රන් පන්දුව ලුකාට සහ එඩාට | සිළුමිණ

රන් පන්දුව ලුකාට සහ එඩාට

ලෝ ප්‍රකට‍ පාපන්දු ක්‍රීඩා සඟරාවක් ප්‍රංසයේ පළ කරනු ලබයි. එය හැඳින්වෙන්නේ ‘ෆ්‍රාන්ස් ෆුට්බෝල්’ නමිනි. එය පළ කරනු ලබන්නේ 1946 වස‍රේ සිට ය. මෙම සඟරාව ජනප්‍රිය වීමට තවත් විශේෂ හේතුවක් වේ. ඒ වාර්ෂිකව පිරිනමන සම්මානයක් නිසාවෙනි‍. එම සම්මානය ‘බැලන් ඩි ඔර්’ (රන් පන්දුව) නමින් ප්‍රචලිතයි.

මෙම සම්මානය පිරිනමන්නේ වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට ය. මේ වාර්ෂික සම්මානය 1956 වසරේ සිට පිරිනැමෙයි‍. එම මංගල වසරේ ක්‍රීඩකයා වූයේ එංගලන්තයේ ස්ට‍ැන්ලි මැතිව්ස් (1915 – 2000) ය. එහිදී දෙවැනි ස්ථානය ආර්ජන්ටිනාවේ ඇල්ෆ්‍රිඩෝ ඩි ස්ටෙෆානෝ (1926 – 2014) හට හිමිවිය. තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ ප්‍රංසයේ රේමන්ඩ් කෝපා (1931 – 2017) විසිනි.

මේ සම්මානය දශක ගණනාවක් ම ප්‍රදානය කළේ අදාළ වසරේ යුරෝපයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා වෙනුවෙනි. නමුත් පසුව මෙය ලොව දක්ෂතම ක්‍රීඩකයා සඳහා වෙන්විය.

අදාළ වසරේ දක්ෂතම ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම නිර්දේශිත නාමයන්ට තෝරා ගනු ලබයි. එම තේරීම සිදු කරන්නේ ප්‍රංස පාපන්දු සඟරාවේ කර්තෘ මාණ්ඩලිකයන් විසිනි.

පසුව මෙම ක්‍රීඩකයන්ගේ වඩාත් දක්ෂතමයා තෝරා ගැනීම ඡන්ද විමසීමක් මඟින් සිදු කරයි. එහිදී ඡන්ද ප්‍රකාශ කරන්නේ මාධ්‍යවේදීන් විසිනි. ඒ අනුව 2018 වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව පසුගියදා තෝරා ගත්තේ ය. මෙවර ක්‍රීඩකයා වූයේ ක්‍රොයේෂියාවේ 33 හැවිරිදි ලුකා මොඩ්රිච්ය. ක්‍රීඩිකාව වූයේ නෝර්වේ රාජ්‍යයේ 23 හැවිරිදි එඩා හෙගර්බර්ග් ය. එමෙන් ම වයස අවුරුදු 21 න් පහළ දක්ෂතමයාට පිරිනැමෙන කෝපා කුසලානය ප්‍රංසයේ කයිලියාන් එම්බැපේට (උපත 1998 දෙසැම්බර් 20) හිමි විය.

මෙම සම්මාන පිරිනැමීම මෙවර සිදු කරනු ලැබුවේ 63 වැනි වතාවටයි. එහි සුවිශේෂි බවකුත් තිබිණි. එනම් ප්‍රථම වරට ‘බැලන් ඩි ඔර් ෆෙමිනින්’ කුසලානය කාන්තාවන්ට පිරිනැමීමයි. එමෙන් ම ප්‍රථම වරට යොවුන් ක්‍රීඩකයාට කෝපා කුසලානය පිරිනැමීමයි.

කෝපා කුසලානය පිරිනමන්නේ හිටපු ප්‍රංස සුපිරි ක්‍රීඩකයකු වන රේමන්ඩ් කෝපාට ගෞරවයක් වශයෙනුයි. රේමන්ඩ් මෙම සම්මාන උලෙළ ප්‍රථම වරට පැවැති විට තෙවැනියා වූයේ ය.

