
මීට වසර 4කට පෙර තමන්ගේ ප්‍රථම දුරකථන ඇප්එක නිෂ්පාදනය කළ ශිෂ්‍යයකු දැන් තම දහතුන් වන වියෙහිදී තමන්ගේම මෘදුකාංග නිෂ්පාදන සමාගමක් ඩුබායි හි අරඹා තිබෙනවා. ආදිත්‍යන් රාජේශ් නමැති ඔහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිසුවෙක්. තමන්ගේ නිදහස් වේලාව ගත කරමින් විනෝදාංශයක් ලෙස ඔහු ඉතා කුඩා කාලයේදීම ව්‍යාපාර සඳහා ලාංඡන සහ වෙබ් අඩවි පවා සකසා දෙමින් කාලය ගත කළා.
අවුරුදු පහේදී පරිගණක සමඟ ගනුදෙනු ඇරඹූ රාජේශ් ‘ට්‍රයිනෙට් සොලූෂන්ස්’ නමින් තමන්ගේම ආයතනයක් ඇරඹූ බව එරට ඛලීජ් ටයිම්ස් පුවත් සේවාව වාර්තා කරනවා. “මම කේරළයේ තිරුවිල් ප්‍රදේශයේ උපත ලබා අවුරුදු පහේදී ඩුබායි ආවා. මුලින්ම පරිගණකයෙන් කළේ ළමා වෙබ් අඩවියකින් ටයිපිං පුරුදු වෙච්ච එක” රාජේශ් සඳහන් කරනවා. ඔහුගේ ආයතනයේ දැනට තිදෙනෙක් සේවය කරන අතර, ඔහුගේම පාසලේ දක්ෂතා දක්වන සිසුවන් කිහිපදෙනෙක් ඊට අයත් වෙනවා. මේ වන විටත් ඔවුන් පාරිභෝගිකයන් 12කට සේවා සපයා ඇති අතර සැලසුම් සහ කේතකරණ සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයා තිබෙනවා.