
ක්‍රිකට් ශූරතාවක් හිමි කරගැනීම පහසු දෙයක් නොවේ. එමෙන් ම එම ශූරතාව පිට පිට හිමි කරගැනීම තවත් අසීරු ය. එසේ වුවත් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම මෙම අසීරු කාර්යය ඉතා සාර්ථකව ඉටු කිරීමට නොබෝදා සමත් විය. ඒ නැගී එන ආසියානු ක්‍රිකට් ශූරතාව හිමිකර ගනිමිනි.
මෙම ජයග්‍රහණයේ අගය තවත් වැඩි වීමට හේතුවක් තිබේ. එනම් මෙවර අවසන් තරගයේ දී ප්‍රබල ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ බැවිනි. මෙම ශූරතාව හිමිකර ගැනීමට 2017 වසරේදීත් ශ්‍රී ලංකාව සමත් විය. ඒ පාකිස්තානය අවසන් තරගයේදී කඩුලු 05 කින් පරාජය කරමිනි. එවර තරගාවලිය පැවැත්වූයේ බංග්ලාදේශයේදී ය. මෙවර ශ්‍රී ලංකාව අවසන් තරගයේදී ලකුණු 03 කින් ඉන්දියාව පරාජය කළේ ය.
මෙම නැඟී එන ආසියානු ක්‍රිකට් තරගාවලිය මෙහෙය වන්නේ ඒ.සී.සී. හෙවත් ආසියානු ක්‍රිකට් සභාව විසිනි. එය පන්දු ඕවර 50 තරගාවලියකි.
මෙවර තරගාවලිය දෙසැම්බර් මස 06 සිට 15 වැනිදා දක්වා පැවැත්වීය. ඊට රටවල් 08 ක් සහභාගි විය. පැවැති මුළු තරග ගණන 15 කි. තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව විසින් දරනු ලැබීය.
මුලින් ම තරගාවලියේ ප්‍රධානතම සත්කාරකත්වය පාකිස්තානයට හිමි විය. එහෙත් ඉන්දියාව එරටේදී තරග කිරීම ප්‍රතික්ෂේප කළේ ය. එම නිසා ශ්‍රී ලංකාවේදී ද තරග පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව ඉන්දියාව සහභාගි වූ තරග සහ අවසන් පූර්ව තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීය.
මෙම තරගාවලියට සහභාගි වූ අති බහුතරයක්ම වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයෝ වෙති. එසේ වුවත් සෑම කණ්ඩායමකම සංචිතයට වයස අවුරුදු 23 ඉක්මවූ ක්‍රීඩකයින් සිවු දෙනෙකුත් ඇතුළත් කිරීමට හැකියාව තිබිණි.
මෙවර සහභාගි වූ රටවල් මුල් වටයේ දී කණ්ඩායම් දෙකකට වර්ග කරන ලදී. ඒ කාණ්ඩය - ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඕමානය.
බී කාණ්ඩය - පාකිස්තානය, බංග්ලාදේශය, හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය.
එහිදී ශ්‍රී ලංකාව ලකුණු 109 කින් ඕමානය පරාජය කළේ ය. එමෙන් ම ඉතා තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකාව කඩුල්ලක ජයක් ලැබුවේ ඇෆ්ගනිස්තානය හමුවේ ය. එහෙත් ශ්‍රී ලංකාවට කඩුලු 04 ක පරාජයක් ඉන්දියාව හමුවේ ලැබීමට සිදුවිය.
මේ අනුව ඒ කාණ්ඩයෙන් ඉන්දියාව අපරාජිතව සහ ශ්‍රී ලංකාවත් අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලැබීය. බී කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ පාකිස්තානය අවසන් පූර්ව තරගවලට තේරුණි.
එහිදී එක්සත් අරාබි එමීර් ලකුණු 97කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් විය. එසේ වුවත් බංග්ලාදේශය ලකුණු 84ක ජයක් ලැබුවේ පාකිස්තානය හමුවේ ය. අවසන් පූර්ව තරගයකදී ඉන්දියාව කඩුලු 07කින් පාකිස්තානය පරාජය කළේ ය. අනෙක් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක ජයක් ලැබුවේ බංග්ලාදේශය හමුවේය.
මෙවර අවසන් මහා තරගය කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීය. එහිදී කාසියේ වාසියත් සමඟ ශ්‍රී ලංකාවට ලකුණු 03ක ජයකි.
ශ්‍රී ලංකාව 270 – 7 (ඕවර 50)
කමිඳු මෙන්ඩිස් 61, හසිත බෝයගොඩ 54, ෂෙහාන් ජයසූරිය 46, වනිදු හසරංග නොදැවී 31, අන්කිට් රාජ්පුට් 61 – 2 , නිටිශ් රානා 30 – 1
ඉන්දියාව 267 – 9 (ඕවර් 50)
ජයන්ට් යාදෙව් (නායක) 71, ශාම්ස් මුලානි 46, නිටිශ් රානා 40, අසේල ගුණරත්න 38 – 3, ලසිත් ඇඹුල්දෙණිය 37 – 2, ෂෙහාන් ජයසූරිය 40 – 2
මෙවර අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා වූයේ තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස්ය. 20 හැවිරිදි කමිඳු වමත් පිතිහරඹයේ නිරත වෙමින් රැස් කළ මුළු ලකුණු ගණන 310කි. එය මෙවර තරගාවලියේ පිතිකරුවකු රැස් කළ වැඩිම මුළු ලකුණු ප්‍රමාණයක් වේ.
මීට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 206 ක් රැස් කිරීමට සමත් විය. මෙවර තරගාවලියේදී දඟ පන්දු යවමින් කමිඳු කඩුලු 08 ක් ද දවා ගැනීමට සමත් විය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් ලසිත් ඇඹුල්දෙණිය සහ අසිත ප්‍රනාන්දු කඩුලු 06 බැගින් දවාලූහ.
ජයග්‍රාහී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම
චරිත් අසලංක (නායක), ශම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, චමික කරුණාරත්න, අවිෂ්ක ප්‍රනාන්දු, හසිත බෝයගොඩ, සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, නිෂාන් මධුෂ්ක, ජෙෆ්රි වැන්ඩර්සේ, ජෙහාන් ඩැනියෙල්, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, නිෂාන් පීරිස්, ෂෙහාන් මධුශංක, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු.
 









