
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතව ඇත්තේ 2019 මාර්තු 29 වනදා ය. ඒ පිළිබඳ මතු වී ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් ඉදිරියේ දී කුමන අයුරින් කරුණු පෙළ ගැසෙනු ඇද්ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය.
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතු බව එරට ජනතාව ජනමත විචාරණයකින් ප්‍රකාශ කරන ලද්දේ 2016 ජූනි මාසයේ ය. ලිස්බන් ප්‍රඥප්තියෙහි 50 වන වගන්තිය 2017 මාර්තු 29 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ නිවේදනය කළ අතර ඉන් දෙවසරකට පසු නිල වශයෙන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදු විය යුත්තේ ය.
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම එක රැයින් සිදු කළ හැක්කක් නොවී ය. දෙපාර්ශ්වය අතර ඒ පිළිබඳ එකඟතාවකට පැමිණීමට හැකි වූයේ 2018 නොවැම්බර් 14 වනදා ය. පිටු 585කින් යුත් මේ ලියැවිල්ල මගින් බ්‍රිතාන්‍යය විසින් යුරෝපා සංගමය වෙත ගෙවීමට නියමිත මුදල්, යුරෝපයේ ජීවත්වන බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ බ්‍රිතාන්‍යයේ ජීවත්වන යුරෝපීයයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ උතුරු අයර්ලන්ත දේශසීමාව දැඩි රැකවල් රහිත සාමාන්‍ය දේශසීමාවක් සේ පවත්වාගැනීම ආදී වූ කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු කෙරිණි. මේ ලියැවිල්ල අනුව බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයට පවුම් බිලියන 39ක් ණය බව ඇස්තමේන්තු කරන ලදී.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීම පිළිබඳ මේ ලියැවිල්ල බ්‍රිතාන්‍යය තුළ ද විවේචනයට භාජනය වූයේ ය. බ්‍රෙක්සිට් පිළිබඳ ලේකම් වූ ඩොමිනික් රාබ් පවා සිය තනතුරින් ඉල්ලා අස් වීමට මෙය බලපෑවේ ය. යුරෝපා සංගමයෙන් දැඩි වෙන් වීමක් බලාපොරොත්තු වන කඳවුර මේ පිළිබඳ අප්‍රසාදයෙන් පත් වූයේ ය.
මේ ලියැවිල්ල ක්‍රියාත්මක වීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යය. ඒ පිළිබඳ විවාදය මේ සතියේ දී ආරම්භ වූ අතර අගමැතිනි තෙරේසා මේ දැඩි පීඩනයකට පත් වූවාය. දෙසැම්බර් 11 වැනි දා ඒ පිළිබඳ පාර්ලිමේන්තු ඡන්දය පවත්වන නමුත් එහිදී මේ යෝජනාවලිය පරාජය වීමට වැඩි ඉඩක් ඇතැයි අපේක්ෂා කෙරේ.
අගමැතිනිය අපහසුතාවට පත් වීමට තවත් එක් හේතුවක් වූයේ බ්‍රෙක්සිට් වෙන්වීමේ ලියැවිල්ල පිළිබඳ නීතිපතිවරයාගේ නෛතික උපදෙස් සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හෙළි නොකිරීමේ සිද්ධියයි. එමගින් පාර්ලිමේන්තුවට අපහාසයක් වූ බව පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් නිගමනය කරන ලදී. මේ නෛතික උපදේශනයන්ට අනුව උතුරු අයර්ලන්ත දේශසීමාව සම්බන්ධ සාකච්ඡා දින නියමයක් නැතිව ඇදෙමින් යන ඉඩක් ඇති බව සඳහන් විය.
බ්‍රෙක්සිට් යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවහොත් එහි ප්‍රතිඵලය විවිධාකාර විය හැකිය. පාර්ලිමේන්තුව දෙසැම්බර් 5 වන දා තීරණය කළේ යම් හෙයකින් යෝජනාවලිය පරාජය වුවහොත් එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුව ඍජු ලෙස සම්බන්ධ විය යුතු බව ය. නමුත් එමගින් කිනම් ආකාරයේ ලියවිල්ලක් නිර්මාණය කෙරෙනු ඇති දැයි අනාවැකි පළ කිරීම අසීරු ය.
නමුත් මේ ක්‍රියාවලිය ද විවිධ ගැටලු මතු කරන්නකි. පාර්ලිමේන්තුව තුළ බ්‍රෙක්සිට් පිළිබඳ තනි මතයකට බහුතර කැමැත්තක් නැති වීම, එකඟතාවක් ඇති වීමේ ඉඩකඩ සීමා වීමට හේතුවක් වී තිබේ. යම් හෙයකින් පාර්ලිමේන්තුවට ද එසේ එකඟත්වයක් කරා පැමිණීමට නොහැකි තත්ත්වයක දී නැවත මහ මැතිවරණයක් කැඳවීමට සිදු වනු ඇත. එමගින් විවිධ පාර්ශ්ව තමන්ට අවශ්‍ය බහුතරය සාදාගැනීම සඳහා උත්සාහය දරනු ඇත.
