ප්‍රංස ජනාධිපතිගේ ආර්ථික කළමනාකරණය | සිළුමිණ

ප්‍රංස ජනාධිපතිගේ ආර්ථික කළමනාකරණය

අධික බදුබර හා දරාගත නොහැකි ජීවන වියදම හේතුවෙන් පීඩා විඳි පොදු ජනයාගේ කෝපය පැරීසියේ වීදිවලදී පුපුරා ගිය අයුරු පසුගිය දිනවල දැකගත හැකිවිය.

ලුමිනස් කහ පැහැති ජැකට්ටුවලින් සැරසී සිටි එම පිරිස් මෝටර් රථ ඇතුළු දේපළ ගිනිබත් කරමින්, ගොඩනැගිලිවල වීදුරු ජනේල කුඩු කරමින්, කඩසාප්පු කොල්ලකමින්, පොලීසියට ගල්මුල්වලින් දමා ගසමින් දැඩි ප්‍රකෝපකාරී අයුරින් හැසිරුණහ.

මෑත ඉතිහාසයේ ප්‍රංසයේ මෙවැනි විරෝධතාවක් වාර්තා වූයේ පළමුවතාවටය. විරෝධතාකරුවන් සිය ගණනක් මෙන්ම පොලිස් නිලධාරීන් පිරිසක්ද මේ ගැටුම්වලින් තුවාල ලබා සිටියහ. සිය ගණනක් පිරිස් අත්අඩංගුවට පත් වූහ. පොලීසිය විරෝධතාකරුවන් මෙල්ල කිරීමට වෑයම් කළේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලිනි. සංචාරක කේන්ද්‍රස්ථානයක්ද වන පැරීසියේ වීදි රැසක් හා දුම්රිය පොළ වසා දමා තිබිණි. සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වන ට්‍රයම්ප් ආරුක්කුව විවිධ වර්ණ විරෝධතා පාඨවලින් සිත්තම් විය. ඒ ඇතැම් සටන්පාඨයකින් කියැවෙනුයේ ‘කහ කමිසකාරයන් ජයග්‍රහණය කරනු ඇත‘ යනුවෙනි.

රජයේ ප්‍රකාශක බෙන්ජමින් ග්‍රිවෝක්ස් විරෝධතා පාලනය කිරීමට අසමත් වීම ගැන පොලීසියටද චෝදනා කළේය. දහස් ගණනක් වූ පොලිස් භටයන්ට ප්‍රංසයේ උරුමයක් වන ජයග්‍රහණයේ ආරුක්කුවවත් ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ බව ඔහු කීවේ කනස්සල්ලෙනි. “ කොහොම නමුත් අපි භෞතික දේවලට පෙර මිනිස්සුන්ව ආරක්ෂා කළා..“ යැයිද ඔහු පවසා තිබිණි.

පැරිස් විරෝධතාවට ආසන්නම හේතුව වූයේ ඉන්ධන බදු ඉහළ දැමීමකි. බදු බරෙන් පෙළෙමින් ජීවන වියදමෙන් පීඩා විඳි ජනතාවගේ දුක මැක්‍රන්ගේ ආණ්ඩුවට දැනුණේවත් නැතැයි ජනතාව චෝදනා කර සිටියහ.

සිදුකළ අලාබහානි ඒවාට වගකිය යුතු අයගෙන් අයකර ගන්නා බව ජනාධිපති මැක්‍රන් මුලදී ප්‍රකාශ කළේය. පසුව ජනතාව ඉල්ලා සිටි සහන ලබාදීමට සූදානම් බවද කියා සිටියේය.

බ්ලූම්බර්ග් වාර්තා කළ පරිදි 2017 මැයි මස සිට පැවති මත විමසුම් හතකදීම ජනාධිපති මැක්‍රන්ගේ ජනප්‍රියත්වය වේගයෙන් පහළ බැස ඇති අයුරු පිළිබිඹු වේ. මේ වන විට එය ඇත්තේ අවම මට්ටමකය. බොහෝ පාලකයන්ට සහ ආණ්ඩුවලට බලයට එන විට ලබා දුන් පොරොන්දු, බලයට පැමිණ නොබෝ කලකින්ම අමතක වීම සාමාන්‍ය දෙයක් වී තිබේ. එවැනි පසුබිමක අසරණවන්නේ ජනතාවය. එවැනි ඔවුන්ගේ පීඩනය පුපුරායන්නේ ඊළඟ මැතිවරණයේදීය. නැතිනම් මෙවැනි විරෝධතා මගිනි. මැක්‍රන් ජනාධිපතිධූරයට පත්වූයේ ප්‍රතිසංස්කරණවාදියකු ලෙසිනි.

කහකමිස කැරැල්ල සංවිධානය වූයේ සමාජ මාධ්‍ය තලයේය. ඊට නායකත්වයක් ඇතැයි පෙනෙන්නට නැත. බොහෝ තැන්වලදී එය ප්‍රකාශයට පත් වූයේ සාමකාමී විරෝධතා ක්‍රියාමාර්ගයක් වශයෙනි. “අපි ජීවන වියදම ගැන කතාකරනකොට ඔහු (ජනාධිපති) පරිසර විද්‍යාව ගැන කතාකරනවා.... “ යනුවෙන් විරෝධතාකරුවන් පවසා ඇත්තේ, ඉස්මතු වන ඉහළ දැමූ බදු සමග වායුගෝලයට මුදා හරින කාබන් ප්‍රතිශතය අවම කර ගැනීමද ගැටගැසී ඇති නිසාය.

