රශීලි පසුබිමක් යටතේ රටවල් අතර අනෝන්‍ය සබැඳියාව වඩවාලීමය. එවැනි උත්තුංග රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවරක් සඳහා රටකට ගොඩ වන රාජ්‍ය තාන්ත්‍රික නිලධරයකු අදාළ තානාපතිත්වය දරන රටේ අධිකරණය හමුවේ චුදිතයකු වන්නේ නම් එය අදාළ රටේ කීර්තිය වළපල්ලට යවන, තානාපති ධුරයේ ගෞරවය හෑල්ලුවට ලක් කරන සිදුවීමකි. එබැවින් බොහා් විට රාජ්‍ය තාන්ත්‍රික නිලධරයන් තම රටේ ගරුත්වය නැති වන කිසිදු දෙයකට අත තබන්නේ නැත. එහෙත් අවාසනාවකට මේ තානාපති සේවය ශ්‍රී ලංකාව විෂයයෙහි තවදුරටත් හෑල්ලු වීමේ අවදානමක් ගැන අපට ඉඟියක් ගෙනදෙන්නේ ඇමෙරිකානු අධිකරණ පද්ධතියෙනි. ඒ වසර 2008 සිට 2014 දක්වා කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය චෝදනා කිහිපයක් මත එරට අධිකරණය හමුවට පැමිණවීමට පියවර ගෙන තිබීමත් සමඟිනි. ඔහු වෙත එල්ල වී ඇති චෝදනාවලට අනුව තමන් සේවය කළ රටේ අධිකරණය හමුවේ චුදිතයකු වන මුල්ම තානාපතිවරයා ලෙස ජාලිය වික්‍රමසූරිය වාර්තාගත වීමටද ඉඩ තිබෙන බව පසුගියදා මාධ්‍ය මඟින් හෙළිදරවු කෙරිණ.
මේ ලෙස අපකීර්තියට පාත්‍ර වන ලාංකිකයා කවරෙක්ද යන්න විමසා බැලීම මෙහිදී වැදගත්ය. ජාලිය වික්‍රමසූරිය යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ඥාතියෙකි; එනම්: හිටපු ජනාධිපතිවරයාගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සොයුරු ඩී.එම්. රාජපක්ෂ මහතාගේ දියණිය වන කමලා වික්‍රමසූරිය මහත්මියගේ වැඩිමහල් පුත්‍රයාය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තේ අපනයන සමාගමකට සම්බන්ධ වී කටයුතු කොට පසුව තමාගේම තේ ව්‍යාපාරයක් කරගෙන ගිය ඔහු ඇමෙරිකාව වැනි සුපිරි රටක ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉහළම රාජය තාන්ත්‍රික නිලධරයා බවට පත් වන්නේ තම ලේ නෑදෑකම සහිත ජනාධිපතිවරයාගේ අනුහසිනි. 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා මුල්වරට ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී කොන්සල් ජනරාල්වරයා ලෙස පත් වූ වික්‍රමසූරිය මහතා ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වන්නේ ඒ 2008 වසරේ අගෝස්තුවේදීය.
කෙසේ වුවද ඔහු සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයට ගැටලු කිහිපයක්ම පැවතිණි. වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයකු නොවූ වික්‍රමසූරිය විසින් සිදු කරන ලද යම් යම් නිති විරෝධී කාරණා සම්බන්ධයෙන් එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) සහ ස්වදේශ ආරක්ෂක සංවිධානය විසින් සිදු කරන ලද විමර්ශන හමුවේ ඔහුට එරෙහිව නීති විරෝධි ආකාරයෙන් වංචා කිරීම, වීසා රෙගුලාසි උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා පහක් පවතින බවට මුල් වරට ශ්‍රී ලංකා රජයට දන්වන්නේ 2014 වසරේදීය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ කුප්‍රකට තානාපතිවරයා පිළිබඳ ශ්‍රී ලංකා රජයට වාර්තා කිරීමෙන් අනතුරුව වික්‍රමසූරිය ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන අතර, ඔහු සම්බන්ධයෙන් එතනින් එහාට කිසිවක් සිදු නොවූ බව වාර්තා වෙයි. ඔහුට පවතින චෝදනා අතර චෝදනා දෙකක් මූල්‍ය වංචා පිළිබඳ චෝදනාය. තවත් චෝදනා දෙකක් එල්ල වන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙනි. එයට අමතරව ආගමන විගමන සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලව තිබේ.
