සුබ ගමන් බුෂ් | සිළුමිණ

සුබ ගමන් බුෂ්

ඔහු එරට හමුදා සේවයේ යෙදුණු එකම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වෙයි. එපමණක් ද නොව තම සේවා කාලය තුළ දී සිදු කළ නොයක් දේ, ගනු ලැබූ නොයෙක් තීන්දු, තීරණ හේතුවෙන් ද ලෝක ඉතිහාසයේ කිසියම් ඉඩක් ඔහු වෙනුවෙන් වෙන් වී තිබේ. ඔහු අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් ය. පසුගිය නොවැම්බර් 30 වැනි දා ඔහු මියගියේ තෘප්තිමත් සිතකින් දැයි දන්නේ ඔහු පමණක් විය හැකිය.

අමෙරිකාව ලෝකයේම බලවතා ලෙස ලෝකයේ සෙසු රටවල ලක්ෂ ගණන් ජනතාවගේ ජීවිත වෙනස් කළ අවස්ථා එමටය. ඊට වගකිව යුත්තේ අදාළ යුගයේ අමෙරිකාව පාලනය කළ ජනාධිපතිවරයාය. ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් එක් ධුර කාලයක්, එනම් වසර හතරක් අමෙරිකාව පාලනය කළේය.

ඒ අමෙරිකාවේ මල්බර යුගය විය. 1991 දී රුසියාව බිඳ වැටීමෙන් ශීතල යුද්ධය අවසන්ව අමෙරිකාව තනි බලවතා ලෙස තමන්ම අභිෂේක ලැබුවේ මේ යුගයේය. බුෂ් රාජ්‍ය නායකත්වයට පත් වන්නේ මේ මල්බර යුගය ආරම්භයේ දීය. එතැන් සිට ඔහු අමෙරිකාව පමණක් නොව මුළු ලෝකයම තමන්ට ඇවැසි සේ පාලනය කිරීමට පටන් ගත්තේය.

එදා ඔහු ලෝකයේ නොයෙක් තැන නොයෙක් බීජ වපුළේය. ඒ බීජ අතරින් ඇතැම් ඒවා වෛරයේ බීජ වූයේය. ඇතැම් ඒවා අවසානයේ දී අමෙරිකානු නායකත්වයට හෝ පාලනය කරගැනීමට නොහැකි විය. ධුර කාලය අවසන්ව බුෂ් ගෙදර ගියේය. එහෙත් ඔහු පැළ කළ බීජ දලු ලා වැඩෙන්නට විය. දෛවයේ සරදමට මෙන් එ්වායේ ඇතැම් ප්‍රතිඵල ඔහුගේ පුත්‍රයාට ද රටේ නායකත්වය දරන සමයේ අත්විඳින්නට සිදු විය. ලොව පුරා ලක්ෂ ගණන් ජනතාව තම සාමාන්‍ය ජන ජීවිත අහිමි වීමෙන් අභාග්‍ය සම්පන්න ඉරණම් සඳහා සිත් හදාගත්තෝය.

බුෂ් සහ ඔහුගේ පසුගාමිකයන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල ලෙස අද අමෙරිකාවට ද ජාතිකවාදය හැර විකල්පයක් නැති තැනකට ගමන් කර තිබේ. එය එසේ වේ යැයි මල්බර සමයේ දී බුෂ් මෙන්ම සෙසු රාජ්‍ය නායකයන් ද කිසි විටෙක නොසිතන්නට ඇත. එහෙත් ඕනෑම කෙනෙකුට සිදු වන්නේ තමන් වැපිරූ දෙයම නෙළා ගන්නටය. බුෂ්ට කියා එහි වෙනසක් නැත. එහෙත් එය එසේ දැයි දන්නේ ඔහුගේ හෘදය සාක්ෂියම විය යුතුය.

පසුගිය දා ඔහු බොහෝ ගරු බුහුමන් මැද ටෙක්සාස්හි ජෝර්ජ් බුෂ් ජනාධිපති සබැඳි ලේඛනාගාරයේ බිම් කඩෙක අවසන් නින්දට පිවිසියේය.

 

 

Comments