මේ බැලන් ඩි ඔර් (රන් පන්දුව) සම්මානය පිරිනැමීම 2010 වසරේ සිට 2015 දක්වා සිදු කළේ ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) සමඟ එක්වෙමිනි. 2016 වසරේ සිට ෆීෆා වෙනම පාපන්දු සම්මාන උලෙළක් පවත්වයි. ඒ අනුව ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමේ අවස්ථා මේ වනවිට ලැබී තිබේ.

මෙවර දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා වීම නිසා රොනල්ඩෝ - මෙසි ආධිපත්‍යය බිඳ දැමීමට මොඩ්රිච්ට හැකි විය. අවසන් වරට මෙම සුපිරි තරු යුගලය වෙනුවට වෙනත් ක්‍රීඩකයකු මේ සම්මානය හිමිකර ගෙන තිබුණේ 2007 වසරේදී ය. එහිදී සම්මානලාභියා වූයේ බ්‍රසීලයේ කාකා (උපත 1982 අප්‍රේල් 22) විසිනි.

එතැන් සිට ගත වූ දශක‍යක් පුරාවටම මෙම සම්මානය පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ (උපත 1985 පෙබරවාරි 05) සහ ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසි (උපත 1987 ජූනි 24) සතු විය. ඒ අනුව ඔවුන්ට සම්මාන 05 බැගින් හිමි ය. ඒ මෙසිට 2009, 10, 11, 12 සහ 15 වස‍රවලදීය. රොනල්ඩෝට 2008, 13,14, 16 සහ 17 වසරවලදී ය.

මෙම සම්මානය වැඩිම අවස්ථා ගණනකදී හිමිකර ගෙන තිබෙන්නේ ද රොනල්ඩෝ - මෙසි යුගලයමයි. මීට අමතරව හිටපු සුපිරි තරු ත්‍රිත්වයක් සම්මාන ත්‍රිත්වය බැගින් හිමිකර ගැනීමට සමත් වී සිටිති.

ප්‍රංසයේ මිෂෙල් ප්ලැටිනි (උපත 1955 ජූනි 21) – 1983, 84, 85 මේ සම්මානලාභියෙකි. 1971, 73, 74 වසරවලදී නෙදර්ලන්තයේ යොහාන් ක්‍රයිෆ් (උපත 1947 අප්‍රේල් 25 - විපත 2016 මාර්තු 24) සම්මාන හිමිකර ගත්තේ ය. තවත් නෙදර්ලන්ත තරුවක් වූ මාර්කෝ වැන් බැස්ටන් (උපත 1964 ඔක්තෝබර් 31) මේ සම්මානය හිමිකර ගත්තේ 1988, 89 සහ 92 වසරවලදී ය.

එඩා හෙගර්බර්ග් (නෝර්වේ)

එඩාට හිමි වූ මුළු ඡන්ද ප්‍රමාණය 136 කි. ඩෙන්මාර්කයේ පර්නිල් හාර්ඩර්ට (උපත 1992 නොවැම්බර් 15) ඡන්ද 130 කි. ජර්මනියේ ඩ්ෂ්සිනිෆර් මාරෝෂ්සාන්ට ඡන්ද 86 කි. බ්‍රසීලයේ මාර්තාට (උපත 1986 පෙබරවාරි 19) සිවුවැනි ස්ථානයයි. ඡන්ද 77 කි. මෙවර 05 වැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ සෑම් කර්ටය. ඇය (උපත 1993 සැප්තැම්බර් 10) ඡන්ද 61 ක් හිමිකර ගත්තාය.

මෙවර ලෝක පාපන්දු සම්මේලනය විසින් වසරේ ක්‍රීඩිකාව ලෙසට තෝරා ගත්තේ මාර්තාය. එහිදී දෙවැනි ස්ථානය ඩිෂ්සිනිෆර්ටය. එඩාට තෙවැනි ස්ථානය හිමි වූවාය.

“මේ අවස්ථාවේදී මගේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ ඔවුන් නොමැතිව මට මෙය හිමි කර ගැනීමට හැකි වෙන්නේ නැති නිසා. එමෙන් ම මගේ පුහුණුකාරිත්වයටත් අපේ ක්‍රීඩා සමාජයේ සභාපතිතුමාටත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේ ම ප්‍රංස පාපන්දු සඟරාවටත් ස්තුති කරන්න මට ඕනෑ. මෙය කාන්තා පාපන්දු ක්‍රීඩාවේ දියුණුවට යෝධ පියවරක් වන නිසා” සම්මානය ලබා ගනිමින් එඩා පැවසුවාය.