මේ අතර, යම් හෙයකින් දෙසැම්බර් 11 වන දා බ්‍රෙක්සිට් යෝජනාව පිළිබඳ ඡන්දය පාර්ලිමේන්තුවේ දී බරපතළ ලෙස පරාජය වුවහොත් තෙරේසා මේ අගමැති ධුරයෙන් ඉවත් වීමේ ඉඩක් ද පවතී. එමෙන්ම එවන් පරාජයකට පසු තෙරේසා මේ තනතුරෙහි රැඳී සිටීමට උත්සාහ කළ ද කොන්සර්වටිව් පාක්ෂිකයන් ඇයව ඉවත් කිරීමට බෙහෙවින් ඉඩකඩ තිබේ. එවන් තත්ත්වයක දී කොන්සර්වටිව් පාක්ෂිකයන් නව නායකයකු තෝරාගනු ඇත. බ්‍රෙක්සිට් සඳහා එම නව නායකත්වය කෙසේ බලපානු ඇති දැයි කිව හැකි වන්නේ එවන් සිදුවීමකට පසු පත්වන නායකයා අනුව ය.
මේ අවස්ථාවේදී ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ බලාපොරොත්තුව වන්නේ පාර්ලිමේන්තු බහුතරයක් තමන් විසින් යෝජනා කෙරෙන බ්‍රෙක්සිට් යෝජනාවලිය කෙරේ නම්මවා ගැනීම ය. එම පක්ෂය යුරෝපය සහ එක්සත් රාජධානිය අතර තීරුබදු සීමා රහිත බ්‍රෙක්සිට් යෝජනාවලියක් අපේක්ෂා කරයි. යම් හෙයකින් දෙසැම්බර් 11 වැනි දා අගමැති මේගේ යෝජනාවලිය පරාජය වුවහොත් කම්කරු පක්ෂය තම මතය වෙත බහුතරයක් සාදාගැනීමට උත්සාහ කරනු ඇත. නමුත් මේ අවස්ථාවේදී පෙනී යන්නේ එය අසීරු බව ය. මේ අනුව කම්කරු පක්ෂයේ ඊළඟ උපක්‍රමය වනු ඇත්තේ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවකි.
පවතින පාර්ලිමේන්තුවෙන් බහුතරයක් නිර්මාණය කරගැනීම අසීරු හෙයින් කම්කරු පක්ෂය මේ අවස්ථාවේ බලාපොරොත්තු වන ප්‍රධාන කරුණ නම් කෙසේ හෝ මැතිවරණයක් කරා යෑම ය. යම් හෙයකින් ඒ සඳහා පාර්ලිමේන්තුවෙන්ම අනුමැතිය ලබාගැනීම ඉදිරි දිනවල දී කළ හැකි වුවහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සිදු වනු ඇත. එවිට එළඹෙන ජනවාරි අග දී පමණ මැතිවරණයක් පැවැත්වීමට සිදු වේ. කම්කරු පක්ෂය එහිදී බහුතරයක් බලාපොරොත්තු වුවද එය ද අවිනිශ්චිත ය. යම් ලෙසකින් නැවතත් කිසිදු පාර්ශ්වයකට බලයක් පිහිටුවාගත නොහැකි වුවහොත් අර්බුදය තවත් උග්‍ර වනු ඇත.
මේ අතර බ්‍රෙක්සිට් පිළිබඳ දෙවන ජනමත විමසුමක් පැවැත්වීම කෙරෙහි ද විශාල බලපෑමක් එල්ල වෙමින් පවතී. මේ උත්සාහය දරන්නන් බලාපොරොත්තු වන්නේ එමගින් බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමය තුළ රඳවාගැනීම ය. කම්කරු පක්ෂය තුළ ද පසුපෙළ මන්ත්‍රීන් සැලකිය යුතු පිරිසක් මෙවන් යෝජනාවකට පක්ෂ වේ. එවැන්නක් සිදු වීමේ ඉඩකඩ සීමාසහිත වුවද යම් හෙයකින් එළැඹෙන හදිසි මැතිවරණයකදී කම්කරු පක්ෂයට බහුතර බලයක් ලැබුණහොත් එවැනි මත විමසුමක් පිළිබඳ හැකියාවක් මතු වේ.
එහි පවතින ගැටලුව නම්, පවතින තත්ත්වය තුළ බ්‍රෙක්සිට් සිදු විය යුතුම වීම ය. 2017 මාර්තු 29 වන දා ලිස්බන් ප්‍රඥප්තියේ 50 වන වගන්තිය ක්‍රියාත්මක කලෙන් ඉන් අවුරුදු දෙකකදී බ්‍රෙක්සිට් සිදුවිය යුත්තේ ය. යුරෝපා සංගමයේද එකඟතාව මත එය මාස කිහිපයකට කල් දැමීමේ හැකියාවක් තිබිය හැකි නමුත් සම්පූර්ණයෙන් ආපස්සට හැරවිය හැකි ද යන්න විවාදාත්මක කරුණකි.
බ්‍රෙක්සිට් පිළිබඳ ජනමත විමසුමෙන් වසර දෙකහමාරකට පසුවත් ඒ පිළිබඳ බ්‍රිතාන්‍යය තුළ එකඟතාවක් නැති වීමෙන් පෙන්වා දෙන්නේ යුරෝපා සංගමය සමඟ වූ සබඳතාව කෙතරම් ප්‍රබල වී ද යන්නත් ඒ පිළිබඳ විවිධ මත දරන බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර පවතින සංවාදයෙහි තීව්‍රභාවයත් ය. එමෙන්ම බ්‍රෙක්සිට් පිළිබඳ පවත්නා මේ ආකූලභාවය විසින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන වෙනත් රටවල පාර්ශ්වයන් ද අධෛර්යයට පත් කරවීමට පුළුවන. ඒ අර්ථයෙන් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය විසින් යුරෝපා සංගමය වඩා ශක්තිමත් කරනු ඇති යයි අපේක්ෂා කළ හැකිය.