කෙසේ වුවද මේ චෝදනා මෑතක් වන තෙක්ම පැහැදිලිව අනාවරණය කිරීමට ඇමෙරිකානු අධිකරණය පියවර ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුහු මේ චෝදනා සියල්ල මුද්‍රා තබා තිබිණි. එයට හේතුවක් ලෙස ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ යම් ආකාරයකින් මේ සාක්ෂි විකෘති කිරීමකට ලක් කිරීමට ජාලිය වික්‍රමසූරිය මහතාට හැකි වේය යන අවිශ්වාසයයි.
මේ චෝදනා අතර ප්‍රමුඛ එකක් වන්නේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා දේළලක් මිල දී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් 320,000ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට වන චෝදනාවයි. ඇමෙරිකාව තම රටේ පවතින නීති-රීති අනුව පරීක්ෂණ පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා රජයට අයත් මුදල් තම රට තුළදී අනිසි ලෙස පරිහරණය කිරීමට විරුද්ධව වීම විශේෂත්වයකි. මේ ගනුදෙනුවට මුල පුරන දේපළ වන්නේ වොෂින්ටනයේ වයිට් හෙවන් පාරේ 3024 දරන ගොඩනැගිල්ලයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා මේ ගොඩනැගිල්ල මිල දී ගැනීමේ කටයුත්තට සම්බන්ධ වන තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සිට එය මිල දී ගැනීමට අදාළ මුදල් ඉලෙක්ටොනික මුදල් හුවමාරු යන්ත්‍රණය හරහා ගෙන්වාගෙන ඇත්තේ ලෝකයේ ප්‍රධාන පෙළේ බැංකුවක නිව්යොර්ක්හි ගිණුමක් වෙතය. එයින් ඉතිරි වූ ගිණුම්ගත නොකළ ඩොලර් 3,20,000ක මුදලක් 2013 ජනවාරි මාසයේදී තානාපතිවරයා වෙනත් පාර්ශ්ව දෙකක් වෙත දී ඇති අතර, එම ආයතන දෙකම දේපළ ව්‍යාපාර ගනුදෙනු සඳහා කිසිදු සම්බන්ධතාවක් නැති ආයතන ලෙස ඇමෙරිකානු රජය විසින් හඳුනාගනු ලැබ තිබේ.
ඇමෙරිකානු එෆ්බීඅයි සහ ස්වදේශ ආරක්ෂණ ආයතනවල විමර්ශනවලට අනුව ඒ මුදල්වලින් ඇමෙරිකානු ඩොලර් 85,000ක් දී ඇත්තේ ඇමෙරිකාවේ ලියාපදිංචි උපදේශන ආයතනයකටය. එහි මේ නම සඳහන් නොවුණද ශ්‍රී ලංකාවේ මූල්‍ය වංචා විමර්ශන ඒකකය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද 'බී' වාර්තාවල එය සඳහන් වන්නේ පේපර් ක්‍රවුන් එල්එල්සී නමැති සමාගම ලෙසය. එය ජාලිය වික්‍රමසූරිය මහතාගේ සමීපමයකු වන විනෝද් බස්නායක නමැත්තාට අයත් එකක් බව හෙළිව තිබේ. ඉතිරි ඩොලර් 2,50,000ක මුදල බ්‍රෙන්ඩන් සෝසා නමැත්තාට අයත් පීපීපී ඉන්ටර්නැෂනල් නම් සමාගම වෙත ලබා දී තිබේ.
