
සිරියාවට යවා ඇති ඇමෙරිකා භට පිරිස් සිය රට ගෙන්වා ගත යුතු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි. එක්සත් ජනපදය, අයි.එස්.අයි.එස්. සටන්කාමීන් පරදා ඇති බැවින් ඇමෙරිකා භට පිරිස් ඉක්මනින් නැවත ගෙන්වා ගත හැකිය යන තීරණයට ජනාධිපතිවරයා එළඹ තිබේ. ඒ බව සඳහන් ට්විටර් පණිවිඩයක් ද ජනාධිපතිවරයා තබා තිබිණ. ඔහු එහි සඳහන් කර තිබුණේ අයි.එස්.අයි.එස්. සන්නද්ධකාමීන්ට එරෙහිව ලැබූ ඓතිහාසික ජයග්‍රහණවලින් පසුව අපේ විරෝදාර තරුණ පිරිස් සිය රට ගෙන්වා ගැනීමට කාලය පැමිණ ඇතැයි යනුවෙනි.
සිරියාවෙහි ක්‍රියාත්මක අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියා මැඩලීම සඳහා දෙදහසකට අධික ඇමෙරිකා භට පිරිසක් යොදවා ඇත. මේ භට පිරිස්වලින් වැඩි ප්‍රමාණයක් රඳවා තිබෙන්නේ සිරියාවෙහි ඊශාන දිග ප්‍රදේශයට වන්නටය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කර ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇතැයි කියා ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවත් කුඩා කුඩා ප්‍රදේශ රැසක ත්‍රස්තවාදීහු තවමත් රැඳී සිටිති. සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ ව්‍යාපාරයේ මීළඟ අදියර ආරම්භ කෙරෙන බව ඇමෙරිකා ජනධිපතිවරයා මාධ්‍යයට පවසා තිබිණ. ජනාධිපතිවරයා පවසන එකී මීළඟ අදියර කුමක්ද යන්න සම්බන්ධයෙන් ධවල මන්දිරය හෝ පෙන්ටගනය හෝ පැහැදිලි විග්‍රහයක් නොකරයි. එය හුදෙක් ආරක්ෂක හේතු මත ගත් තීරණයක් විය හැකියැයි විදෙස් මාධ්‍යය සේවා පෙන්වා දෙයි.
කෙසේ වුවත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය බොහෝදෙනෙකුගේ විවේචනයන්ට භාජනය වෙමින් තිබේ. ආරක්ෂක විශේෂඥයකු වන මැක්ස් හොෆ්මන් පවසන්නේ මෙය, ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ විශාල වරද්දා ගැනීමක් බවයි. ට්‍රම්ප් සිය තීරණය සාධාරණීකරණය කරමින් පවසන අන්දමේ පරාජයකට වඩා අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට ඔවුන් අත්පත් කරගෙන සිටි භූමිය අහිමි වී යෑමක් මේ වනවිට සිදුව තිබේ. පෙන්ටගනයම පෙන්වා දෙන අන්දමට සිරියාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු 17,100කට අධික පිරිසක් සිටිති.