“කන්න සල්ලි නැති මිනිස්සුන්ගෙන් සූර්ය කෝෂ හා ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගන්න කියලා ආණ්ඩුව ඉල්ලනවා...“ යනුවෙන් ඔවුන් පවසන්නේ යහපත් ඉල්ලීමක් වැරදි වෙලාවක සිදුව ඇති බව පෙන්වා දෙමිනි.

ඉකුත් ජනාධිපතිවරණයේදී මැක්‍රන්ගේ ප්‍රතිවාදියා වූ මරිස් ලා පෙන් කියා සිටින්නේ මේ විරෝධතාව ආණ්ඩුව ජනතාවගේ දුක් පීඩාවලට ඇහුම්කන් නොදීමේ ප්‍රතිඵලයක් යනුවෙනි. “ආණ්ඩුව සාමාන්‍ය ජනතාව නොතකා හැරියා...“ යනුවෙන් ඇය පවසා තිබිණි.

අගමැති එඩුවාර්ඩ් පිලිප් කළ ප්‍රකාශයකින් වැඩිකළ බදු සය මසකින් කල් දැමීමට තීරණය කළ බව කියැවිණි. ගෑස් සහ විදුලිය මිලගණන් ඉහළ නොදමන බවට වගබලා ගන්නා බවද ඔහු පැවසීය. ප්‍රංසය විරෝධතා දැක්වීමට ඇති අයිතිය පිළිගන්නා රටක් වන නමුත් පසුගියදා සිදුවූ ආකාරයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා අනුමත කළ නොහැකි බවද අගමැතිවරයා පවසා තිබිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ශිෂ්‍ය විරෝධතාද මීට සමගාමීව දියත් වී තිබේ. ජර්මනිය හා ප්‍රංසය අතර පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු තරගයක්ද විරෝධතා ව්‍යපාරය හේතුවෙන් කල් දැමිණි.

2018 වසර තුළ ලෝකයේ බොහෝ රටවල ජනතා ව්‍යාපාරවල නැගීසිටීමක් දැකිය හැකි විය. අමෙරිකාව හා බ්‍රිතාන්‍යයෙන් ඔබ්බට යමින් එය මේ වන විට යුරෝපය පුරා පැතිර යමින් ඇති බව පෙනේ. ප්‍රංසයට පෙර ඉතාලියේද, ඕස්ට්‍රියාවේද, හංගේරියාවේද එවැනි ජනතා අරගල ක්‍රියාත්මක විය. ඉතාලියේදී එය ප්‍රකාශයට පත් වූයේ ‘තරුණ ව්‍යාපාරය‘ යනුවෙනි. මේවාට බලපා ඇත්තේ බොහෝදුරට සමාජ, ආර්ථික ගැටලුය. ඊට අමතරව සංක්‍රමණික ප්‍රශ්නයද තවත් හේතුවක් වී තිබේ. ඉතාලි ජනතාවගේ හඬට කන්දෙන්නැයි ඉතාලි දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටීමට යුරෝපා සංගමය කටයතු කර තිබිණ. ඉන් පෙනීයන්නේ යුරෝපා රටවලට එරෙහිව හඬක් නැගෙමින් ඇති බවය. එමෙන්ම තම රටවල අභ්‍යන්තර කටයුතුවලට සෙසු පාර්ශ්ව අතපෙවීම සම්බන්ධව එම රටවලින්ද විරෝධය පළ වී තිබේ.

ඕස්ට්‍රියාවේදී විරෝධතාවලට වඩාත් බලපෑවේ සංක්‍රමණික ප්‍රශ්නයකි. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ සම්මුතියකට අස්සන් තැබීම ඔස්ට්‍රියාව ප්‍රතික්ෂේප කළේය.

හංගේරියාවට බලපෑවේද ඒ ප්‍රශ්නයමය. එරටට සංක්‍රමණිකයන් ඇතුළු වීම සීමාකිරීමට පියවර ගැණිනි. හංගේරියා අගමැතිවරයාද චෝදනා කළේ යුරෝපා සංගමය යුරෝපා අධිරාජ්‍යයක් ගොඩ නැගීමට වෑයම් කරමින් සිටින බවය. එවැනි ගෝලීයකරණයකට එරෙහි වන බවද ඔහු පවසා තිබිණි. සංක්‍රමණික ප්‍රශ්නයට අමතරව නව අතිකාල නීති ඇතුළු ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති හංගේරියානුවන්ගේ විවේචනයට ලක්ව ඇත.

ප්‍රංසයේ ජනතා විරෝධතා මාසයකටත් වැඩි කාලයක් දක්වා ඇදෙමින් තිබේ. දෙසැම්බර් දෙවැනිදා සිට සතිඅන්ත පහකදී ජනතාව සහ පොලීසිය අතර ගැටුම් ඇති විය. මේ තත්ත්වය යටතේ ජනවාරි පළමුවැනිදා සිට අවම වැටුප ඉහළ දැමීමට, අතිකාල මත පැනවූ බදු ඉවත් කිරීමට රැකියා විරහිත පුද්ගලයන්ට ලබා දුන් දීමනා වැඩි කිරීම වැනි පියවර ගණනාවක් ජනාධිපති මැක්‍රන් යෝජනා කර තිබේ. සේවකයන්ට වර්ෂ අවසාන ප්‍රසාද දීමනා ගෙවන්නැයි පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක්ද කර තිබේ.

උද්ගත වූ තත්ත්වය ප්‍රංසයේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබේ. ජනාධිපති මැක්‍රන් එය කළමනාකරණය කරන ආකාරය අනුව 2022දී පැවැත්වෙන් මීළඟ ජනාධිපතිවරණයේදී ඔහුට හිමිවන තැන තීරණය කෙරෙණු ඇත.

Comments