එඩා මාර්ටිනි ස්ටොල්ස්මෝ හෙගර්බර්ග් 1995 වසරේ ජූලි මස 10 වැනිදා උපත ලැබුවා ය. ඒ මොල්ඩේ නුවරදීය‍. ඇය අඩි 5 අඟල් 9 හමාරක් උසැතිය. ඇය ඉදිරිපෙළ ක්‍රීඩිකාවකි.

එඩා මුලින් ම ක්‍රීඩාවට යොමු වූයේ සිය වැඩිමහල් සොහොයුරිය වන ඇන්ඩ්‍රින් සමඟින් ය. ඇන්ඩ්‍රින් (උපත 1993 ජූනි 06) මැද පෙළ ක්‍රීඩිකාවකි. ඇය 2012 වසරේ සිට අන්තර්ජාතිකව ක්‍රීඩා කරන්නීය. එහිදී තරග 17කි. ගෝලයක් රැස් කර ඇත. මෙම සොහොයුරියන් 2017 යු‍රෝ ශූරතාවලියේදී නෝර්වේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළහ.

එඩා මේ වනවිට අන්තර්ජාතික තරග පිටියෙන් තාවකාලිකව ඉවත්වී සිටින්නීය. එසේ වුවත් වෘත්තීමය මට්ටමින් ප්‍රංසයේ ඔලිම්පික් ලියොන් කණ්ඩායමට ක්‍රීඩා කරන්නීය. 2014 වසරේ සිට ඇය එම කණ්ඩායමේ සාමාජිකාවකි. මේ වනවිට තරග 95 කදී ඇයට ගෝල 120 කි.

සුන්ඩාල් ෆුට්බෝල්, කොල්බොට්න්, ස්ටාබායෙක් (නෝර්වේ) සහ ජර්මනියේ ටර්බින් පොට්ස්ඩාම් වැනි කණ්ඩායම්වලටත් එඩා ක්‍රීඩා කර තිබුණා ය. ඇය 2011 – 12 අතර කාලයේදී වයස අවුරුදු 20 න් පහළ නෝර්වේ කණ්ඩායමේ සාමාජිකාවකි. 2011 සිට 17 දක්වා අන්තර්ජාතිකව ක්‍රීඩා කළාය. එහිදී තරග 66 කි. රැස් කළ ගෝල ගණන 38 කි.

ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් එඩා ප්‍රධානතම අන්තර්ජාතික තරගාවලි 03 කට සහභාගි වී තිබේ. ඒ 2013 සහ 17 යුරෝ ශූරතාවලි සහ 2015 ලෝක කුසලාන තරගාවලියයි. මින් 2013 යු‍රෝ අනුශූරියෝ වූයේත් නෝර්වේ ය.

එඩා මීට අමතරව වෘත්තීයමය මට්ටමින් ශූරතා රැසකුත් හිමිකර ගෙන සිටින්නීය. ඊට නෝර්වේ කුසලානය - 2012, ප්‍රංස පළමු පෙළ 2014 – 15, 15 – 16, 16 – 17, 17 – 18, ප්‍රංස කුසලානය 2014 – 15, 15 – 16, 16 – 17 සහ යුයේෆා (යුරෝපීය පාපන්දු සංගම්) චැම්පියන්ස් ලීග් 2015 – 16, 16 – 17 සහ 17 – 18 අයත් ය.

එමෙන් ම සම්මාන කිහිපයකුත් ඇය සතු ය. 2016 යුරෝපීය (සමාජ) දක්ෂතම ක්‍රීඩිකාව, 2016 නෝර්වේ වසරේ ක්‍රීඩා තරුව, 2017 බී.බී.සී. පාපන්දු ක්‍රීඩිකාව වේ. තවද 2015 වසරේ නෝර්වේ ‘රන් පන්දුව’ සම්මානයත් ඇය හිමිකර ගත්තා ය. මෙම සම්මානය ප්‍රදානය කරන්නේ අදාළ වසරේ දක්ෂතම නෝර්වේ පාපන්දු ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවටයි. එඩාට පෙර මෙම සම්මානය අවසන් වරට ක්‍රීඩිකාවක් සතු වූයේ ඊට විසි වසරකට පමණ පෙර ය.