ගිණුම්ගත නොකළ මේ මුදල් අදාළ ආයතන වෙත යැවීමට අදාළ සිහි කැඳවුමට අදාළ උපදෙස් වික්‍රමසූරිය මහතා ලබා දෙන්නේද තානාපති කාර්යාලට කිසිත් සම්බන්ධ නැති වෙනත් විද්යුත් ලිපිනයක් ඔස්සේය. ඇමෙරිකානු අධිකරණය වෙත ගොනු වී ඇති චෝදනා වාර්තාවලට අනුව මේ ගනුදෙනු ද්විත්වයම ශ්‍රී ලංකා රජය විසින් අනුමත නොකරන ලද බව සඳහන් වෙයි. මෙයින් ඩොලර් 82,000ක මුදල් අදාළ සමාගමේ ගිණුමට බැරවී ඇතත් ඩොලර් 2,50,000ක මුදල අදාළ සමාම වෙත බැර කිරීම මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනුවේ අතරමැදි බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. කෙසේ වුවද අවසානයේ මේ මුදල චෙක්පතකින් ජාලිය වික්‍රමසූරිය මහතා වෙත ලැබෙන්නට සලස්වා ඇති අත, ඒ චෙක්පත තැපැල් කොට ඇත්තේ වික්‍රමසූරිය මහතා අයත් 'රෝයල් සිලෝන් ටී' ආයනයේ කොළඹ ලිපිනය වෙතය.
කෙසේ වුවද මේ සිදුවීම සම්බන්ධයෙන් තානාපති නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරන්නට පටන් ගනිද්දී වික්‍රමසූරිය මහතා ඉතා උපායශිලිව මේ අතිරික්ත මුදල් භාවිතය සම්බන්ධයෙන් හදිසියේම අතිරේක වාර්තා සකසන්නට පටන් ගත් බව ඇමෙරිකානු චෝදනා වාර්තාවල සඳහන් වෙයි.
කෙසේ වුවද විමර්ශනවලදී හෙළිව ඇත්තේ මේ අතිරේක වාර්තා නිසි දිනයකින් තොරව රාජකාරී ලිපි ශීර්ෂ හෝ නිල අත්සන් රහිත නිකම්ම නිකම් ලේඛන පමණක් බවය.
කෙසේ වුවද මේ මුදල් වංචාව හෙළි වෙද්දී හිටපු තානාපතිවරයා විවිධ සමාගම් සහ පුද්ගල ගිණුම් මඟින් යළිත් ඩොලර් 3,20,000ක් ගිණුම්ගත කොට එය ශ්‍රී ලංකා රජය වෙත සැපයීමට කටයුතු කර ඇත. එයින් පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ වික්‍රමසූරිය සාවද්‍ය ලෙස ශ්‍රී ලංකාවේ මුදල් පරිහරණය කිරීමට දරා ඇති උත්සාහයයි. 2013 වසරේ සිදු වූ මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය ශ්‍රී ලංකාවට තොරතුරු වාර්තා කිරීමෙන් පසු ඔහු මෙරටට ගෙන්වාගෙන තිබේ. එහෙත් එතැනින් එහාට කටයුතු කිරීමට එවකට රජය පියවර ගෙන නැති අතර මේ වංචාව සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයට වික්‍රමසූරිය මහතාට කටයුතු කිරීමට නොහැකි වන ආකාරයට රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබා දෙන මුක්තිය ආවරණය කිරීමටද පියවර ගෙන නැත.
පසුව විදේශ අමාත්‍යාංශය විසින් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය අහෝසි කළද පසුගිය නොවැම්බරයේදී එය යළි ලබාගැනීමට කටයුතු කළේය. කෙසේ වුවත් මේ වන විට මේ චෝදනාව ඇතුළු ජාලිය වික්‍රමසූරියට එරෙහිව පවතින චෝදනා පහ සම්බන්ධයෙන් ඇමෙරිකාව එරට කොලම්බියා දිස්ත්‍රික් අධිකරණය මඟින් විභාග කිරීමට නියමිතය.
මේ විමර්ශන කටයුතු අනුව එරට අධිකරණය විසින් දෙනු ලබන තීන්දුව සම්බන්ධයෙන් මෙරට රජය ක්‍රියා කරන අන්දම ලෝකය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපයට විශාල බලපෑමක් ඇති කරන බව නම් නිසැකය.