ලුකා මොඩ්රිච් (ක්‍රොයේෂියාව)

ලුකාට හිමි වූ මුළු ඡන්ද ප්‍රමාණය 753 කි. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට ඡන්ද 478 කි. ප්‍රංසයේ ඇන්ටොයින් ග්‍රියිස්මාන්ට (උපත 1991 මාර්තු 21) තෙවැනි ස්ථානයයි‍. ඔහුට ඡන්ද 414 කි. එම්බැපේට ඡන්ද 347 කි. පස්වැනි ස්ථානය මෙසිටයි. ඡන්ද 280 කි.

“සමහර විට පසුගිය කාලයේ මෙම සම්මානය ලැබිය යුතු තවත් ක්‍රීඩකයන් හිටියා. ඒ ස්පාඤ්ඤයේ ෂාවි, ඇන්ඩ්‍රෙස් ඉනියෙස්ටා සහ නෙදර්ලන්තයේ වෙස්ලි ස්නයිඩර් වැනි ක්‍රීඩකයෝ. කොහොම වුණත් දැන් අවසනදී මිනිසුන්ට වෙනත් කෙනෙක් දිනනවා බලන්න පුළුවන්. මෙම සම්මානය ගැනීමට නොහැකි වූ ක්‍රීඩකයෝ වෙනුවෙන් පුද කරනවා” මොඩ්රිච් සම්මානය ලබා ගනිමින් පැවසුවේ ය.

එහිදී ඔහු අදහස් කළේ රොනල්ඩෝ - මෙසි නිසා ඇතැම් ක්‍රීඩකයන්ට මෙම සම්මාන හිමි කර ගැනීමට නොහැකි වූ බවයි. එමෙන් ම තමන්ගේ මෙවර ජයග්‍රහණය නිසා වෙනත් ක්‍රීඩකයන්ටත් දැන් අවස්ථාවක් තිබෙන බවයි.

2018 වසර මොඩ්රිච්ට සුවිශේෂිතයි. ඒ ඔහුගේ නායකත්වය යටතේ ක්‍රොයේෂියාව ලෝක කුසලාන අනුශූරයෝ වීමයි. එමෙන් ම මෙවර ලෝක කුසලානයේ දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමුණු ‘රන් පන්දුව’ සම්මානලාභියාත් ඔහු වූයේ ය. තවද ෆීෆා සම්මාන උලෙළේදී ලොව දක්ෂතමයා බවටත් තෝරා ගත්තේ ද මොඩ්රිච්වයි.

ලුකා මොඩ්රිච් 1985 වසරේ සැප්තැම්බර් මස 09 වැනිදා උපත ලැබීය. ඒ යුගොස්ලාවියානු සමූහාණ්ඩුවට අයත්ව තිබූ ක්‍රොයේෂියාවේ සාඩාර් නුවරදීය. ඔහුගේ ළමා කාලය එරටේ සිවිල් යුද්ධයේ බලපෑමට ලක් වී තිබුණි. හෙතෙම අඩි 5 අඟල් 8 ක් උසැතිය. මැද පෙළට ක්‍රීඩා කරයි. සාඩාර්, ඩිනමෝ ෂාග්‍රෙබ්, ඉන්ටර් ෂැප්රෙසිච් (ක්‍රොයේෂියාව), ෂ්රින්ස්කි (බොස්නියා හර්ෂගොවිනා), ටොටන්හැම් හොට්ස්පර් (එංගලන්තය) සහ ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් මොඩ්රිච් වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කළ කණ්ඩාය‍ම් වෙති.

මේ සුවිශේෂ ක්‍රීඩකයා වයස අවුරුදු 15 න් පහළ සිට 21 න් පහළ දක්වා වූ ක්‍රොයේෂියානු කණ්ඩායම්වලට ක්‍රීඩා කර තිබේ. හෙතෙම අන්තර්ජාතිකව ක්‍රීඩා කරන්නේ 2006 වසරේ සිටයි. එහිදී තරග 118 කි. රැස් කළ ගෝල ගණන 14කි.

මොඩ්රිච් ගත වූ කාලයේදී ප්‍රධානතම තරගාවලි රැසකටම ක්‍රීඩා කර තිබේ. ඊට ලෝක කුසලාන 2006, 14 සහ 18 මෙන් ම යුරෝ 2008, 12, 16 තරගාවලීද අයත් ය.

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments